මගේ ජීවිතය පිළිවෙල කළෙ බුවී-සජිත ඇන්තනී




මේ දිනවල තිරගත වන සිංහබාහු සිනමා නිර්මාණයෙන් වගේම පාට කුරුල්ලෝ සහ බයිස්කෝප් ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය ලබන සජිත ඇන්තනී කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ චරිතයෙන් සිය ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන චරිතයක් බවට පත් වූ සජිත ඇන්තනී සිය අදහස් මෙවර  බෙදාගත්තේ මෙලෙසින්. 


ඉතින් ඔබට කොහොමද?


ඇත්තටම මේ කාලය ගොඩක් හොඳින් ගෙවිලා යනවා. විශේෂයෙන්ම කලා වැඩකටයුතු ගොඩක් සාර්ථකව සිදුවෙනවා.


මේ දිනවල ඔබේ කලා කටයුතු ගැනත් කතා කළොත්?


මේ දිනවල මගේ නිර්මාණ කිහිපයක්ම ප්‍රේක්ෂකයන්ට නරඹන්නට පුළුවන්. විශේෂයෙන්ම සිංහබාහු නිර්මාණය මේ දිනවල අති සාර්ථක අන්දමෙන්, වාර්තා පිහිටුවමින් තිරගත වෙනවා. ඒ වගේම මම රංගනයෙන් දායකවන සිහින සමීකරණ සිනමා නිර්මාණයත් තිරගත වෙනවා. මේ සිනමා නිර්මාණ දෙකට අමතරව පාට කුරුල්ලෝ සහ බයිස්කෝප් කියන ටෙලිනාට්‍ය නිර්මාණ දෙකත් විකාශය වෙනවා. බොහෝ විට තවත් මාසයක් වගේ ගතවන විට මම රංගනයෙන් දායක වුණ තවත් සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට නරඹන්නට හැකි වේවි.


කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


මේ මොහොතේදී මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ සිංහබාහු සිනමා නිර්මාණයට. ඇත්තටම මේ සිනමා නිර්මාණයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් තරමක් වෙනස්. මොකද මම, මගේ අප්පච්චී සහ අයියා කියන අපි තුන්දෙනාම මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන් අතරට එනවා. මගේ පියා අනතුරට පත් වෙන්නේත් මේ නිර්මාණය අතරතුර. ඉතින් බොහෝ විට මේ නිර්මාණයත් එක්ක ඉතාම සංවේදී කාරණා ගොඩක් බැඳිලා තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති ඒ නිර්මාණයට තරමක් වෙනස් ආකාරයේ ප්‍රතිචාර ලැබෙන්නේ. කොහොම නමුත් සිනමා නිර්මාණවලට වගේම ටෙලිනාට්‍ය නිර්මාණවලටත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාට කුරුල්ලෝ නිර්මාණයට නම් බොහෝ ප්‍රේක්ෂකයන් කියන්නේ පාරදිගේ ටෙලිනාට්‍යයේ බණ්ඩයි, නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරයි එකට රඟපානවා කියලා.


නාඩගම්කාරයෝ නිර්මාණයෙන් පසුව ටෙලිනාට්‍ය නිර්මාණවලින් කෙටි විවේකයක්  අරගන්න හිතුවේ ඇයි?


ඇත්තටම මෙහෙම වෙන්න හේතු දෙකක් තිබුණා. එකක් තමයි නාඩගම්කාරයෝ නිර්මාණයේ අවසාන කාලයේදී තමයි මගේ අප්පච්චී අනතුරට පත් වුණේ. ඉතින් ඒත් එක්ක මගේ ජීවිතයේ සිදුවුණ කඩාවැටීමත් එක්ක මම සෑම කලා නිර්මාණයකින්ම වගේ අෑත් වුණා. ජීවත් වෙන්න අවශ්‍ය මුදල් ටික හම්බ කරගන්න අවශ්‍ය වැඩ ටික කළා මිස වෙනදා වගේ වැඩවලට සම්බන්ධ වුණේ නැහැ. ඇත්තටම ඒ අවස්ථාවත් එක්ක මට යම් කිසි කාලයක් අවශ්‍ය වුණා. අනිත් එක තමයි අපි කාන්තාරයේ යනකොට ක්ෂේම භූමියක් ලැබුණාම එහි නවාතැන් ගන්න හොඳ නැහැ. මොකද කාලගුණය වෙනස් වෙද්දී ක්ෂේම භූමියත් කාන්තාරයක් වෙන්න පුළුවන්. ඉතින් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් පස්සේ නැවත මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියන තීරණයකට මම ආවා. මම නාඩගම්කාරයෝ නිර්මාණයට සම්බන්ධ වෙන්න පෙරත් ඒ වගේ තීරණයක තමයි සිටියේ. කොවිඩ් වසංගත කාලයේ වැඩක් නැතුව ගෙදරට වෙලා හිටපු නිසා සහ සද්ධාමංගල මාමාගේ සහ ශිවගුරුනාදන් මාමාගේ ආරාධනාව නිසා ඒ නිර්මාණයට කැමැති වුණා. නමුත් නාඩගම්කාරයෝ  නිර්මාණය කළාට පස්සේ තමයි මට සිතුණේ ඒක මගේ ජීවිතේ ගත්ත හොඳ තීරණයක් කියලා. කොහොම නමුත් එක ළඟ මෙගා නාට්‍ය දෙකක් කරන්නේ නැහැ කියලා සිතීමත් මේ විවේකයට හේතුවක් වුණා.


මේ දිනවල තිරගත වෙන සිංහබාහු සිනමා නිර්මාණය ඔබට බොහෝ විශේෂ එකක්. ඒ ගැනත් කතා කළොත්?


සිංහබාහු නිර්මාණය කියන්නේ අපේ ජීවිතවලට අමතක නොවන නිර්මාණයක්. හොඳ මතක වගේම අමිහිරි මතකත් නිසා මේ නිර්මාණය මට ගොඩක් විශේෂ වෙනවා. සිංහබාහු සිනමා නිර්මාණය කියන්නේ අපි තුන්දෙනා එකම සිනමා නිර්මාණයක රඟපාපු එකම අවස්ථාව. ඇත්තටම මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්නේත් මීට වසර පහකට කලින් මගේ විවාහ උත්සවය දවසේ. මගේ අප්පච්චීට මේ යෝජනාව අරගෙන ආවේ සෝමරත්න දිසානායක මාමා. මගේ අප්පච්චීගේ අනතුර සිදුවෙන්නේ මේ නිර්මාණය කරගෙන යන අතරතුර. ඒ වගේම අපට අප්පච්චීව අහිමි වෙන්නේත් මේ නිමාණයේ ඉදිරි කොටස් ෂූට් කරන්න තිබෙද්දී. ඇත්තටම අප්පච්චී නැති වුණාට පස්සේ අයියටයි මටයි චිත්‍රපටයේ ඉතිරි අර්ධයේ වැඩ කරගෙන යාම පහසු වුණේ නම් නැහැ. ඉතින් සිංහබාහු නිර්මාණයත් එක්ක අපට ලස්සන මතක වගේම දුක්බර මතකත් ගොඩක් තියෙනවා.


ඔබට කලාව පිළිබඳව ආභාෂය පවුලෙන් ලැබුණත් කලාව හදාරනවා. ඉතින් රංගන ශිල්පියකුට කලාව පිළිබඳව හැදෑරීම කෙතරම් වැදගත්ද?


කලාකරුවකුට ඒ කලා ක්ෂේත්‍රය පිළිබඳව කුසලතාවක්,  ව්‍යුත්පත්තියක් සහ සතතා අභ්‍යාසයක් තිබිය යුතුමයි. කුසලතාව අපට පවුලෙන් වගේම ජානමය හේතුවලින් ලැබෙන්නත් පුළුවන්. නමුත් අපට ව්‍යුත්පත්තිය එහෙමත් නැති නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි. එය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්ම ලබාගන්න ඕනෑ කියලා මම කියන්නේ නැහැ. අපි සෑම මොහොතකම යමක් ඉගෙන ගන්නවා. අපේ කලාව වෙනුවෙන් නිරන්තර දැනුම සොයනවා කියන තැන අපි සිටියොත් විශ්වවිද්‍යාලයේ ගිහින් මේ ගැන ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම නමුත් කලාව පිළිබඳ හොඳ ඉගෙන ගැනීමක් අවශ්‍යයි කියලයි මම නම් සිතන්නේ. එය මගේ අප්පච්චීත් නිතරම පැවසූ දෙයක්.


රංගන ශිල්පීන්ට සම්මාන ලැබීම ගැන ඔබ මොකද හිතන්නේ?


ලෝකයේ තහනම් උත්තේජක වගේම තහනම් නොවන උත්තේජකත් ති‍යෙනවා. කලාකරුවකුට සම්මානයක් ලැබෙනවා කියන්නේ හරියට කලාකරුවකුට තහනම් නොවන උත්තේජකයක් ලබා දෙනවා වගේ වැඩක්. ඇත්තටම කලාකරුවන්ට ඔවුන්ගේ උපරිම සාර්ථකත්වයට යන්න සම්මාන ලැබෙනවා කියන්නේම ගොඩක් හොඳ දෙයක්. මොකද ඔවුන්ට හොඳ අරමුණක් ගොඩනඟාගන්න සම්මාන හොඳ හේතුවක් වෙනවා.


ඔබ දැන් වේදිකාවෙන් අෑත් වෙලාද?


ඇත්තටම ඔව්. ඒ කියන්නේ මම පූර්ණ ලෙස වේදිකාව අතහැරලා කියන එක නෙවෙයි. නමුත් මම අනෙක් වැඩකටයුතුවලට දීලා තිබෙන ඉඩකඩත් එක්ක, කාලයත් එක්ක වේදිකාව බොහෝ දුරට මඟ හැරිලා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ නිර්මාණ වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරිවුණ එක. මොන දේ කරන්න වෙන්නෙත් අපට මේ පැය විසිහතර ඇතුළේ. ඇත්තටම වේදිකාව මඟහැරෙන්න හේතුව ඒක. 


ඔබ බොහොම කුඩා කාලයේදීයි රංගනයට පිවිසෙන්නේ. ඉතින් වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතන්නේ?


කලා ක්ෂේත්‍රය කියන්නේත් අනෙක් සෑම ක්ෂේත්‍රයක් වගේම බොහෝ ගැටලුවලට මුහුණපාපු ක්ෂේත්‍රයක්. ඉතින් නොයෙක් හේතු නිසා සිනමා කර්මාන්තය වගේම ටෙලි නාට්‍ය කර්මාන්තයේත් යම් පසුබෑමක් දැකගන්නට ලැබුණා. මේ ක්ෂේත්‍රයට කොතරම් බාධක ආවත් මේ ක්ෂේත්‍රයේ  අනාගතය සුබ වෙන බව නම් පෙනෙනවා. මොකද මෑත කාලයේ බිහිවුණු සිනමා නිර්මාණ වගේම ටෙලි නාට්‍ය නිර්මාණත් බොහෝ වෙනස් තැනකයි තිබෙන්නේ. කතුරු මිතුරු, ගජමෑන් වගේ නිර්මාණත් එක්ක නැවතත් ජනකාන්ත සිනමා යුගය ඇරඹුණා කියලයි මට නම් සිතෙන්නේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයත් එහෙමයි. ඉතින් මේ සාර්ථකත්වය වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා.


රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ඔබේ පියා ගිය අඩි පාරේම යන්න ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ?


මම නිතරම උත්සාහ කරන්නේ මගේ අප්පච්චී ගිය අඩි පාරේ යන්න නෙවෙයි. මොකද අප්පචී මේ ක්ෂේත්‍රය ඇතුළේ හොඳ ගමනක් ඇවිත් එක තැනක නවතිනවා. ඉතින් මට අප්පච්චී නිතරම කිව්ව දෙයක් තමයි මම ආපු පාරේ ඇවිත් මම නැවතුණු තැනින් නවතින්නේ නැතිව ඉදිරියටම යන්න කියන එක. ඉතින් ඇත්තටම මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම වෙහෙසෙනවා.


කලා කටයුතුවලට බිරියගෙන් ලැබුණු සහයෝගය ගැනත්  මතක් කළොත්?


ඇත්තටම බුවී නැති නම් අද සජිත ඇන්තනී කෙනෙකුත් නැහැ. මොකද සජිත ඇන්තනී කියන චරිතය මුල්ම නිර්මාණ කිහිපයෙන් පස්සේ වැඩ නැතිව බොහෝ කාලයක් සිටියා. ඉතින් බුවී ලැබුණාට පස්සේ තමයි මම නැවත මේ ක්ෂේත්‍රයේ වැඩ පටන් ගත්තේ. ඇත්තටම ඇය මහා ලොකු දෙයක් කළේ නැහැ. මට මඟහැරුණු දුරකථන ඇමතුම්වලට ඇය රිප්ලයි කළා. මට මඟහැරුණු ඊමේල්වලට  ඇය රිප්ලයි කළා. ඇත්තටම මට මඟහැරිලා තිබුණු කොටස ඇය පිරෙව්වා. ඒත් එක්ක මට නිර්මාණ බොහෝ ප්‍රමාණයකින් වැඩ ගලාගෙන ආවා. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වේ බුවී නැති නම් සජිත කෙනෙකුත් නැහැ කියලා. මගේ ජීවිතය පිළිවෙළ කළේ  බුවී.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ ජීවිතයේ මම ලබා ගන්න සෑම දෙයක්ම මගේ අනාගත බලාපොරොත්තු. කොටින්ම කියනවා නම් බුවී වගේ ලස්සන තරුණියක් විවාහ කරගන්නවා කියන එකත් මගේ ජීවිතයේ මට තිබුණු බලාපොරොත්තුවක්. ඉතින් මගේ ජීවිතයේ බලාපොරොත්තු එකක් දෙකක් නැහැ. මම සපුරා ගන්න සියලුම දේ මගේ ජීවිතයේ බලාපොරොත්තු තමයි.


නිශානි සවින්දිකා රාජපක්ෂ.




Previous Post Next Post