ඒ කාලෙ ඉඳන් සිහින දැක්කේ අද මේ ඉන්න තැන ගැනම තමයි -මෝක්ෂ ප්‍රසාද්




මෝක්ෂ ප්‍රසාද් කියන්නේ අපේ රටේ රූපවාහිනී නාලිකාවක් තුළින් බිහි වූ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ නිවේදකයෙක්. පුංචිම තැනින් මාධ්‍ය ජිවිතේ ගමන ආරම්භ කරපු මෝක්ෂ අද වෙද්දී නාලිකා නවයක ප්‍රවර්ධන ප්‍රධානි අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරනවා. තනතුරුවලින් කොයිතරම් ඉහළට ගියත් තවමත් එදා වගේම ප්‍රසංග වේදිකාව තුළ ඔහු ඔහුට අනන්‍ය වූ නිවේදන කලාව නම් අතහැරලා නැහැ. මේ වෙද්දී ප්‍රසංග වේදිකාව මෙන්ම පුංචි තිරයේ චැට් කලාවටත් අලුත් හැඩයක් එක් කරන මෝක්ෂ ප්‍රසාද් රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ…..


• මෝක්ෂ ප්‍රසාද් නැවත ආයතනගත මාධ්‍ය වේදියෙක් විදියට අපිට හමුවෙනවා, එතනින් මේ කතාව පටන් ගමු?


පසුගිය අවුරුදු එකහාමාරක කාලය තුළ ආයතනගත මාධ්‍ය ජීවිතයට පොඩි විරාමයක් දීලා නිදහස් මාධ්‍යයවේදියෙක් විදිහට කටයුතු කළා. ඉන් පෙර ආසියානු මාධ්‍ය ජාලයේ වසර 18ක කාලයක් මම සේවය කරලා 2022 ඔක්තෝබර් මාසේ ඉවත් වුණා. නැවත මම ආයතනගත මාධ්‍ය ජීවිතයකට එකතු වුණේ 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී. ඒ ඇරයුම මට ලැබෙන්නේ ස්වරණවාහිනී නාලිකාවේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ධම්මික තෙන්නකෝන් මහතාගෙන් එම නාලිකාවේ ප්‍රවර්ධන ප්‍රධානි අධ්‍යක්ෂ ධුරය භාර ගන්න කියලා. ටික කාලයක් ඒ ගැන හිතලා මම වැඩේ භාර ගත්තා. දැන් එම ආයතනය සතු නාලිකා නවයේම ප්‍රවර්ධන ප්‍රධානි අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරනවා.


• නාලිකා නවයක් කියන්නේ ලෙහෙසි පහසු වගකීමක් නෙවෙයිනේ, ඒ වගකීම දරන්න ඔබ සතු ශක්තීන් ගොඩ නැඟෙන්නේ ඔබේ පෙර මාධ්‍ය ජීවිතවල අත්දැකීම්, මාධ්‍යයේ ආරම්භයට ආපසු ගියොත්?


මම 2004 දී ඉතාම සුළු සේවකයෙක් විදිහට ප්‍රවර්ධන සහකාරවරයෙක් විදිහට හිරු මාධ්‍ය ජාලයට සම්බන්ධ වුණේ රුපියල් 3500ක වගේ සුළු වැටුපකට. එහෙම පටන් ගත්ත ගමන වසර 18ක් තුළ ඒ ආයතනය සමඟ රැඳිලා 2022 දී මම ඉවත් වෙන්නේ සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රවර්ධන තනතුරෙන්. ඒ ගත කරපු වසර 18ක කාලය තුළ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා. මම ආයතනයට සම්බන්ධ වෙලා වසරක් වගේ කාලයක් ගත වෙද්දී සජීවී ප්‍රසංග සහ ෂා නන්ස්ටොප් නයිට්, හිරු මෙගා බ්ලාස්ට් වගේ ප්‍රසංගවල නිවේදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ ලද අත්දැකීම් සියල්ල ලොකු පන්නරයක් වුණා, දැන් මේ වැඩ කරන නාලිකා නවයේම ප්‍රවර්ධන වැඩ කටයුතු සියල්ල අධීක්ෂණය කරමින් නායකත්වය දෙන්න. මම ආවට පස්සේ ස්වර්ණ ශ්‍රී මෙගා නයිට් කියන ප්‍රසංගය ආරම්භ කළා. ඒ නම තැබුවේ මම. පළමු ප්‍රසංගය අතිසාර්ථකව ජා ඇළ දී නිමා කළා. සජීවී එළිමහන් ප්‍රසංග කලාවට මාධ්‍යය තුළින් නිර්මාණය වුණු දැවැන්ත ප්‍රසංගයක්. ඉදිරියටත් ප්‍රසංග පවත්වන්න කටයුතු කරගෙන යනවා.


• ප්‍රසංග වේදිකාවෙන් දස්කම් පාන මෝක්ෂ ප්‍රසාද්, දැන් පුංචි තිරයේ චැට් කලාවේත් නිවේදකයෙක් වෙලා, මේ අලුත් භූමිකාව ගැන කතා නොකරොත් අඩුවක් වෙයි?


ඒක අහම්බෙන් වුණු දෙයක්. මොනරා තමයි අපේ නාලිකා අතරට ආව අලුත් සාමාජිකයා. මොනරා ටීවී ආරම්භක කටයුත්තේත් නිවේදන කටයුතු කරන්න ලැබුණෙත් මට. ඊට පස්සේ ධම්මික තෙන්නකෝන් මහතා සහ මොනරා ටීවී නාලිකාවේ නාලිකා ප්‍රධානි බුද්ධික වික්‍රමාධර එකතු වෙලා ගත්ත තීරණයක් මත මට ආරාධනා කළා සෑම සිකුරාදාම රාත්‍රී 9.30ට ‘චැට් ඇන්ඩ් ටියුන්ස්’ කියන වැඩසටහන ඉදිරිපත් කරන්න කියලා ප්‍රවීණ ජනප්‍රිය කවුරුත් කොච්චි කිව්වම දන්න තිළිණි එක්ක. මම මුලින්ම බෑ කිව්වා. මොකද මට ලොකු බියක් තිබුණා මගේ මේ තියෙන වැඩසටහන් එක්ක. එළිමහන් ප්‍රසංග සහ විදෙස් සංචාර එක්ක මේක මට කර ගන්න බැරි වෙයි කියලා. එළිමහන් ප්‍රසංගවල මගේ තිබ්බ රටාව තමයි කෑකෝ ගහලා නිවේදන කිරීම. ඒ ස්ටයිල් එකත් එක්ක මට මේ ස්ටයිල් එකට එන්න පුළුවන් වෙයිද සහ මට මාව වෙනස් කර ගන්න පුළුවන් වෙයිද කියන චකිතය තිබ්බා. හැබැයි මම ඕනෙම අභියෝගයක් මම ඕනෙම වෙලාවක භාර ගන්න කෙනෙක්. ඒ නිසා මම තීරණය කරා මෙච්චර කාලයක් කරපු දේවල් පවා වැරදිලත් නැති එකේ මේ අභියෝගය භාර ගෙන මේකත් කරලා බලනවා කියලා. දැන් වැඩසටහන් 8කට වැඩිය මම කළා. කිසි ගැටලුවක් නැහැ. හොඳ ඉල්ලුමක් තියෙනවා. ප්‍රසංග වේදිකාව මත එකම රාමුවකට කොටු වෙලා හිටිය මට මේ වගේ අවස්ථාවක් දුන්නු එකට ධම්මික තෙන්නකෝන් මහතාට සහ බුද්ධික වික්‍රමාධර මගේ මිත්‍රයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ එක්කම මට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න සහයෝගය දෙන මගේ ප්‍රෝග්‍රෑම් පාට්නර් කොච්චිවත් ආදරෙන් මතක් කරනවා.


• මෝක්ෂ ප්‍රසාද්ගේ පෞද්ගලික ජීවිතේ ගැනත් අපි කතා කරමු?


මම විවාහකයි. මගේ බිරිඳ නුවන්ති අතුකෝරළ. අපි පදිංචි වෙලා ඉන්නේ බත්තරමුල්ල පැලවත්තේ. අපිට දියණියන් තිදෙනෙක් ඉන්නවා. ලොකු දුව කියන්සා, දෙවැනි දුව යුහන්සා සහ තුන්වෙනි දුව ටෙහන්සා. තුන්දෙනාම ඉගෙන ගන්නේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ. මගේ ගම හංවැල්ල. තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ. මට ඉන්නේ මල්ලිලා දෙන්නා සහ අක්කා. මල්ලිලා දෙන්නා විදෙස්ගතව ඉන්නේ. පාසල් ගියේ හංවැල්ල රාජසිංහ පාසලට සහ බෝමිරිය ජාතික පාසලට. මම පාසල් හතරකට ගියා. ඉන් පාසල් දෙකක නම් මාස තුනක වගේ කෙටි කාලයක් ඉගෙන ගත්තේ. හංවැල්ල මායා දුන්න සහ හංවැල්ල රෝමානු කතෝලික විද්‍යාලයට. මම පොඩි කාලේ ඉඳන් හීන දැක්කේ මාධ්‍යයට එන්න. මගේ අම්මගේ පවුලේ විශාල පිරිසක් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධයි. මම පාසල් කාලයේ ඉඳන් කතාවෙන් කැපි පෙනුණු කතාකරුවා. ඒ කාලේ ඉඳන් සිහින දැක්කේ අද මේ ඉන්න තැන ගැනම තමයි.


• එදා දැකපු හීන එකිනෙක සැබෑ වීම ගැන මොකද හිතෙන්නේ කියලම අපි මේ කතාව අදට නිමා කරමු?


මම මේ කටයුතු වෘත්තීමය වශයෙන් ආරම්භ කළේ අවුරුදු 18දී. උසස් පෙළ කරන කාලේ මම මියුසිකල් ෂෝවල නිවේදන කළා. ආපස්සට හැරිලා බලද්දී මේ ගෙවුණු අවුරුදු 22ක කාලය තුළ මාර කට්ටක් කෑවා. සෑහෙන්න දුක් වින්දා. බස් හෝල්ටවල නිදා ගත්තා. ෂෝවලට නිවේදන කටයුතු කරන්න ගිහින් අවස්ථාව නොලැබිලා බලන් ඉඳලා අර කෝට් එකත් අරගෙන පාන්දර දෙක තුනට පයින් ආව අවස්ථා තියෙනවා. ඒ වගේ අභියෝග බාධක පහුකරගෙන ආව ගමනක් මේක. මගේ පළවෙනි සජීවී ප්‍රසංගයට මම ලෑස්ති වෙලා හිටියත් එදා මට ඒක හම්බුණේ නැහැ. ඒ වගේ බලාපොරොත්තු කැඩිලා බිඳිලා ගිහින් කොහොම නමුත් මම උත්සාහය අතහැරියේ නැහැ. මම හිතා ගත්තා කොහොම හරි මම මගේ අරමුණට යනවා කියලා. අද වෙද්දී මම හිතනවා දැවැන්ත කියන එළිමහන් ප්‍රසංග වේදිකා සියල්ලේම පාහේ මම නිවේදන කටයුතු කරලා තියෙනවා. මට හැදුණු ලොකු රසික එකමුතුවක් ඉන්නවා. බහුතරයක් දෙනා පිළිගන්නවා එළිමහන් ප්‍රසංග වේදිකා කලාවේ වෙනසක් කරන්න සහ අලුත් දෙයක් කරන්න මම යමක් කළා කියන කාරණාව. ඒ නිසා බොහොම අභිමානයෙන් සහ ආඩම්බරයෙන් මම ගැන කතා කරනවා.


අනූෂා රණසිංහ



Previous Post Next Post