තාත්තා ජනප්‍රියත්වය ඇඟට ගත්තු මනුස්සයෙක් නෙවෙයි-තරංග නෙල්සන්

 


බයිලා ලොවේ රජ කිරුළ හැර දමා ජීවන වේදිකාවෙන් බැස ගිය නිහාල් නෙල්සන් නම් වූ කලාකරුවා තමා නැති පාඩුව මකන්නට කෙනෙක් මෙහි තබා ගොස් තිබේ. ඒ අන් කිසිවකුත් නොව ඔහුගේම පුත්‍රයා වූ තරංග නෙල්සනුයි. තම පියාගේ නික්ම යෑමෙන් අනතුරුව සංගීත ලොව තුළ ක්‍රමයෙන් තම ස්ථානය තහවුරු කරගනිමින් සිටින ඔහු මෙවර හදගැස්ම සමඟින් එකතු වෙමින් තම වැඩ කටයුතු පිළිබඳව තොරතුරු බෙදාගත්තේ මේ අයුරිනි. කොහොමද මේ දිනවල වැඩකටයුතු?


මේ දිනවල කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්කම එළිමහන් ප්‍රසංග සඳහාත් ආරාධනා ලැබෙන නිසා ඒවාටත් සහභාගි වෙනවා. පසුගිය දිනවල මම යුරෝපයේ සංචාරයක නිරත වුණ නිසා ලංකාවේ ඉන්න ලැබුණේ නැහැ. ඒ අතරතුරේ මගේ අලුත් සංගීත කණ්ඩායම ආරම්භ කිරීමත් සිදුවුණ නිසා මේ දිනවල තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ.


කලා කටයුතුවලට ඔබේ පියාගෙන් ලැබුණු ආභාසය ගැන මොකද හිතන්නේ?


මට මේ වගේ අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙක් ලැබුණේ මගේ පෙර වාසනාවකට. මනුෂ්‍යත්වය හොඳට හඳුනන, කලා කටයුතුවලටත් දැඩිව ආදරය කරන තාත්තා කෙනෙක් ලැබුණු එක ඇත්තට ලොකු වාසනාවක්. මගේ අම්මයි, තාත්තායි හොඳ විධියට ජීවිත කාලය ගත කරපු නිසා මටත් සමාජයෙන් ලැබෙන අවධානය වගේම ආදරයත් නොඅඩුව ලැබෙනවා. ඒක මගේ කලා කටයුතුවලට ලොකු ශක්තියක්.


ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්න කියලා ඔබේ පියාගෙන් කිසියම් බලපෑමක් තිබුණාද?


ගායන ක්ෂේත්‍රයෙන් හෝ වෙනත් කිසිම දෙයක් කරන්න කියලා මට කවදාවත්ම බලපෑමක් කරලා නැහැ. නමුත් ඔවුන් මට හැමදෙයක් ගැනම  ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදුන්නා. මගේ තාත්තා මට හැම වෙලාවෙම කියපු දෙයක් තමයි දෙයක් කළ පසු ඒ දෙයට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ දරාගෙන ඉගෙන ගන්න කියලා.


ඔබ පටන්ගත්තු අලුත්ම වැඩේ ගැන කතා කරමුද?


මගේම කියලා සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. ඒ හැඟීම ආවේ කුඩා අවධියේ ඉඳලා. තාත්තා ජීවතුන් අතර සිටියදීත් ඒ හැඟීම මගේ හිතේ තිබුණා. නමුත් මට ඒ දෙය කරගන්න බැරි වුණේ රටේ පැවැති කොරෝනා ව්‍යසන තත්ත්වයත්, පාස්කු දින ප්‍රහාරයත් නිසා. නැවතත් රට යථා තත්ත්වයට පත්වුණාට පස්සේ කලා කටයුතුවලට සම්බන්ධවීමේදී මගේ කුඩා කාලයේ තිබුණ ආශාව ඉටු කරගන්න ඕනෑ යන හැඟීම ආවා. මගේ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් වෙන්නප්පුව අවටම ඉන්න පිරිසක්. දැනට මාස 6ක් 7ක් ඇතුළත තරංග නෙල්සන් විත් රෙගේ යන නමින් තමයි මම මගේ සංගීත කණ්ඩායම ආරම්භ කළේ. තරංග නෙල්සන් විත් රෙගේ සංගීත කණ්ඩායම මගේ නායකත්වයෙන්, ගාමීණි පෙරේරාගේ හා උපුල් නිශාන්තගේ කළමනාකාරීත්වයෙන් සිදුවෙනවා.


රෙගේ ශෛලියට අනුගත වුණු කණ්ඩායමක් නිර්මාණය කිරීමට අදහස් කළේ ඇයි?


ඇත්තටම එහෙම විශේෂ අදහසක් නැහැ. බෑන්ඩ් එකේ නම රෙගේ වුණාට රෙගේ ස්ටයිල් එකෙන්ම ගීත ගායනය සිදුවන්නේ නැහැ. මගේ සංගීත කණ්ඩායම තුළ රෙගේ ස්ටයිල් එකට අමතරව ඕනෑම ශෛලියකින් ගීත ගායනය සිදුවෙනවා. බෑන්ඩ් එක හරහා නව නිර්මාණ කිහිපයක් කරන්නත් අපි හිතාගෙන ඉන්නවා.


ඔබේම නව නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?


පසුගිය අවුරුදු කිහිපය තුළ සිටම නව නිර්මාණයක් කිරීමට බලාපොරොත්තුවෙන් හිටියා. මගේ කාර්යයබහුල ජීවිතයත් සමඟ ඒ ගැන ලොකු අවධානයක් දෙන්න බැරි වුණා. නමුත් මේ අවුරුද්දේ මැද හෝ අවසානය වන විට මගේම නිර්මාණයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිර්මාණය කිරීමට ගොඩක් පහසු වෙනවා දැන් මගේම කියලා බෑන්ඩ් එකක් තිබෙන නිසා.


නිහාල් නෙල්සන් සංගීත ක්ෂේත්‍රයේ බොහෝම ජනප්‍රිය  චරිතයක්. එවැනි කීර්තිමත් පුද්ගලයෙක්ගෙන් ඔබට ලැබුණු අවවාද අනුශාසනා මොනවාද?


මගේ තාත්තා ජනප්‍රියතාව ඇඟට ගත්තු මනුස්සයෙක් නෙමෙයි. ඔහුට ඕනම පුද්ගලයෙක් සම‍ඟ කටයුතු කරන්න පුළුවන්. හරිම සුහදශීලී චරිතයක් තමයි මගේ තාත්තා. ඔහුගේ හිතේ පිරුණු මනුස්සකම නිසා තවමත් මෙපමණ ජනතා ප්‍රසාදයක්, ගෞරවයක්, ආදරයක් හිමි වෙලා තියෙන්නේ. ඒ ලැබුණු ආදරය, ගෞරවය අපිටත් ඒ විදිහටම ලැබෙන්නේ මගේ තාත්තා මනුස්සකමින් ජීවත් වුණ නිසා.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?


සංගීත කණ්ඩායම ගැන ලොකු අවධානයක් ලබාදෙන්න ඕනෑ. මොකද අලුත් නිර්මාණ කිහිපයක්ම කරන්න සැලසුම් කරලා තිබෙන නිසා. ඒ වගේම එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගි වෙන්නත්  විදේශ සංචාර කිහිපයක් සඳහා  පිටත් වීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.


දෙව්මි චමීශා



Previous Post Next Post