මේ සම්මානෙ ලැබෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ-කලණ ගුණසේකර



 ඔහු ලාංකික කලාකෙතෙහි තම අනන්‍යතාව රැකගත් රංගන ශිල්පියෙක්. එමෙන්ම තම රංගන කාර්ය සඳහා සම්මාන රාශියක් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක්. එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් තම රංගන පරාසයෙහි ශක්‍යතාව විදහා දක්වන මොහු ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් කලාකරුවෙක්. අද  එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී කලණ ගුණසේකර. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල සිනමාපටයක රූගත කිරීම් සිදු කළා. මේ වසරේදීම එය නරඹන්න පුළුවන් වෙයි කියලා අපි සිතනවා. ඒ සිනමාපටය සඳහාම තමයි රැවුල එහෙම කපලා ලෑස්ති වුණේ. ඒක වෙනස්ම විධියෙ චරිතයක්. රැවුල කපපු එක පස්සෙ ලොකු මාතෘකාවක් වුණා. නළුවෙක්ට රැවුල කියලා කිව්වහම ඒක වවන් ඉන්නෙත් මොන මොන හරි චරිතයක් නිසාම තමයි. ඒක කපන්න වෙන්නෙත් මොකක් හරි චරිතෙකට. ඔය නිසාම නළුවෙක්ට ඕන දේ කරන්න වෙන්නෙ නෑ ඉතින්. සරසවි සම්මාන උළෙලේදී 2020 වසරේ ජනප්‍රිය නළුවා සඳහා සම්මානය හිමි කරගත්තේ.


ඒ ගැන කතා කළොත්?


ඇත්තටම මට ගොඩක් සතුටුයි. අපි පොඩි කාලේ ඉඳන් දන්න සිනමා සම්මාන උළෙල තමයි සරසවි සම්මාන කියන්නේ. අපේ තාත්තලගෙන්, බාප්පලගෙන්, අම්මලගෙන්, නැන්දලගෙන් අහලා තිබෙන්නෙ වගේම දැකලා තිබෙන්නේ ඔය ගැන. ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා වැනි විශිෂ්ටයන්ගේ සිට රන්ජන් රාමනායක දක්වාම සරසවියෙන් සම්මාන ලබනවා අපි දැකලා තිබෙනවා. ඒක ෆැන්ටසියක විතරක්


තිබෙන දෙයක්. මම හීනෙකින්වත් මට ජනප්‍රිය සම්මානය ලැබෙයි කියලා හිතුවේ නැහැ. ජනප්‍රිය සම්මානය මගේ නෙවෙයි. මම වෙනුවෙන් එක මනාපයක් හරි දීපු අයට තමයි ඒ සම්මානය අයිති වෙන්නේ. මම ඉතින් සම්මානය අරගෙන ඇවිල්ලා මගේ ගෙදර තියාගත්තා. මම දෙරණ සිනමා උළෙලේ වගේම, සිග්නීස් සම්මාන උළෙලේදීත් හොඳම නළුවා සඳහා නිර්දේශ වුණා. 2020 තමයි සූස්ති නිකුත් වුණේ. ඒක මම ප්‍රධාන චරිතය කරපු මුල්ම චිත්‍රපටය. ඒ වෙනුවෙන් සම්මානයට පාත්‍ර වීම ගැනත් විශාල සතුටක් තිබෙනවා.


කණිෂ්ක රාජපක්ෂගේ මිස්ටර් ප්‍රසිඩන්ට් නාට්‍ය ගැන කතා කරනවා නම්?


ඒක ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. අපි ඕස්ට්‍රේලියාවේ ගිහින් මාසයක් පෙර පුහුණුවීම් සිදු කරලා තමයි මේ වැඩේ කළේ. ඉන් පසුව අපි මේ නාට්‍ය නගර පහක සිටින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ප්‍රදර්ශනය කළා. ඊට පස්සෙ අපි ලංකාවේදී එක් දර්ශන වාරයක් ජෝන් ද සිල්වා රඟහලේ සිදු කළා. එයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපිට ලැබුණා. දැන් අපි මේ නාට්‍යය දිවයින පුරා රැගෙන යෑමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. කණිෂ්කගෙ නාට්‍යයේ මාත් එක්ක වැඩ කරන්නේ ඉතා හොඳ නළුවො තුන් දෙනෙක්. සේවියර් කණිෂ්ක, ප්‍රියන්ත සිරි කුමාර, රොෂාන් රවීන්ද්‍ර කියන අය සමඟත් ගනුදෙනු කිරීම මාරම අත්දැකීමක් වුණා. අපි මේක හැමතැනටම රැගෙන යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.


මංකි මෑන් ගැන කතා කරමු?


මංකි මෑන් තරි¾දු දේශප්‍රියගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. මම සහ තරිඳු එක්වෙලා තමයි මෙහි තිරපිටපත රචනා කළේ. මේක අපි සෙට් එක එකතු වෙලා කරපු අමුතුම නිර්මාණයක්. ඒක වෙනස් අත්දැකීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා.


ලාංකික නිර්මාණකරුවන් මලයාලම්, දමිළ සහ තෙලිඟු සිනමාව සමඟ එක් වී වැඩ කිරීම ආරම්භ කරලා ඔබ මෙය දකින්නේ කෙසේද?


මම හිතනවා මේක හොඳ දෙයක් වෙයි කියලා. මමත් දමිළ අධ්‍යක්ෂවරයෙක් අධ්‍යක්ෂණය කළ සිනමාපටයකට සම්බන්ධ වුණා. ඒවා වෙනස් හැඩවලින් වෙන වැඩ. අපි මෙහෙම හිතමුකෝ ලංකාවෙ කෙනෙක් බෙහෙතක් බොනවා කියලා අපි එතකොට ඒක බොනවා මිසක් රට ගැන හොයන්නෙ නැහැ. සබන් කැටයක් ගමුකෝ අපි හිතමු ඒක ඉන්දියාවෙන් ආවා කියලා අපි හොඳම එක අරගන්න තමයි බලන්නේ. පරිප්පු පවා එහෙමයි. අපි පරිප්පු කද්දී කියන්නෙ නැහැ ලංකාවෙ පරිප්පු විතරයි කන්නේ  ඉන්දියාවෙන් ගෙන්නන පරිප්පු අපි කන්නෙ නැහැ කියලා. අපිට


ඉන්දියාවෙ අය සමඟ වැඩ කරන්න, ඒ වගේම ඒ හරහා ඔවුන්ගේ වෙළෙඳපොළ විවර කරගන්න හැකි නම් අපි ඒ දෙය කරන්න ඕන. මේ වනවිට ලංකාවේ ප්‍රේක්ෂකාගාරය තවත් සිනමාවෙන් අෑත් වෙලා තිබෙන්නේ. ඉතා සීමිත පිරිසක් විතරයි සිනමාව සමඟ ඉන්නේ. අපි චිත්‍රපට 10ක් කළත් වැඩක් නැහැ මිනිස්සු බලන්නෙ නැත්නම්. හැබැයි ටෙලිනාට්‍ය කලාව මේක පහු කරන් ගිහිල්ලා. ටෙලිනාට්‍ය හරහා තමයි අපි සිනමා නළුවන්වත් හ¾දුනගන්නේ. සිනමාව කඩා වැටුණු තැනින් ගොඩ එන්න නම් අපි මේ දෙය කරන්න ඕන. අපි මේ විධියට සම්බන්ධ වෙන එක ඉතාම හොඳ දෙයක් කියලා මම හිතනවා.  අපි  අපේ වැඩක් කළා කියලා අමුතුවෙන් ප්‍රේක්ෂකාගාරයක් එන්නෙ නැහැ. මේක අපි දැනුවත් භාවයකින් සහ සිස්ටම් එකක් ඇතිව කරන්න ඕන දෙයක්.


“ඉරයි හඳයි” ටෙලිය ගැන කතා කරමු?


මම පෞද්ගලිකව ෂර්මිලා ධර්මදාසගේ අධ්‍යක්ෂණයට කැමැතියි. මම පොදු තුළ ඒ අත්දැකීම ලැබුවා. එයා එඩිට් එක ඔළුවේ තියාගෙන වැඩේ කරන ගමන්ම නිර්මාණයට වෙන රසයක් රැගෙන එනවා. ඒක හරි මේක හරි කියලා එකක් කලාව තුළ නැහැ. ෂර්මිලා හැම වෙලාවෙම අලුත් අලුත් දේ එක් කරන කෙනෙක්. මම මේ නිර්මාණයේ දුෂ්ටයාගේ චරිතයට පණ පෙව්වේ. එයා තමන්ගෙ වැඩේට සියයට සියයක් තම ශ්‍රමය කැප කරන කෙනෙක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේ වැඩෙත් නැඟලා යයි.


ප්‍රේමණීය සරාගිනියගෙන් පස්සෙ පන්හිඳ අමතක වෙලාද?


මූසිලය සහ ප්‍රේමණීය සරාගිනියගෙන් පස්සෙ මම කවි පොතක් හෝ නවකතාවක් ලියන්න ගියේ නැහැ. නමුත් මම සතුටු වෙනවා අක්ෂි ටෙලිනාට්‍ය සඳහා මම ලියූ ගීය රයිගම් සම්මාන උළෙල සඳහ නිර්දේශ වීම පිළිබඳව. මම ලියන්නෙක් කියලා ලියන කෙනෙක් නෙවෙයි. මම මට තිබෙන වෙලාව ප්‍රයෝජනය ගන්න තමයි ලියන්නේ. මම චිත්‍රපට නම් 10ක් ලියලා තිබෙනවා. පසුගියදා බලපු දේවල්වලින් ලැබුණු ඉන්දියානු ආභාසයත් එක්ක තව චිත්‍රපටයක් ලියන්න අදහසක් ඇවිත් තිබෙනවා. ඒක කොහොමද සංස්කෘතිකව අපේ රටේ සිනමාවට කරකවන්නේ කියලා පොඩි අත්හදා බැලීමක මම සිටිනවා. අපි සිනමාකරුවන් විධියට සියයට සියයක් ඒ තුළ ජීවත් වෙන්නෙ නැහැ වගේ එකක් මට සිතුණා. ඔවුන්ගෙ ජීවිතයම සිනමාවම විතරයි. මම පෑන අතට ගන්නේ නවකතාවකට නෙවෙයි සිනමාවටම තමයි.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


මම ටෙලි නළුවෙක් වගේ පෙනුණට ටෙලිනාට්‍ය ගොඩක් කරල නැහැ. කොටස් පනහකට වැඩි ටෙලිනාට්‍යයකට කියලා අන්තිමට කළේ අඩෝ විතරයි. මම මේ අවුරුද්දෙ ටෙලිනාට්‍ය දෙකක් විතර කරන්න හිතාගෙන ඉන්නවා. අනුර ඒකනායකගෙ සහ ඩබ්ලිව්. රවින්ද්‍රගෙ ටෙලිනාට්‍ය දෙකක් එක්ක ඒ නිසා සම්බන්ධ වුණා. තව කරපු චිත්‍රපට 8ක් 10ක් විතර තිරගත වීමට නියමිතයි. ඔය ටික එක්ක තමයි කාලය ගතකරන්නේ. අපි වෙන රස්සාවක් කියලා කරන්නෙ නැහැනේ. ඕල් ටයිම් කරන්නෙ කලාවමනේ. කලාව කියලත් අපි ඉඳලා හිටලනෙ වැඩ කරන්නේ. වැඩ කරන වේගය පොඩ්ඩක් වැඩි කළා නම් හොඳයි කියලා මම පෞද්ගලිකව හිතනවා.  


ගිහාන් සචින්ත




Previous Post Next Post