නයනතාරා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂතම රංගන ශිල්පිනියක්. ඇය මේ වන විට පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන්ද ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබනවා. පසුගියදා පැවැති රයිගම් සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය ශාරධාගේ චරිතයෙන් දිනා ගන්නට ඇය සමත් වුණා. මෙතෙක් ජනප්‍රියම කැටගරියේ සම්මාන ලබමින් සිට හොඳම නිළිය කැටගරියේ සම්මානයක් ලැබීමෙන් පසු නයනතාරාගේ කලා ජීවිතය
සම්පූර්ණයෙන්ම වෙනස් වේවි යැයි බොහෝදෙනා අතර කතාබහක් ඇති වුණා. ඉතින් මෙවර හදගැස්මෙන් මේ පිළිබඳව කතා කරන්නට අපි සිතුවා. ඒ සඳහා අප සමඟ එක් වන්නේ කලා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන නයනතාරා වික්‍රමාරච්චි. මේ දිනවල මොකද වෙන්නෙ?
ගොඩක් හොඳයි. මගේ වැඩකටයුතු ටික කරගෙන හොඳින් කාලය ගත කරනවා. මේ දිනවල නම් මම මුම්බායිවල ඉන්නේ. මොකද මෙහේ තිබෙන අනුපම් ඛේර්ගේ රංගන පාසලට මාව තේරුණා. මේ අවස්ථාව ලැබෙන්නේ ලෝකයේ බොහොම සීමිත පිරිසකට. ඒ අවස්ථාව මටත් ලැබුණා. ඒ වගේම මේ පාසලේ ඉගෙන ගන්න ලැබුණු පළමු ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය වීම ගැනත් මට ගොඩක් සතුටුයි. මේ දිනවල මගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැනක් දීලා කටයුතු කරනවා.
රයිගම් සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. එතැනින්ම කතාව පටන්ගමු?
මේ වසර ආරම්භයේ පටන්ම මට සම්මාන බොහොමයක් ලැබුණා. මුලින්ම සුමති සම්මාන උළෙලේ ශාරධාගේ චරිතයට සම්මානයක් ලැබුණා. ඊට පස්සේ ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණා. ඒ වගේම මේ වසරේ රයිගම් සම්මාන උළෙලේ හොඳම සහය නිළියගේ චරිතයට සම්මාන ලැබුණා. ඉතින් මේ වසරේදී මට සම්මාන පහක් හිමි වුණා ඇත්තටම මේ කාලයේ ලංකාවේ ඉන්න ලැබුණා නම් ගොඩක් වටිනවා. මට ශාරධාගේ චරිතය ලබා දුන් ලලිත් රත්නායක අධ්‍යක්ෂවරයාට සහ ඒ සම්මාන උළෙලවල් සඳහාද ස්තුතිවන්ත වීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ජනප්‍රිය කැටගරියේ සම්මාන ලබමින් සිටි ඔබ ශාරධාගේ චරිතයෙන් හොඳම නිළිය කැටගරියේ සම්මානයක් ලැබුණා. එය ඔබේ ජීවිතයේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක් නේද?
ඇත්තටම ඔව්. ශාරධා කියන චරිතය ගොඩක් මහන්සි වෙලා හරිම ආදරයෙන් ගොඩනඟපු චරිතයක්. ශාරධාට මමත් ගොඩක් ආදරෙයි. ඇත්තටම ශාරධා කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් හොඳම නිළිය කැටගරි එක කියන්නේ හොඳ වටිනාකමක් තිබෙන, හොඳ බරක් තිබෙන කැටගරියක්. ඒ වගේම ලලිත් රත්නායක වැනි අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීමමත් භාග්‍යයක්. ඉතින් ඒ ගැන ඇත්තටම හරිම සතුටුයි.
ශාරධා නිසා දෙමළ භාෂාව ඉගෙනගත්තා කියන්නේ ඇත්තද?
ඔව්. මට ශාරධා නිසා දෙමළ භාෂාව ඉගෙනගන්න සිදු වුණා. මට ඒ වෙනකල් දෙමළ කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මාසයක් වැනි ඉතාම කෙටි කාලයකින් මට දෙමළ භාෂාව ඉගෙනගන්න වුණා. ඉතින් ඒ වෙනුවෙන් දෙමළ විෂය ඉගැන්වූ මගේ ගුරුවරුන් වගේම දර්ශන තලයේදී උදවු කළ සියලුදෙනාවත් මේ වෙලාවේ මතක් කරනවා. මොකද මාසයක් වගේ කෙටි කාලයකින් භාෂාවක් ඉගෙනගන්නවා කියන එක පහසු වැඩක් නෙවෙයි. විශේෂයෙන් ශාරධා කියන්නේ දමිළ පරිසරයක හැදී වැඩුණු, භාෂාව ගැන හොඳ දැනුමක් තිබෙන චරිතයක්. ඒ චරිතයට අවශ්‍ය ලෙස භාෂාව ඉගෙනගන්නවා කියන දේ පහසු නැහැ.
මේ දිනවල ලංකාවෙන් බැහැරව ගත කරන ජීවිතය ගැනත් කතා කළොත්?
මම ලංකාවෙන් බැහැර වෙලා මාස හතරකට වැඩි කාලයක් ඉන්දියාවේ මුම්බායිවල තමයි ඉන්නේ. ඇත්තටම ඒක වෙනස්ම අත්දැකීමක්. කොහොමත් මම කැමැතියි සංචාරය කරන්න. ඒ වගේම අභියෝගවලට මුහුණ දෙන්නත් මම හරි කැමැතියි. ලංකාව වගේ නෙවෙයි මෙහිදී වෙනස්ම සංස්කෘතියකට මම මුහුණ දෙනවා. ඒ වගේම මට මෙහිදී මුණගැසෙන්නේ අලුත් සමාජයක්. ඇසුරු කරන්නට ලැබෙන පිරිසත් අලුත්. ජීවිතයේදී අපට හැම මොහොතකම ඉගෙන ගන්න දෙයක් තිබෙනවා. අලුත් රටකට යනවා කියන්නේ ඊටත් වඩා ගොඩක් දේවල් අපිට ඉගෙනගන්න ලැබෙනවා. මේ දිනවල නම් මගේ කාලය ගොඩක් ගෙවෙන්නේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක වගේම ඇකඩමියේ තිබෙන පුහුණුවීම් කටයුතු සමඟයි. ඒ වගේම ඉන්දියාවේ තිබෙන රස රස කෑම කන්නත්, ලස්සන සුන්දර ස්ථානවල සංචාරය කරන්න යන්නත් අමතක කරන්නේ නැහැ.
බොහෝ දෙනා පවසනවා ඔබ ඉන්දියානු සිනමාවට සම්බන්ධ වෙනවා කියලා. ඇත්තටම එහෙම අදහසක් තිබෙනවාද?
ඇත්තටම මම ඉන්දියාවට ආවේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. දැනට නම් මම අධ්‍යාපන කටයුතු විතරයි කරගෙන යන්නේ. නමුත් ලෝකයේ ඕනෑම දෙයක් දවසින් දවස මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකක් වෙයිද කියලා.
ඔබ නැවත ලංකාවේ ටෙලිනාට්‍ය හෝ සිනමා නිර්මාණවලට සහභාගි වීමට අදහසක් නැද්ද?
අනේ එහෙම අදහසක් නම් මගේ සිතේ ඇතිවෙලා නැහැ. මොකද අපේ රටේ අපේ නිර්මාණයකට සහභාගි වෙලා ඒ ලබන තෘප්තිය වෙනත් රටක නිර්මාණ කරලා ලබන්නට බැහැ. මම අනිවාර්යයෙන්ම මගේ අධ්‍යාපන කටයුතු සිදු කරන ගමන්ම ලංකාවේ කලා නිර්මාණවලටත් සහභාගි වනවා. මම මේ වන විටත් ලංකාව සමඟ සම්බන්ධවෙලා නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කරගෙන යනවා. පසුගිය දින කිහිපයේ ඕස්ට්‍රේලියාවේ රූගත කෙරුණු සිංහල චිත්‍රපටයකටත් මම සම්බන්ධ වුණා. එයත් නොබෝ දවසකින් තිරගත වේවි. ඉතින් ලංකාවේ කලාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම ලංකාවේ සිනමා නිර්මාණවලට සහභාගි වෙනවා.
ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළොත්?
මගේ එකම බලාපොරොත්තුව තමයි මේ ඉන්නවා වගේම සතුටින් නිදහසේ මගේ වැඩකටයුතු කරගෙන ලස්සනට ජීවත් වෙන එක. මගේ ප්‍රේක්ෂකයන් මගේ ගැන විශ්වාස කරලා ලොකු ආදරයක්, වගකීමක් වගේම ලොකු බලාපොරොත්තුවක් තබාගෙන සිටිනවා. ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරන එකත් මගේ ලොකුම බලාපොරොත්තුවක්. හොඳ සිනමා නිර්මාණවලට සහභාගි වෙන්නත් අදහසක් තිබෙනවා. නමුත් ඒවා තවම භාර අරගෙන නැහැ. තවත් කරන්න වැඩ ගොඩක් සිතේ තිබෙනවා. ඒවා අනාගතයේදීම දවසක කතා කරන්න අපි ඉතිරි කරමු.
නිශානි සවින්දිකා රාජපක්ෂ