ඔහු වගේ කෙනෙකුට ළංවෙන්න ලැබීම මගේ පිනක් - ටාශි කාලිදාස




ටාශි කාලිදාස කියන්නෙ අපේ රටේ තරුණ පරම්පරාවේ ඉන්න බොහොම සුන්දර දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල නම් ටෙලි හෝ සිනමා නිර්මාණවලින් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසාම ඇය රංගනයට සමුදීලා ද නැද්ද යන්න දැනගන්න අපි කතා කළා....




මේ දවස්වල මොකද කරන්නෙ




මම පැෂන් ඩිසයිනින් කරන්නෙ. ඒ සඳහා ලෙක්චර්ස් යනවා. ෂූටින් නම් මේ දවස්වල නැහැ.




කලාවෙන් ඔබව දකින්න හැකි නිර්මාණ මොනවද?




මේ දවස්වල නම් මම කරපු නිර්මාණ එන්න නැහැ. මොකද පසුගිය කාලෙත් වැඩි ඉඩක් වෙන් කරේ මගේ ස්ටඩිවලට. හැබැයි ඉස්සරහට මගෙන් අලුත් නිර්මාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි.


දැන් රංගනයට සමුදීලා ද?




රංගනයට සමුදීලා නම් නැහැ. මම මේ ළඟදීත් කල්පනා කළා අලුත් නිර්මාණයකට දායක වෙනවද කියලා.




ඔබ රංගනයෙන් දායක වූ පාකිස්ථාන ටෙලි සීරියස් එක තිරගත වෙලා අවසන් ද?




ඔව් පාකිස්ථාන ටෙලි සීරියස් එක විකාශය වෙලා අවුරුද්දක් වගේ වෙනවා. මට ආරංචියක් ආවා ඉස්සරහට ඒ ටෙලි සීරියස් එක ලංකාවෙත් විකාශය කරනවා කියලා..




කොහොමද ලැබුණු ප්‍රතිචාර




ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණ. ලොකු අත්දැකීම් රාශියක් මගේ ජීවිතේට එකතු වුණා. ප්‍රවීණ නළු නිළියන් එක්ක වැඩ කළා. ලංකාවේ ජනතාවට වඩා පාකිස්ථාන ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.




රංගනයෙන් මදක් ඈත්ව ගත කරන ජීවිතේ කොහොමද දැනෙන්නෙ,




මේ ජීවිතේත් සුන්දරයි. හොඳ විවේකයක් ලැබුණ කියලා හිතෙනවා. මොකද මම දිගටම කාලයක් වැඩ කළ නිසා. ෂූටින් ගිය කාලේ මට මතක් වෙනවා.




ඔයාගෙ සමකාලින අය අද ක්ෂේත්‍රයේ ඉන්න තැන එක්ක බලද්දී, රංගනයෙන් මදක් ඈත්ව සිටිම ගැන දුකක් නැද්ද?




දුකක් නැත්තෙම නැහැ. මම රංගනයට සමුදීලා නැහැ. මගේ සමකාලින අය හොඳ නිර්මාණවල දකිද්දි ලොකු සතුටක් දැනෙනවා. අධ්‍යාපනය සහ රංගනය කියන දේ සමබරව පවත්වාගෙන යන්න මට ටිකක් අමාරුයි. ඒ නිසා මේ කාලේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි ඉඩක් දීලා තියෙනවා.




පැෂන්වලට කොයිතරම් කැමැති ද?




පැෂන් කියන්නෙ දවසින් දවස වෙනස් වෙන දෙයක්. අද තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. හෙට තියෙන එක නෙවෙයි අනිද්දා තියෙන්නේ. මම පැෂන් ඩිසයිනින් ඩිග්‍රි එකක් කරන නිසා මට හොඳ අවබෝධයක් තියෙනවා පැෂන් ඩිසයිනින් ගැන.





ටැටූ කරලා තියෙනවා ද?




ටැටූ නම් තවම කරලා නැහැ. හැබැයි එක ටැටූ එකක් කරන්න ආසාවක් තියෙනවා. සමහර අය නම් කියනවා ටැටූ එකක් කරාම ඒ දේට ඇඩික් වෙනවා කියලා. මම නම් එහෙම ටැටූ ගොඩක් කරන්න ආසාවක් නැහැ.




ටාශි ආදරේ දකින්නෙ කොහොමද ?




ආදරේ කියන්නෙ තේරුම් ගැනීම, විශ්වාසය, අත් හැරීම කියනවා. ආදරේ කියන දේ එකිනෙකා බලාපොරොත්තු වෙන විදිය වෙනස්. ආදරේ තුළ විශ්වාසය තේරුම් ගැනීම රැකබලා ගැනීම. ඒ වගේම මම එක දෙයක් කියනවා ආදරේ තුළ මම දකින්නෙ මොන ප්‍රශ්නය ආවත් ආදරේ කරන කෙනාව දාලා යන්නෙ නැහැ. මොන ප්‍රශ්නය ආවත් එයා ගාව ඉන්න එක තමයි ආදරේ කියන්නෙ.




ටාශිගෙ ආදරවන්තයා ගැන කිව්වොත්




මගේ ආදරවන්තයාගේ නම හිමේෂ් තෙන්නකෝන්. ඔහු බිස්නස් කරන කෙනෙක්. එයා මට වඩා ටිකක් වැඩිමල් කෙනෙක්. මට ලැබුණ හොඳම ප්‍රේමය ඔහු. මම හිතන්නෙ නැහැ ඔහු තරම් මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහේවත් ඇති කියලා. ඒ තරම් ඔහු මා වෙනුවෙන් කැප කිරීම් කරනවා. මමත් කැපකිරීම් කරනවා. මම ඇත්තටම මගේ අම්මට පස්සෙ දකින සුන්දර සහ ලස්සනම මනුස්සයෙක් ඔහු. අම්මට දෙවැනි නැතුව මගේ දේවල් කරලා දෙනවා. ඒ අතින් මම හරි පින්වන්තයි ඒ වගේ මනුස්සයෙක්ව ලබන්න. ඒ තරම් ඔහු ආදරණීයයි. කිසිම අඩුපාඩුවක් මට කරලා නැහැ.





ළඟදීම මංගල සීනු හැඬ වෙයිද ?




ඔව් ළඟදීම බලාගන්න පුළුවන් වෙයි. අපි බලමු මොකද වෙන්නෙ කියලා.




ඔහු අකැමැති ද ඔබ රඟපානවට




ඔහුගේ කිසිම අකැමැත්තක් නැහැ. ඔහු එක්ක මට ලැබෙන නිර්මාණ ගැන කතා කරලා තමයි තීරණයකට එන්නෙ. මට නොගැළපෙන චරිතයක් නම් මම කිසිම විටෙක කරන්නෙ නැහැ.




අනාගත බලාපොරොත්තු මොනවද?




එහෙම විශේෂ දෙයක් නැහැ .මම බලාපොරොත්තු වුණු හැමදේම මේ වෙද්දී මට ලැබිලා තියෙනවා. මට හොඳ දෙමාපියන් මට හොඳ ආදරවන්තයෙක් ලැබිලා තියෙනවා. මට ආසාවක් තිබ්බා ජාත්‍යන්තර නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඒ අවස්ථාවත් මට ලැබුණා. ඒ හැම දෙයක් එක්කම මට දැනෙන්නේ මම පින්වන්තයි කියලා.




Previous Post Next Post