ගැටලු ගැටලුවක් වුණේ නැත්තේ මම මුහුණ දුන් විදිහ නිසා-රසිකා වික්‍රමසිංහ




ප්‍රේක්ෂකාගාරය එක සැණින් තමන් වෙතට හරවා ගැනීමට ඇයට ඇත්තේ අපූරු හැකියාවකි. ළඟන්නා සුළු ඇගේ සිනහව, වතුර සේ චතුර ලෙස ගලන ඇගේ වාග් මාලාව ඇගෙන් ඇස් ඉවතට ගන්නට ඉඩ දෙන්නේම නැත. නමින් ඇය රසිකා වික්‍රමසිංහයි.


කොහොමද මේ දවස්වල ජීවිතේ?


මේ දිනවල ජාතික රූපවාහිනියේ කාටුන් වැඩසටහනකට හා කතා මාලාවකට හඬ කැවීම් ශිල්පිනියක් ලෙස හඬ දායකත්වය ලබාදෙනවා. ඒවාගේම ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. මීට අමතරව විවිධ වැඩසටහන්වලට නිවේදන කාර්යයෙන් සම්බන්ධ වෙනවා.


නිවේදක ජීවිතයට ඔබ අත්පොත් තැබුවේ කොහොමද?


එය ආරම්භ වන්නේ කුඩා කාලයේදීමයි. මම අධ්‍යාපනය ලැබුවේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේයි. අටවන ශ්‍රේණියේදී මම මුලින්ම නිවේදිකාවක් ලෙස වේදිකාවක නිවේදනය කළේ. රන් තරු පෙර පාසලේ විවිධ ප්‍රසංගයෙයි මට එකී අවස්ථාව ලැබුණේ. ඉන්පසු මම පාසලේ විවාද කණ්ඩායමට සම්බන්ධ වුණා. ඒ වගේම ජනමාධ්‍ය ඒකකයටත් එකතු වුණා. ඊට අමතරව දහම් පාසලේ විවාද තරගවලටත් සම්බන්ධ වී මගේ දක්ෂතා පෙන්වීමට මට අවස්ථාව ලැබුණා. මට වැඩිම තල්ලුවක් ලැබෙන්නේ යෞවන සමාජය හරහායි. ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වීම තුළ මගේ කථිකත්වය වැඩිදියුණු කර ගැනීමට ලොකු අත්වැලක් ලැබුණා. යෞවන සම්මාන උලෙළේ කිහිප අවස්ථාවකදීම සම්මානනීය වීමටත් මම වාසනාවන්ත වුණා.


ඔබ වෘත්තීමය නිවේදිකාවක්ද?


මම පුද්ගලික අංශයේ බැංකු නිලධාරිනියක් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව නිදහස් නිවේදිකාවක් ලෙස මගේ සේවය ලබාදෙනවා.


නිවේදන කාර්යය හැදෑරිය යුතු විෂය පරිපථයක් කියා ඔබ විශ්වාස කරනවද?


ඔව්. එය අනිවාර්යෙන්ම හැදෑරිය යුතු විෂයක්. මම කුඩා කාලයේ පටන්ම නිවේදන කාර්යය හැදෑරුවා. ටීවී එකේ නිවුස් කියනකොට අපේ තාත්තා කියනවා ඔයාටත් නිවුස් කියන්න පුළුවන් වෙයි කියල. එතකොට මට නිවුස් කියන්න ආසාවක් විතරයි තිබුණේ. මම ඒ ආසාව යථාර්ථයක් බවට පත් කළේ එකී විෂය හැදෑරීමෙන් අනතුරුවයි. පාසලෙන්, දහම් පාසලෙන්, යෞවන සමාජ වලින්, පාඨමාලාවලින් මම එය හැදෑරුවා. ඊට අමතරව භාෂාව, භාෂාව උච්චාරණය කරන ආකාරය, හඬ පාලනය පිළිබඳ ස්වයං අධ්‍යයනයක මම නිරත වුණා. එවැනි අධ්‍යයන කටයුතු වගේම වෙනස්වන තාක්ෂණයක් සමඟ නිවේදනයට එක් වූ නව ප්‍රවණතා පිළිබඳවත් අධ්‍යයනය කළා.


මාධ්‍ය ජීවිතය තුළ ගැහැනුකම ඔබට ගැටලුවක් වුණේ නැද්ද?


ගැටලු පැන නැඟුණෙ නැහැ කිව්වොත් මම වැරදියි. නමුත් කිසිමවිටක එකී ගැටලු මට ගැටලුවක් වුණෙ නැත්තේ මම ඒවාට ප්‍රතිචාර දැක්වූ ආකාරය අනුවයි. ගැහැනුකම ගැටලුකාරී තත්ත්වයක් වීම මාධ්‍ය ජීවිතයට පමණක් සීමා වූ ගැටලුවක් නෙමෙයි. එය ඕනෑම ක්ෂේත්‍රයකට පොදුයි. කොහොම වුණත් මාධ්‍ය ජීවිතය තුළ සියලු දෙනා සමඟ සුහදව කටයුතු කරන්න මට හැකියාව ලැබුණා.


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මම නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන නිසා නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නට මට ලොකු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මම කැමතියි නිවේදන කාර්යය තුළ මගේ දක්ෂතාවය පෙන්විය හැකි අවස්ථාවන් මට ලැබෙනවා නම් ඒවා උපරිමයෙන්ම ඉටු කරන්න. සැබෑ වෙයිද නොවෙයිද දන්නේ නැති වුණත් සම්මානනීය නිවේදිකාවක් වෙන්න මගේ ලොකු හීනයක් තියෙනවා.


විශ්මි ප්‍රනාන්දු



Previous Post Next Post