සිනමාවෙන් කලාවට පිවිසෙන මොරීන් චාරුණී බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන සීයූ, මන්දාරම් කතාව, දිව්‍යාදරී, අළුපාට දේදුනු වැනි ටෙලි නාට්‍ය රැසකින්ම සිය කලා ප්‍රතිභාව මැනැවින් ඉදිරිපත් කරන මොරීන් චාරුණී මෙවර ‘හදගැස්ම’ සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.
මේ දිනවල මොකද වෙන්නේ?
මේ දිනවල තරමක් කාර්යබහුලයි. කලා කටයුතු වගේම සිංහල අලුත් අවුරුද්දත් ළඟ ළඟම එන නිසා නිවෙසේ වැඩ කටයුතුත් එක්කත් ටිකක් වැඩියෙන් කාලය ගත වෙනවා.
ඔබේ කලා කටයුතු ගැනත් මතක් කළොත්?
සීයූ ටෙලි නාට්‍යය, මන්දාරම් කතාව, දිව්‍යාදරී, අළු පාට දේදුනු කියන මේ ටෙලි නාට්‍යය කිහිපයත් එක්ක තමයි මේ දිනවල මගේ කාලය ගත වෙන්නේ. ඒ වගේම මේ වන විට අලුත් සිනමා නිර්මාණයක වැඩ කටයුතුත් ආරම්භ වෙලා තිබෙනවා.
ඔබ නිතරම මවු චරිතවලින් ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙනවා. ඒ සඳහා විශේෂ හේතුවක් තිබෙනවාද?
එහෙම විශේෂ හේතුවක් නැහැ. නමුත් ස්වභාවධර්මය අපව නිසි වයසට ගෙනැල්ලා තිබෙනවා. මම දැන් ළදරු විය, ළමා විය, තරුණ විය ගෙවා යම් වයසකට පැමිණ තිබෙනවා. ඉතින් කාලයත් එක්ක මේ චරිත වෙනස් වෙනවා. තරුණ කාලයේදී මම ආදරවන්තියගේ චරිත රැසකට රංගනයෙන් දායක වුණා. ඒත් මේ කාලයේදී මට මවු චරිතවලට ආරාධනා ලැබෙනවා. ඇත්තටම මේ සඳහා වෙනත් විශේෂ හේතුවක් නැහැ.
ඔබ සිනමාවෙන් කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ රංගන ශිල්පිනියක්. ඒ ගැනත් කතා කළොත්?
ඇත්තටම ඔව්. සිනමාවෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන පිරිස බොහොම අඩුයි. ඉතින් මටත් රංගනයට එන්න ලැබෙන්නේ සිනමා නිර්මාණයකින්. නමුත් මම පසුකාලීනව පුංචි තිරයටත් අවස්ථා කිහිපයකදී වේදිකාවේදීත් රංගනයේ යෙදෙනවා. වේදිකාව කියන්නේ මහා ගැඹුරු, අභ්‍යාස රැසක් ඉගෙන ගැනීමට හැකි, සමාජයේ බොහෝ දේවල් ඉගෙන ගැනීමට හැකි අපූරු තැනක්. ඉතින් මේ වේදිකාවෙන් ලැබෙන අත්දැකීම වගේම පන්නරය වෙනත් තැනකින් ලබා ගැනීම අපහසුයි. වේදිකාවෙන් කලාවට එන කලාකරුවන් සම්පූර්ණ කලාකරුවන් ලෙසයි මම නම් දකින්නේ. ටෙලි නාට්‍යයෙන් හෝ සිනමාවෙන් එන කලාකරුවන් අසම්පූර්ණයි කියලා මම ඉන් අදහස් කරන්නේ නැහැ.
මොරීන් චාරුණි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ දශක ගණනක නියෝජනයක්. ඉතින් වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන හිතනකොට හිතට හරිම දුකයි. මොකද වර්තමානය වන විට කලා ක්ෂේත්‍රය තුළ නැග්මක් දැක ගන්නට නැහැ. මෙය එක් කලා ක්ෂේත්‍රයකට පමණක් සීමා වෙලා නැහැ. පොදුවේ වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරය තුළද ප්‍රබෝධයක්, නැග්මක් හෝ ජවයක් දැකගන්නට නැහැ. නමුත් කලාවට පැමිණෙන නව පරපුර තාක්ෂණයත් සමඟ කටයුතු කරන පිරිසක්. ඇත්තටම ඔවුන් හරිම දක්ෂයි. අපට එදා විදේශ
රටක හොඳ චිත්‍රපටයක් නරඹන්න අවශ්‍ය නම් එම්බසි එකකට ගිහින් ලියාපදිංචි වෙලා තමයි චිත්‍රපටය බලන්න පුළුවන්කම තිබුණේ. නැතිනම් පොතපත කියවලා හෝ අපේ ප්‍රවීණයන්ගෙන් අසා විමසලා තමයි අපි දේවල් ඉගෙන ගත්තේ. නමුත් වර්තමානයේ තාක්ෂණයත් සමඟ පැමිණි මේ නව පරපුර බොහෝ දේවල් පිළිබඳව ඉතා ඉක්මනින් දැනුවත් වෙනවා. ඒ නිසා ඔවුන් නිතරම ඉගෙන ගන්නවා. ඉතින් මේ නිසා දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් වර්තමානයේදී කලා ක්ෂේත්‍රය තුළ දැක ගන්නට පුළුවන්.
වර්තමානයේ තරුණ කලාකරුවන්ට සිනමාවට එන්න තිබෙන අවස්ථා ඇහිරිලා යැයි පවසනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?
අපි කලා ක්ෂේත්‍රයේ අමරණීය කාලයේ කටයුතු කළ පිරිසක්. එදා අපට බොහෝ වරප්‍රසාද ලැබුණා. නමුත් අද එවන් තත්ත්වයක් කලාව තුළ දැකගන්නට නැහැ. වර්තමානයේ කලා ක්ෂේත්‍රය තුළ කෙතරම් දක්ෂයන් සිටියත් ඔවුන්ට හොඳින් දස්කම් පෙන්වන්න, හරඹ කරන්නට තරම් හොඳ තෝතැන්නක් එසේත් නැතිනම් පිට්ටනියක් නැහැ. ඔවුන්ට වැඩ කරන්න වෙලා තිබෙන්නේ බිඳවැටුණු කලාවක් තුළයි. වසර කිහිපයක් මුළුල්ලේ පැවැති කොවිඩ්, පාස්කු ප්‍රහාරය වැනි විවිධ ගැටලුත් සමඟ ආර්ථිකය බිඳ වැටුණා. ඉතින් මෙය කලාවටද බලපෑමක් ඇති කළා. ඒ නිසා සිනමා නිර්මාණ, ටෙලි නාට්‍ය නිර්මාණ පමණක් නොව වේදිකා නිර්මාණ පවා නිෂ්පාදනය වීම අඩු වුණා. ඒ නිසා දක්ෂ තරුණ රංගන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට හොඳ අවස්ථා නැති වුණා.
තරුණ රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් සමඟ වැඩ කරන එක මොන වගේද?
මම විශාල ප්‍රවීණ පිරිසක් සමඟ වැඩ කරපු කෙනෙක්. ඉතින් මේ දශකය වන විට මම වැඩ කරන්නේ මගේ මුනුබුරු මිනිබිරියන්ගේ වයසේ දරුවන් සමඟ. නමුත් මට නම් එහෙම ගැටලුකාරී තත්ත්වයන් ඇතිවී නැහැ. එයට හේතුව තමයි වැඩිහිටියන් ලෙස අපත් දේවල් තේරුම් ගැනීම අවශ්‍යයි. ඒ වගේම දරුවන් ලෙස ඔවුනුත් යම් අවබෝධයකින් සිටීම වැදගත්. කොහොම නමුත් මට පෞද්ගලිකව තරුණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සමඟ වැඩ කිරීමේදී ගැටලු ඇතිවී නැහැ.
කොතරම් තාක්ෂණය දියුණු වුවත් කලා ක්ෂේත්‍රය තුළ යම් පසුබෑමක් තිබෙනවා යැයි බොහෝදෙනා පවසනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ඔව්. වසර පහකට ආසන්න කාලයක් අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම යම් අස්ථාවර භාවයක් නිර්මාණය වී තිබුණා. ඒ නිසාම කලා ක්ෂේත්‍රය තුළ කලා නිෂ්පාදන බිහිවීමේ අඩුවක් දැකගන්නට ලැබෙනවා. ඒ වගේම අද වන විට නිෂ්පාදකවරුන් කලා නිර්මාණ වෙනුවෙන් මුදල් වියදම් කිරීමට පෙර දෙවරක් සිතනවා. ලෝකයේ තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක පැවැතියත් වසර ගණනක් මුළුල්ලේ රටේ ඇතිවූ පසුබෑමත් සමඟ කලා ක්ෂේත්‍රයේද යම් පසුබෑමක් දැකගන්නට පුළුවන්.
දැන් අධ්‍යක්ෂණ කටයුතු කරන්නේ නැද්ද?
එය මට බොහොම අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. නමුත් නැවත අධ්‍යක්ෂණ කටයුතු කරන්න මගේ කිසිම අදහසක් නැහැ.
ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කතා කළොත්?
අපි හැමෝම ජීවත් වෙන්නේ බලාපොරොත්තු එක්ක. බලාපොරොත්තුත් එක්ක තමයි අපේ ජීවිතය ඉදිරියට යන්නේ. ඉතින් මගේ එකම බලාපොරොත්තුව තමයි මගේ දරුවන්ට වගේම ලෝකවාසී සියලුමදෙනාට කිසිදු කරදරයකින් තොරව එදා අපි ජීවත් වුණා වගේ හොඳින්, සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියන එක. ඒ වගේම සියලුම දූ දරුවන් වෙනුවෙන් ආර්ථික වශයෙන් පොහොසත් රටක් නිර්මාණය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
නිශානි සවින්දිකා රාජපක්ෂ