මට ඕන ලංකාවට සීමා වුණ කලාකාරිනියක් වෙන්න නෙවෙයි-මාරියා නෝනිස්




මාරියා නෝනිස් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ගායන ශිල්පියෙක් වන නදීර නෝනිස්ගේ දුව. මාරියා මේ වෙද්දී තාත්තට වඩා ජනප්‍රියත්වයක් ඉතා කෙටි කාලයක් තුළ ලබාගෙන තියෙනවා. තවමත් අධ්‍යාපනය ලබන ඇය ඒ අතර සංගීත කටයුතු ද කරගෙන යයි. මාරියා සමඟ කළ කෙටි කතා බහකි මේ.


මාරියා කොහොමද ජීවිතේ


ජීවිතේ හොඳින් සතුටින් ගත වෙනවා.


මුල්ම ගීතය එළිදක්වලා දැන් ටික කාලයක්නේ, කොහොමද ලැබෙන ප්‍රතිචාර?


“මගේ හීනේ”ට මේ වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ අම්මයි තාත්තයි කතාවෙලා මගේ හැකියාවන් එළියට ගන්න හිතාගෙන තමයි මේ ගීතය කළේ.


ඒ ගීතය මට රචනා කරලා දුන්නේ හසිත හේමාල් අංකල්. සංගීතවත් කළේ චතුරංගන ද සිල්වා අංකල්. මියුසික් වීඩියෝ එක කළේ සංදේශ් බණ්ඩාර අංකල්.


මේ වෙද්දී දෙවැනි නිර්මාණයත් කරගෙන යනවා සංක දිනෙත් අංකල් එක්ක.


දෙවැනි සින්දුව ගැන ඉඟියක් දෙන්න පුළුවන්ද?


ඒ සින්දුව සංක අංකල් ගිෆ්ට් එකක් විදියට තාත්තටයි මටයි දුන්නේ. ඒක මමයි තාත්තායි ගායනා කරන්නේ. මේ වෙද්දී සින්දුව පටිගත කරලා ඉවරයි. වෙනස්ම විදියේ ලස්සන නිර්මාණයක්.


මාරියා කැමති ගායිකාවක් විදියට ඉදිරියටම යන්න ද?


ඔව්. මට ඕන ලංකාවට පමණක් සීමා වුණ කලාකාරිනියක් වෙන්න නෙවෙයි.


මේ කාලේ සංගීතයට අමතරව කාලය යොදවලා තියෙන්නේ මොනවටද?


ඉගෙනීම් කටයුතුවලට තමයි වැඩි ඉඩක් යොමුකර තියෙන්නේ. ඒ වගේම මම පියානෝ වාදනය ඉගෙන ගන්නවා.


මාරියා ඉගෙන ගන්න පාසල මොකක්ද?


මම දැන් හෝම් ස්කුල්. නවය වසරට යනකම් විතරයි මම පාසල් ගියේ.


හෝම් ස්කුල් කොහොමද ඔයාට දැනෙන්නේ?


ඒක ගොඩක් ලේසියි. මම තනියම ඉගෙන ගන්නේ. ඔන්ලයින් සහ උපකාරක පන්තිවලින් සියලු විෂයන් ආවරණය කර ගන්නවා.


තාත්තාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


පොඩි කාලේ ඉඳන්ම අදත් මට මම කැමති දේ කරන්න නිදහස දීලා තියෙනවා. තාත්තා ගොඩක් හොඳයි. කිසි දෙයකට අණ කරන්නේ නැහැ. ඒ නිසා හොඳයි. හැබැයි මියුසික් කරද්දී නම් හරියට කරන්නේ නැති වුණාම තරහා යනවා.


එහෙම තරහා ගිය වෙලාවට මාරියාට මොකද හිතෙන්නේ?


ඒ වෙලාවට හිතෙන්නේ කොහොම හරි හරියට කරන්න ඕනේ කියලා තමයි. නැත්නම් තාත්තට තරහා යනවානේ.


අම්මා ගැනත් මතක් කළොත්?


අම්මිත් මගේ ගමනට ලොකු සහයෝගයක් දෙනවා. අම්මා සංගීත ක්ෂේත්‍රයේ නොවුණට හැමදේම ගැන හොඳ අවබෝධයක් දැනුමක් තියෙනවා.


එතකොට ඔයාගේ අයියා. එයත් සින්දු කියන්න දක්ෂ ද?


අයියාත් දක්ෂයි. හැබැයි එයා සින්දු කියන්න දැන් නම් ලොකුවට කැමති නැහැ.


මාරියා ගෙදරදී කොහොම චරිතයක් ද?


වැඩසටහන්වලට ආවම ඉන්න චරිතයම තමයි. වෙනසකට කියලා තියෙන්නේ ඊට වඩා කියෝන එක විතරයි.


මාරියාට රඟපාන්න ආරාධනා ඇවිත් නැද්ද?


ඇවිල්ලා තියෙනවා. ඒත් කවදාවත් රංගන ක්ෂේත්‍රයට යන්න පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ.


අනාගත බලාපොරොත්තු මොනවද?


ගොඩක් මම කැමති ක්‍රියේටිව් දේවල් කරන්න. ඒ නිසා සංගීත ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ.


මාරියා කියන්නේ බොහොම කෙටියෙන් කතා බහ කරන කෙනෙක්. අපි මුලදීත් කිව්වනේ මේ මාරියා කියන්නේ නදීර නෝනිස්ගේ දුව කියලා. ඒ නිසාම මේ කතාබහට නදිරවත් සම්බන්ධ කර ගත්තා.


දුව ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සතුටුයි. සංගීතය ආර්ට් එකක් විදියට කරන්න මගේ දරුවෝ දෙන්නම පොඩි කාලේ ඉඳන් ආස කළා. ඒ නිසා සංගීතය ඉගෙන ගන්නවා. පියානෝ වාදනය ඉගෙන ගන්නවා. ඒ එක්කම උමාරා ගාව වොකල්ස් පැත්ත ඉගෙන ගන්නවා. සංගීතය ගැන අවබෝධයක් දැනුමක් එක්ක මේ ගමන යනවා දකින්න මම කැමති වුණා. වෙස්ටන් මියුසික් පැත්තට මම හරි ආසයි. මට කරන්න බැරි වුණ දෙයක්. මේ දෙන්නා ඒ දේ හරියටම කරනවා.


දැන් නම් මාරියා නදීර නෝනිස්ගේ දුව කියනවට වඩා, මාරියා නෝනිස්ගේ තාත්තා නදීර කියන තැනට එයි. මොකද හිතෙන්නේ ඒ ගැන?


එහෙම එකක් දැනටත් තියෙනවා. ඔයා වුණත් මුලින්ම කතා කළේ දුවගේ ආටිකල් එකක් කරන්නනේ. ඒ ගැන නිහතමානී සතුටක් තියෙන්නේ.


සංකගෙන් ලැබුණු තෑග්ගෙන් තාත්තයි දුවයි දෙන්නම ළඟදීම අලුත් වැඩකින් දකින්න අහන්න ලැබෙනවා නේද?


සංක ගැන ඇත්තටම කියන්න ඕනේ. මමයි දුවයි කියපු සින්දුවක් නිසා පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ දේ හැමෝම දන්නවා. ඒ දේ වෙලා දැන් අවුරුද්දකුත් වෙනවා. මම ඒ දේවල් අමතක කරලා ඉන්නේ. ඔය ප්‍රශ්නය ඇති වුණ වෙලාවේ සංක මට කතා කළා. අපි අනුන්ගේ සින්දුවක් කරලා වැරද්දක් කරාදෝ කියලා වගේ හිතෙන තරමට මානසික වැටිලා ඉන්න වෙලාවේ සංක කළේ අපේ හිත් නිවපු එක. මම හිතන්නේ සැබෑ කලාකරුවෙක්ගෙන් වෙන්න ඕනෙත් ඒ දේ. සංක මට කතා කරලා කිව්වේ, නදීර මම මේ කතා කරන්නේ සංක. ඔයාටයි දුවටයි කියන්න සින්දුවක් මගේ ගාණේ මම ගිෆ්ට් එකක් විදියට දෙනවා. මේකේ සියලුම අයිතීන් ටිකත් ඔයාට කියන එක කිව්වා. ඒ වචන ටික මම මැරෙණතාක් අමතක කරන්නේ නැහැ.


ඔය කියන සින්දුව කොයි කාලේ වගේ අහන්න ලැබෙයිද?


තව මාස දෙකක් වගේ කාලයක් ඇතුළත ඒ ගීතය අහන්න ලැබෙයි. තාත්තයි දුවයි ගැන කියවෙන ලස්සන සින්දුවක්. නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා සංකට මට ඒ වගේ ලස්සන නිර්මාණයක් තෑගි කළාට.


 අනුෂා රණසිංහ




Previous Post Next Post