ඒ තීරණය තව ටික කාලයකින් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා - දිල්හානි වීරසිංහ




දිල්හානි වීරසිංහ කියලා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. දිල්හානි පසුගිය කාලයේ අහස් මාළිගා, හුස්මක් තරමට, සුසුමක ඉම වැනි ටෙලිනාට්‍ය හරහා සේම ජාතික රූපවාහිනියේ විකාශය වුණු සකල ගු රු ටෙලි නාට්‍යයේ පුෂ්පා ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඒ එක්කම ඇය සමාජ මාධ්‍යය තුළින් වැඩි වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ සුන්දර මනාලියක් ලෙසින්. මේ සියල්ල ඇය කරන්නේ වෘත්තියෙන් රාජ්‍ය සේවයේ නියැළෙන අතරේ.


ඔබ රාජ්‍ය සේවිකාවක්. කාලෙකට කලින් නිතරම පුංචි තිරයේ පෙනෙන්න හිටියා. දැන් එහෙම නැහැ. ඇයි ඒ?


මම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ රැකියාව කරන්නේ. මම රාජ්‍ය සේවයේ නියැළෙන අතරේ කලා කටයුතු කරන නිසා ලැබෙන කාලය සීමිත වෙලා තියෙනවා. ඒ ලැබෙන කාලයත් පහුගිය කාලේ වැඩිපුර යෙදෙව්වේ බ්‍රයිඩ්ල් මොඩ්ල්වලට සහ වෙළඳ දැන්වීම් වලට.


තාමත් සකල ගුරු පුෂ්පාට ප්‍රතිචාර ලැබෙනවද?


ඒ නාට්‍යයTv 1 නාළිකාවේ සහ ජාතික රූපවාහිනියේ නැවත විකාශයක් යනවා. ඒ හින්දා එදා වගේම ප්‍රතිචාර කිසිම අඩුවක් නැතුව තියෙනවා. ඒ හරහාත් මට නැවත ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබුණා. මම හැමදාම කියනවා වගේ සකල ගුරු හි පුෂ්පා කියන්නේ මගේ රංගන ජිවිතේ කඩඉමක්.


ඉරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


අලුත්ම නිර්මාණ දෙකකට මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. ඉතා ඉක්මනින් අලුත් වෙනස් වූ චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ එක්කම ඉදිරියේදී වැඩි ඉඩක් කලා නිර්මාණවලට දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මොන වගේ චරිතවලට ද කැමැත්ත?


පුෂ්පා කියන චරිතයට ගොඩක් අය ආදරේ කළා. ඒ නිසා ඒ වගේ චරිත සහ මම ගොඩක්ම ආසයි නැටුම් ගුරුවරියකගේ චරිතයක් කරන්න. මම උපාධිය හැදෑරුවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්. ඒ නිසා නර්තන හැකියාව මට තියෙනවා. ඒ හැර එකිනෙකට වෙනස් වූ විවිධ චරිත කරන්න තමයි කැමති.


රංගනයට සීමාවන් තියෙනවද?


මට ගැළපෙන සීමාවේ ඉඳන් මම වැඩ කරන්නේ. මට කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් චරිතයක් භාර ගත්තොත් ඒ වෙනුවෙන් උපරිම කැපවෙනවා.


අද වෙද්දී මේ රංගන ක්ෂේත්‍රයට දවසින් දවස අලුත් අය එනවා. ඒ අය ඔබට අභියෝගයක් ද?


අලුත් දක්ෂයෝ ඇවිත් ඉන්නවා. ඒ අය අතරේ අපිට වඩා හැම අතින්ම දක්ෂ අය ඉන්නවා. ඒ අය මේ කලාව එක්ක එකතුවීම ගැන සතුටුයි. අපි හදාගත්ත අපේ ගමන එක්ක තමයි අපේ පැවැත්ම තීරණය වෙන්නේ. අපේ දක්ෂතාවය හදාගෙන ඉදිරියට යනවා නම් අලුත් අය කොයි තරම් ආවත් අභියෝගයක් වෙන එකක් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. මම නම් සතුටයි දක්ෂ අලුත් අය බිහිවෙන එක ගැන.


සිනමාවට ඔබේ දායකත්වය කොහොමද?


කල්‍යාණ චන්ද්‍රසේකරයන්ගේ “රජා මමයි” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මම. ඊට පස්සේ වින්දන සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ “රූකඩ පැංචි”, බෙනට් රත්නායක මහතාගේ “කවුරුවත් දන්නේ නෑ” චිත්‍රපටවලට දායක වුණා. ඒ නිර්මාණ තිරගත වුණා. ඒවායේ ලොකු චරිතයක් නොවුණත් මට විශාල අත්දැකීම් ප්‍රමාණයක් එකතු වුණු නිර්මාණ. තව නිර්මාණ දෙකක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.


ඔබ වැඩියෙන්ම කාර්යබහුල වෙලා ඉන්නේ බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදියටනේ, මේ වෙද්දී මනාලියක් ලෙස කී වතාවක් සැරසිලා තියෙනවද?


දැන් නම් 2500කට වැඩි වතාවක් මනාලියක් ලෙස හැඩ ගැන්විලා තියෙනවා. ඒ ආව ගමන ගැන නිහතමානීව ලොකු සතුටක් තියෙනවා. මුළු ලංකාවේම උතුර දකුණ මේ හැම තැනකම ඉන්න රූපලාවණ්‍යය ශිල්පීන්ගෙන් හැඩ ගැන්වෙන්න වාසනාව ලැබුණා. මේ දවස් වල නම් වැඩියෙන්ම දමිළ විදිහට හැඩගැන්වීම් තමයි කරන්නේ. ඒ ගොඩක් අය කියන්නේ මගේ හිනාව ලස්සනයි කියලා. මාව ඒ අයගේ නිර්මාණවලට දායක කරගැනීම ගැන ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.


වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ කොයි විදිහට හැඩ ගැන්වීමෙන් ද?


මුල් කාලයේ නම් ගොඩක්ම උඩරට. මම අඩුවෙන්ම ඇඳලා තියෙන්නේ පහතරට සම්ප්‍රදාය. දමිළ අය එක්ක වැඩ කරන්න ගත්තට පස්සේ දමිළ විදිහට හැඩ ගැන්වීම් වැඩිවෙලා තියෙනවා.


ඔබ දැන් ආදරවන්තියක්ද? කවද්ද ඇත්තටම මනාලියක් වෙන්නේ?


මම ආදරවන්තියක් තමයි. ජීවිතේ ඒ තීරණය තව ටික කාලයකින් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ?


මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මට මේ දේ ලැබුණේ අහඹු ලෙස. ඉතා ආදරෙන් ජාතික රූපවාහිනිය මතක් කරනවා. 2014 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට සහභාගී වීමෙන් පසුවයි මම මේ කලාවට එන්නේ. මගේ මුල්ම ටෙලි නාට්‍යය වන ළැබැඳියේ සහ මාව වඩාත් ප්‍රේක්ෂකයින් අතරට අරන් ගිය නාට්‍යය වන සකල ගුරු විකාශය වුණෙත් ජාතික රූපවාහිනියේ. හැමෝටම ලැබෙන්නේ නැති වාසනාවක් කලාව පිහිටීම කියන්නේ. ඒ නිසා ආපසු හැරිලා බලද්දී ගොඩක් සතුටුයි. මෙතැනට එන්න ගොඩක් අය උදවු කළා. ඒ උදවු කළ හැම කෙනෙක්වම මේ මොහොතේ නිහතමානීව මම මතක් කරනවා.


 අනුෂා රණසිංහ




Previous Post Next Post