තවම කතාවෙ මුලනෙ ඉදිරිය මීට වඩා රසවත්-එමාෂා සෙනවිරත්න




ඇය එක් රැයකින් තරුවක් බවට පත්වූ වාසනාවන්තියකි. බොහෝ තරු පායා එන වේගයෙන් බැස ගියත් ආරම්භක අවස්ථාවේ සිට මේ වනතෙක්ම එකම එළියකින් දිස්නය දීමේ රහස වන්නේ ඇය සතු රූමත්කම මෙන්ම රංගනය විෂයෙහි ඇති දක්ෂතාවයි. තරුණ හදවත්වල සිහින කුමරියක් වෙමින් ප්‍රාර්ථනා ලෙසින් මේ දිනවල ඔබේ ආලින්දයට එන ඇය නමින් එමාෂා සෙනවිරත්නය.


කොහොමද ඉතිං මේ දවස්වල වැඩකටයුතු?


මේ දවස්වල ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයට රංගනයෙන් එකතු වෙලා සිටිනවා. එහි ප්‍රධාන චරිතය වන ප්‍රාර්ථනාගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මෙම නාට්‍යය විකාශය වෙන්නේ දෙරණ නාළිකාවේ. එහි නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්ද, තිර රචනය නිදුක් මධුෂික සිදු කරන්නේ. ඊට අමතරව සිරස නාලිකාව වෙනුවෙන් ටෙලි ෆිල්ම් එකකට සම්බන්ධ වෙලා සිටිනවා. ඔය නිර්මාණ දෙකේ රූගත කිරීම් සමඟින් තමයි මේ දිනවල දවස ගෙවෙන්නේ.


කොහොමද මේ වෙද්දි ප්‍රාර්ථනාට ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම තවමත් එතරම් දවසක් නැහැ නාට්‍යය විකාශය වීම ආරම්භ කරලා. මේ දින කිහිපයකට ලැබෙන ප්‍රතිචාර ඉතාම සතුටුදායකයි. ඇතැම් අය කියලා තිබුණා සයුරිගේ චරිතය අවසන් වුණාට පස්සේ මොකෙන්ද ඊළඟට එන්නේ කියලා බලන්න ආසාවෙන් හිටියා කියලා. මගේ එක නිර්මාණයක් ඉවර වුණාම තව නිර්මාණයකින් එනකම් බලාගෙන හිටපු මට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඔවුන් ප්‍රාර්ථනාව මේ වෙද්දී සතුටින් වැලඳගෙන ඉන්න බව පේනවා. තාම නාට්‍යයේ මුල. ඉදිරියේදී කතාව මීටත් වඩා රසවත්.


රංගනය ආරම්භයේ සිටම ඔබට අසීමිත ජනප්‍රියත්වයක් හිමිවුණා. ඒ ගැන මොකද සිතන්නේ?


ඒකට එක හේතුවක් විධියට මම ගොඩක් විශ්වාස කරනවා පෙර පින සහ වාසනාව කියන දේ. ඇත්තටම ඒක හදවතට විශාල සතුටක්. මට රංගනයට පිවිසුණු පළමු නිර්මාණය හරහාම එක රැයින් ලංකාවේ ජනප්‍රිය වෙන්න හැකියාව ලැබුණා. ඒකට හේතුව වුණේ මම සම්බන්ධ වුණේ ඒ වනවිට ලංකාවේ ජනප්‍රියම නිර්මාණ අතර තිබුණු දෙවැනි ඉනිම හරහා වීම. ඇතැමුන්ට පළමු නිර්මාණයෙන් ජනප්‍රිය වුණත් එතැනින් එහාට එය පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මම ඉන් අනතුරුව මට ලැබුණු සියලුම නිර්මාණවලට මගේ උපරිම දායකත්වය ලබා දුන්නා. නිර්මාණයක් කරද්දි මම ඒකට මගේ පෞද්ගලික වැඩකට වගේ කැපවෙනවා. මම මගේම දෙයක් වගේ ආදරෙන් ඒ නිර්මාණ කරන නිසා වෙන්න ඇති මට මේ ජනප්‍රියත්වය ලැබෙන්නේ. ඒ වගේම මම හැම මොහොතකම උත්සාහ ගන්නේ මගේ රංගන කුසලතාව, දක්ෂතාව වැඩිදියුණු කරගන්න, ජීවිතයට යමක් ගන්න. ප්‍රවීණ ශිල්පීන් සමඟ කතාබහ කරද්දි පවා ඒ තුළින් ලබාගත හැකි සියල්ල මම ජීවිතයට එකතු කර ගන්නවා. ඒ වගේම මට කා සමඟවත් තරගයක් නැහැ. මට තරගයක් තිබුණා නම් ඒ මා සමඟින් පමණයි. මේ හැම කාරණාවම මගේ ජනප්‍රියත්වයට බලපාන්න ඇති කියලා හිතනවා.


ඔබට තිබෙන්නේ අධ්‍යාපනික පවුල් පසුබිමක්, මවුපියන් දුව නිළියක් වෙනවා කියන දේ භාර ගත්තේ කොහොමද?


මම පුංචි කාලේ ඉඳන් ඉගෙනගන්න ගොඩක් ආස ළමයෙක්. අම්මලා කවදාවත් මට ඇඟිල්ලෙන් ඇනලා පාඩම් කරන්න කියලා නැහැ. ඒක මගේ ඇඟේම තිබුණු දෙයක්. අම්මලාට කවදාවත් මගෙන් කරදරයක් වෙලා නැහැ අධ්‍යාපනය පැත්තෙන්. අවස්ථා ලැබුණත් පොඩි කාලේ නම් මාව රංගනයට යොමු කළේ නැහැ. සාමාන්‍ය පෙළ කළාට පසුව තමයි අම්මියි, තාත්තියි මට කිව්වේ කැමැති නම් රංගනයට සම්බන්ධ වෙන්න කියලා. නමුත් ඒ කාලේ මට ඒ ගැන එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. මට දෙවැනි ඉනිමට ආරාධනා ලැබුණේ මම වෙන අනාගත සැලසුමක සිටියදී. එතැනදී මම තාත්තිගෙන් ඇහුවම තාත්ති මට කිව්වේ ඔයාගේ වයසේ ගෑනු ළමයි හැමෝම අතරින් ඔයාට මේක ලැබුණේ වාසනාවට  ඒක නිසා මේක සතුටින් භාර ගන්න. මේක භාරගෙන සතුටින් කරන්න ඔයා කැමැති විධියට අපි මාස්ටර් ඩිග්‍රි එකත් කරමු කියලා. මම අධ්‍යාපනය පැත්තෙන් හැමදේම හොඳටම කරගත්ත නිසා වෙන්න ඇති මගේ මවුපියෝ මට කවදාවත් රංගනය සම්බන්ධයෙන් එපා කියලා නැහැ. ඔවුන් මගේ අධ්‍යාපනයට වගේ රංගනයටත් උපරිම සහාය දෙනවා.


ඔබ උසස් අධ්‍යාපනය ලබපු තරුණියක්. ඉදිරියේදී රංගනය අතහැරලා වෙනත් වෘත්තියක් තෝරා ගනීද?


ඇත්තටම මම රංගනයට පිවිසෙන්නේ විනෝදාංශයක් හැටියට. ඒක තමයි ආරම්භයේ තිබුණු තත්ත්වය නමුත් මේ අවුරුදු හය තුළ මම වැඩ නොකළ කාලයක් නැහැ. හැමදාම වගේ කුමන හෝ නිර්මාණයකට සම්බන්ධ වෙලා හිටියා. නමුත් හැමදාම රංගනයේ යෙදෙනවා කියලා අදහසක මම නැහැ. ඇක්ටිංග් කියන දේ මම හරිම ආදරයකින්, ගෞරවයකින් කරන දෙයක්. නමුත් ඉගෙනගත්ත දේවල්වලිනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ. බලමු ඉදිරියේදී.


දිගටම දීර්ඝ නාට්‍යවලට සම්බන්ධ වීම චරිතාංග නිළියක් ලෙස ඉස්මතු වීමට බාධාවක් නෙවේද?


මම දීර්ඝ හා කෙටි කියන දෙවර්ගයේම නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබෙනවා. චරිතාංග නිළියක් කියන්නේ මම හිතන විධියට ඕනෑම චරිතයක් කළ හැකි අයෙක්. එතකොට මම දන්නේ නැහැ තෝරා බේරා ගැනීම් කියන තැන අපිට ඉන්න පුළුවන්ද කියලා. නමුත් සම්මාන උළෙලක් ගත්තොත් එහිදී හොඳම කියන කාණ්ඩයේ සම්මාන සඳහා තෝරා ගන්නේ අඩු කොටස් ගණනක් සහිත නිර්මාණ. එහෙම බලද්දී අපි සම්මාන බලාගෙනම වැඩ කරනවා නම් කොටස් සීයට අඩු නාට්‍යවලට විතරක් සම්බන්ධ වෙන්න වෙනවා. නමුත් මම මට සුදුසු යමක් කළ හැකි චරිතයක් නම් දීර්ඝ සහ කෙටි දෙවර්ගයේම නිර්මාණවලට සම්බන්ධ වෙනවා.


කවදාහරි දවසක ආදරවන්තයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආදරයක්ද කියලත් කියමු?


මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මට ගොඩක් ආදරය කරන අවංක මනුස්සයෙක්ව. මම පාට්නර් කෙනෙක්ව තෝරාගනිද්දී අංක එකටම බලන්නේ ඔහුගෙන් මට අවංක පිරිසුදු ආදරයක් ලැබිය යුතුයි කියන දේ. මම කෙනෙක්ව තෝරාගන්නේ ජීවිත කාලයම මැරෙනතුරු එකට ඉන්න. මම එහෙම කෙනෙක්. ඒක නිසා මම අනෙකාත් මගෙන් පමණක් සෑහීමකට පත් විය යුතුයි කියන තීරණයේ ඉන්නවා. ඒකම මට ලැබෙන්නේ නැත්තම් මම එතන රැ‍ෙ¾දන්නේ නැහැ. නමුත් මම එහෙම ලේසියකට සම්බන්ධයක් පටන් ගන්න කෙනෙක් නෙවෙයි.


අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතුත් මතක් කරමු?


ප්‍රාර්ථනා නිර්මාණය තවම ආරම්භ වුණා පමණයි. ඒ නිර්මාණයේ වැඩකටයුතු තව ඉදිරියට තිබෙනවා. ඒ වගේම ටෙලි ෆිල්ම් එකකට දායකත්වය ලබා දෙනවා. ඒ දේවල් එක්ක තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තිබෙනවා.  ඉදිරියේදී බලමු ඒ ගැන.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post