ආදරේ කරන්න පටන් ගනිද්දි මං එයාව දැකලවත් තිබුණෙ නෑ -පියුමාලී එදිරිසිංහ




2016 වසරේ ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පලඳින විට ඇය පාසල් සිසුවියකි. හරියටම ඉන් වසර 5කට පසුව වෙළෙඳ දැන්වීම් ඔස්සේ ඇය කලාවට පිවිසෙන්නේ සුන්දර යුවතියක ලෙසිනි. දවසේ කුමන වේලාවේ වුව ද රූපවාහිනී තිරය මත දැකිය හැකි ඇය පියුමාලී එදිරිසිංහය. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ නිම්නාදි නමින් ඔබ හමුවට එන ඇය ගැනයි අද අපේ කතාබහ.


“පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ නිම්නාදි කියන්නෙ මගේ පළමු රංගන අත්දැකීම. ඊට කලින් මං වෙළෙඳ දැන්වීම් කරලා තිබුණා. වෙළෙඳ දැන්වීම් 20කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. මේ අවුරුදු දෙක ඇතුළත ඕනෑම වෙලාවක රූපවාහිනී තිරය බැලුවොත් මාව දකින්න පුළුවන්. ඒකත් එක්තරා වාසනාවක් කියලයි මට හිතෙන්නෙ. ඊට අමතරව ජනප්‍රිය තලයේ මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් නදීමාල් පෙරේරාගේ හැඩකාරී මියුසික් වීඩියෝ එක ගොඩක් කතාබහට ලක්වුණා.


පාට කුරුල්ලෝ කියන්නෙ හිරු නාළිකාවේ මේ දිනවල සතියේ දවස් පහේම රාත්‍රී 8ට විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අලුත්ම ටෙලි නිර්මාණය. බුද්ධික සේමසිංහගේ තිර රචනයක්. නිෂ්පාදනය කරන්නේ චාමර සමරවික්‍රම. ඔවුන් මේ වෙද්දි ජනප්‍රියම තලයේ ඉන්න නිර්මාණකරුවන්. සිවා සර්ගෙ පාර දිගේ, නාඩගම්කාරයෝ වගේ අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණු ටෙලි නිර්මාණ මං ආසාවෙන් බැලුවා. අනේ මටත් ඔහුගේ නිර්මාණයකට දායක වෙන්න තිබුණ නම් කියන සිතුවිල්ල හැමදාම මගේ හිතට ඇවිත් තියෙනවා. චාමර අයියව මං අඳුනගන්නෙ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. චාමර අයිය දවසක් මට කතා කරලා කිව්වා ‘නංගි අපි අලුත් වැඩක් පටන් ගන්නවා, ඒකෙ ප්‍රධාන චරිතයට අපි අලුත් මූණක් හොයනවා සම්බන්ධ වෙන්න කැමතිද? ‘කියලා ඇහුවා. මට අදහගන්න බැරි වුණා. මං ගොඩක් ආසාවෙන් හිටියෙ සර් එක්ක වැඩ කරන්න. අපි කරමු අයියෙ කියල මං ඒක භාර ගත්තෙ හරිම කැමැත්තෙන්.“


තම කුලුඳුල් රංගන අත්දැකීමට අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගය ගැන ස්තුතිපූර්වකව සිහිපත් කරමින් ඇය සඳහන් කළේ මෙවැන්නක්.


“මට මතකයි මගේ පළවෙනි සීන් එක ගනිද්දි මං හිටියෙ ගොඩක් බය වෙලා. මීට කලින් මං රංගන අත්දැකීමක් ලබල තිබුණෙ නැහැ. ඒ වෙලාවෙ සිවා සර් ඇවිත් මෙතන මෙහෙම කරන්න, මේක කියන්නෙ මෙහෙම පුතේ කිය කිය මගේ වැරදි ගොඩක් හැදුවා. මගේ බය නැති කරලා මගේ යම් හැකියාවක් තිබුණ නම් ඒක එළියට ගත්තෙ සිවා සර්. අද මං ලබන ප්‍රතිචාරවල ගෞරවය ඇත්තටම හිමිවිය යුත්තේ ඔහුට. හරිම මිත්‍රශීලි, රංගන පාසලක් වගේ අධ්‍යක්ෂවරයකු යටතේ මගේ පළමු රංගන අත්දැකීම ලබා ගන්න හැකි වීම මගේ වාසනාවක් කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම නිම්නාදිව ලස්සනට ගොඩනඟපු බුද්ධික අයියවත් මතක් කරන්න ඕන.”


ඇය මෙතෙක් ආ ගමන් මඟ පැහැදිලිය. ඒ සඳහා දොරටුව විවර කර දුන් තම පාසල් මාතාව ද ඇය ගෞරවපූර්වකව සිහිපත් කළාය.


“මගේ ගම මල්වාන. 2016 මට ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය තරගයට ඉදිපත් වෙන්න අවස්ථාව ලබා දුන් මගේ පාසල් මාතාව සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලය මං මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඇය දැමූ ශක්තිමත් අඩිතාලම තමයි මෙපමණ දුර එන්න ශක්තියක් වුණේ. ඒ වෙද්දි මං ශිෂ්‍ය නායිකාවක්. මට අවසර ලැබුණේ ඒ ඉවෙන්ට් එකට සහභාගි වෙන්න විතරයි. ඊට අමතරව එක වෙළෙඳ දැන්වීමක් කළා. හරියටම ඊට අවුරුදු 5කට පස්සෙ 2022 වසරේ තමයි මං නැවත කලාවට සම්බන්ධ වෙන්නේ. ඒත් වෙළෙඳ දැන්වීම් හරහා. පස්සෙ දිගටම වෙළෙඳ දැන්වීම් ලැබුණා. මේ වෙද්දි වෙළෙඳ දැන්වීම් 20ක් විතර කරල තියෙනවා. දවසෙ හැම වෙලාවෙම වගේ විවිධ රුවින් වෙළෙඳ දැන්වීම්ව මාව දකින්න පුළුවන්. ඊට අමතරව මං බ්‍රයිඩ්ල් ෂූට් කළා.“


පියුමාලි මේ වන විට ඉන්දීය මියුසික් වීඩියෝවල ද දැකිය හැකි තරුවකි.


“වෙළෙඳ දැන්වීම් කරන අතරේ ඉන්දියාවෙ දමිළ ගීතයක මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මට ලබා දුන්නේ ජාත්‍යන්තර රූපලාවණ්‍ය පැජන්ට් එකකින් ජයග්‍රහණය කළ රූපලාවණ්‍ය ශිල්පිනී සංජීවනී ඇඹුල්දෙණිය අක්කා. නංගි ඉන්දියාවෙ ප්‍රඩක්ට් එකකින් කරන මියුසික් වීඩියෝ එකකට ගර්ල් කෙනෙක්ව හොයනවා ඔයාත් ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිහින් බලන්න කියලා ඇය තමයි මාව දැනුවත් කළේ. ලංකාවෙ ජනප්‍රිය තලයේ ඉන්න ගොඩක් රංගන ශිල්පිනියන් ඒකට ඇවිත් හිටියා. ඒකට මාව තෝරගත්ත කියල දන්වපු දවසෙ මට ලොකු සතුටක් දැනුණා. ඒක දවස් තුනක ලොකු ප්‍රොජෙක්ට් එකක්.


පහුගිය 17 වැනිදා ගීතය යූටියුබ් එකට රිලීස් කළා. තවත් ඉන්දීය නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ඒත් මට කලබලයක් නෑ. මට ඕන අවබෝධයෙන් හෙමින් මේ ගමන යන්න. ඒ වෙනුවෙන් මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


මට ඉන්නෙ අම්මයි තාත්තයි නංගිල දෙන්නයි. තාත්තා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. ඔවුන් ගොඩක් කැමතියි මං මේ ක්ෂේත්‍රයේ ඉන්නවට. අම්මා තමයි හැමවෙලේම මගේ පිටිපස්සෙ හෙවණැල්ල වගේ ඉන්නෙ.”


දවසින් දවස මඟ අලුත් කරමින් ඉරියට එන පියුමාලිගේ අත ගන්නත් කෙනෙක් බලා ඉන්නවා.


අපි ඇගෙන් ඒ පිළිබඳ විමසූ විට පියුමාලි දුන්නේ මේ වගේ උත්තරයක්.


“ඔව්. මමත් ආදරවන්තියක්. මගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන් තමයි මං එයාව අඳුනගත්තේ. එයා මගේ යාළුවෙක්ගෙ හොඳම යාළුවා. ආදරේ කරන්න පටන් ගනිද්දි මං එයාව දැකලවත් තිබුණෙ නෑ.


මේ වෙද්දි එයා ඉන්නෙ විදෙස්ගත වෙලා. එයත් මගේ ගමනට ලොකු සහායක් දෙනවා.


කාලෙකට කලින් එයත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක් නිසා එයා මගේ කැමැත්තට ඉඩ දීලා මගේ පස්සෙන්ම ඉඳන් හරි වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවා. ඒක මගේ ගමනට ලොකු ශක්තියක්.”


නාමලී ගමගේ



Previous Post Next Post