රාමුවකට කොටුවුණු නළුවෙක් වෙන්න මම කැමැති නෑ- විරාජ් ධනූෂ



විරාජ් ධනූෂ කියන්නේ මේ දිනවල පුංචි තිරයෙන් බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන දක්ෂ, තරුණ රංගන ශිල්පියෙක්. බේකරි ගෙදර ටෙලි නාට්‍යයේ පාලිතගේ චරිතයෙන් මෙන්ම දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ විරාජ්ගේ චරිතයෙන් සහ පරපුරු පෙම ටෙලි නාට්‍යයේ ඩේමියන්ගේ චරිතයෙන් ඔබ හමුවට එන විරාජ් මෙවර  අප  සමඟ අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නෙ?


මේ දිනවල මගේ වැඩකටයුතු ටික හොඳින් කරගෙන යනවා. ඉතින් මේ සෑම දෙයක් එක්කම ජීවිතය සතුටෙන් ලස්සනට ගලාගෙන යනවා.


ඔබේ කලා කටයුතු ගැනත් මතක් කළොත්?


මේ දිනවල මම රංගනයෙන් දායක වන දිව්‍යාදරී, පරපුරු පෙම සහ බේකරි ගෙදර යන ටෙලි නාට්‍ය තුන විකාශය වනවා. ඒ වගේම මැයි දාහත්වැනිදා සිට “ආයාචනා” නමින් අලුත් ටෙලි නාට්‍යයක් විකාශය වීමට නියමිතයි. ඉතින් මේ වැඩකටයුතුත් එක්ක තමයි මේ දිනවල කාලය ගත වන්නේ.


ඔබ රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දිනවල විකාශය වනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර මේ නිර්මාණ තුනටම ලැබෙනවා. ඒ අතරින් බේකරි ගෙදර ටෙලි නාට්‍යයට අනෙක් නිර්මාණවලට වඩා තරමක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. බේකරි ගෙදර ටෙලි නාට්‍ය ජී. නන්දසේන මහත්මාගේ අධ්‍යක්ෂණයක්. බාල මහළු භෙදයකින් තොරව බේකරි ගෙදර ටෙලි නාට්‍යයට ප්‍රේක්ෂකයන්ගේ ලොකු ආකර්ෂණයක් ලැබිලා තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති අනෙක් නිර්මාණවලට වඩා බේකරි ගෙදර ටෙලි නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිචාර මත අපි ඒ නිර්මාණයට සාධාරණයක් කළා කියලා දැනෙනවා. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොන්නක් මැද මේ වන විට මගේ කලා කටයුතු සිදුකරගෙන යනවා.


ඔබ නිර්මාණ තෝරා ගැනීමේදී එකිනෙකට වෙනස් චරිත තෝරා ගැනීම පිළිබඳව සැලකිලිමත් වනවාද?


රංගන ශිල්පියකු ලෙස සෑම වෙලාවකම වෙනස් ආකාරයේ දේවල් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න අපි දැන ගන්න ඕනෑ. එය රංගන ශිල්පියා අතේ තිබෙන වගකීමක්. මම කැමැතිම, මම බලාපොරොත්තු වන චරිත නිතරම ලැබෙන්නේ නැහැ. නමුත් ලැබෙන චරිතය තමන්ට ගැළපෙන ලෙස ගොඩනඟා ගන්න කලාකරුවන්ට පුළුවන්. මගේ රංගන ජීවිතය තුළ මට ලැබුණු චරිත එකකට එකක් වෙනස් ලෙස ප්‍රේක්ෂකයන්ට ගෙන එන්න මම නිතරම උත්සාහ කරනවා. කලාකරුවෙක් එකම රාමුවකට කොටුනොවී ඉන්න නම් නිතරම එකකට එකක් වෙනස් ලෙස චරිත ගොඩනඟා ගැනීම වැදගත්. මම චරිතාංග රංගන ශිල්පියකු මිස එකම චරිත රාමුවකට කොටු වුණ රංගන ශිල්පියකු වෙන්න කැමැති නැහැ.


ඒ කියන්නේ ඔබ චරිත තෝරා ගැනීමක් සිදු කරනවා.


ඇත්තටම නැහැ. මම නම් දකින්නේ අපට ලැබෙන චරිත අපි භාරගත යුතුයි කියලා. මොකද අපට ලැබෙන චරිතය නොවෙයි, අප ඒ චරිතය සිදු කරන ආකාරයයි වෙනස් කරගත යුතු වන්නේ. අපට ලැබෙන චරිතයන් ඇතුළේ අපේ වගකීම නිසි ලෙස ඉටුකිරීම තමයි අප කළ යුතු වන්නේ. එවිට ගැළපෙන චරිත ලැබෙන තුරු බලා සිටිය යුතු නැහැ.


ඔබ නිතරම හාස්‍ය දනවන චරිතවලින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නවා නේද?


මිනිසුන්ව සතුටින් තියන්න, ඔවුන්ගේ මුහුණට සිනහවක් එක් කරන්න මම හරිම කැමැතියි.  ඒ වගේම මම මෙතෙක් රංගනයෙන් දායකවුණු චරිත සහ මට මෙතෙක් ආරාධනා ලැබුණේත් ඒ වගේ චරිතවලට. සෑම චරිතයකින්ම හාස්‍ය ගෙන එන්න බැහැ. නමුත් දුෂ්ටයාගේ චරිතයේදී වුණත් මිනිසුන්ට ප්‍රියකරන දුෂ්ටයෙක් වෙන්න රංගන ශිල්පියකුට පුළුවන්. මම හරිම කැමැතියි මිනිසුන්ගේ ඒ ආකර්ෂණයට වගේම සිනහවට. ඒ නිසා මගේ රංගනයෙන් ඔවුන්ව සිනහ ගන්වන්න මම නිතරම උත්සාහ කරනවා.


වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳව ඔබ මොකද හිතන්නේ?


සාමාන්‍යපෙළ අසමත් වීමෙන් පසුව හෝ උසස් පෙළ අසමත් වීමෙන් පසුව කරන්න තිබෙන එකම දෙය රංගනය හෝ නිරූපණය නොවෙයි කියලයි මම නම් හිතන්නේ. මොකද කලාකරුවෙක් කියන්නේම ඒ පිළිබඳව හොඳින් ඉගෙනගත යුතු පුද්ගලයෙක්. ඒ වගේම කලා ක්ෂේත්‍රය කියන්නේම හොඳින් ඉගෙනගෙන පැමිණිය යුතු ක්ෂේත්‍රයක්. අපි වෙනත් ක්ෂේත්‍රවලට යොමු වීමේදී ඒ පිළිබඳව හොඳින් ඉගෙන ගන්නවා. ඉතින් කලාකරුවකුට හොඳ හැදෑරීමක් අවශ්‍යයි. ගුරුවරයකු සිදු කරන්නේ ගුරු භුමිකාව පමණයි. කළමණාකරුවකු කරන්නේ කළමනාකරුගේ භූමිකාව පමණයි. නමුත් කලාකරුවකුට මේ සෑම භූමිකාවකටම අනුගත වෙන්න සිදුවනවා. ඉතින් මම හිතන්නේ කලාකරුවා කියන්නේ ලෝකයේ අමාරුම රැකියාව සිදුකරන පුදගලයා. ඒ නිසා කලා ක්ෂේත්‍රයට පැමිණෙනවා නම් මේ පිළිබඳව හොඳ හැදෑරීමක් සිදුකිරීම වැදගත්. සමාජ මාධ්‍ය හරහා යම් ජනප්‍රියත්වයක් ලැබූ පමණින් හොඳ කලාකරුවකු වෙන්න බැහැ. මේ ක්ෂේත්‍රය ඇතුළේ නිත්‍ය රංගන ශිල්පියකු වන්නට නම් කලාව පිළිබඳව හොඳ හැදෑරීමකින් ක්ෂේත්‍රයට පැමිණිය යුතුයි.


ඔබ රිදී තිරයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි කලාකරුවෙක්. නමුත් මෑත කාලයේ රිදී තිරයෙන් දැකගන්නට නොලැබෙන්නේ ඇයි?


මම කැමැතියි නැවත සිනමාවත් එක්ක වැඩ කරන්න. නමුත් වර්තමානයේදී සිනමා නිර්මාණ බිහිවන ප්‍රමාණයත් බොහොම අඩුයි. ඒලෙවල් නිර්මාණයෙන් පසුව මට තවම සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ. මේ රංගන ක්ෂේත්‍රය තුළ හොඳ දැවැන්ත චරිතයක් වෙන්නට නම් තවත් මේ පිළිබඳව හොඳින් අත්දැකීම් ලැබිය යුතුයි කියලා මම හිතනවා. ටෙලි නාට්‍ය තුළින් බොහෝ අත්දැකීම් ලබා ගනිමින් ක්ෂේත්‍රයේ පරිණත පුද්ගලයකු වූ දිනක සාර්ථක සිනමා රංගන ශිල්පියකු වෙන්න ලැබෙයි කියලා මම හිතනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, ටෙනිසන් කුරේ වැනි මේ ක්ෂේත්‍රයේ ඉඳලා අප අතරින් වෙන් වී ගිය ප්‍රවීණ කලාකරුවන් ගැන අපි හැමදාමත් කතා කරයි. ඒ චරිත තවත් පරම්පරා ගණනක් යන තුරුම ඔවුන් අපේ මතකසේ සිටීවි. ඇත්තටම ඔවුන් මේ ක්ෂේත්‍රයට යහපත් දෙයක් කළ නිසයි ඔවුන්ගේ චරිත අදටත් අපගේ මතකයේ තිබෙන්නේ. මේ කලාකරුවන් ජනප්‍රියත්වය වගේම දක්ෂතාවත් උපරිම වුණ, හැමදාමත් මිනිසුන් ආදරය කළ චරිත. ඉතින් මමත් කවදාහරි දවසක එවන් චරිතයක් වෙන්න උත්සාහ කරනවා. එයයි මගේ එකම බලාපොරොත්තුව.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post