ආදර යෝජනාවල නම් අඩුවක් නෑ මම ඒවා ගාණට බැලන්ස් කරනවා- සුනීර සුමංග

 


දිනෙක අපිටත් වැරදිලා ඇති, ඉතින් යළි හමුවෙන්නේ නෑ“… කියලා බොහෝදෙනෙකුගෙ හිත කෙණිත්තු ඔහු “අත් හැරීමත් ප්‍රේමයක්“ යනුවෙන් කියාදී තරුණ හදවත් අස්සට රිංගූ නමුත් වැඩිහිටි පරම් පරාවේ පරණ ප්‍රේම මතක අවුස්සා හීනියට හිත් රිද්දන්න තරම් කාරුණික ගායකයෙක් වුණා. මිනිස්සු හිත් රිද්දාගෙන ඔහුගේ හඬට වශී වෙලා. මේ වෙන කවුරුත් නෙමෙයි සුනීර සුමංග.


සුනීර මේ දවස්වල ගැහැනු ළමයි අතරේ ජනප්‍රිය තරුවක්. අත් හැරීමත් ප්‍රේමයක් කියලා කාටද කියන්නේ සුනීර..?


එහෙම විශේෂ කෙනෙකුට කිව්වේ නැහැ. ලස්සන වචන ටිකක් එක්ක ඊට ගැළපෙන ලස්සන තනුවක් ලැබුණා. ඒක ගායනා කරන්න මම වාසනාවන්ත වුණා. ඒ නිසා ඒ ගීතය මම නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. මට ඒ ගැන හරි සතුටුයි.


බොහෝදෙනෙක් හිතන්නේ ඒ ගීතය කසුන් කල්හාරගේ කියලා. ඔබටත් එවැනි ප්‍රතිචාර ලැබෙනවා ද..?


ඔව්. හැමෝම වගේ අහන්නේ ඒ ගීතය කසුන් කල්හාරගෙ ද එහෙම නැත්තම් වෙන ප්‍රවීණ ගායකයින්ගෙ නම් කියලා ඔවුන්ගෙ ද කියලා. අත්හැරීමත් ප්‍රේමයක් ගීතය ගයන්නේ මම. මේ ගීතය ලිව්වේ නාරද විජේසූරිය අයියා. සංගීතය කපිල අපරැක්ක අයියගේ. නාරද අයියා මේ ගීතය මට ලියපු එකක් නෙමෙයි. ඔහු එය ලියා තිබුණේ වෙන ප්‍රවීණ ගායකයෙකුට. ඒත් මොකක්දෝ වාසනාවකට ඒ ගීතය මගේ හඬින් ගයන්න අවස්ථාව හිමි වුණා.


ඔබ දෙරණ ඩ්‍රීම්ස්ටාර් කිරුළ හිමි ගායකයෙක්. නමුත් ඔබ ජනතාව අතරට යන්නේ අත් හැරීමත් ගීතය එක්ක..?


මේ ගීතය නිසා අලුත් රසික පිරිසක් මගේ ජීවීතේට එකතු වුණා. මම ගයන වෙනත් ගීත අහන්න පුරුදු වුණා. මාව වෙනම මානයකට රැගෙන ගියා කියන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් බොහෝදෙනෙක් අතරට මගේ හඬ රැගෙන ගියේ මේ ගීතය. මේ ගීතය අහලා හිත රිදව ගත්ත අය ගොඩක් ඉන්නවා. හිත රිද්දවාගෙන ආයේ ආයේ අහන හදවත් ටිකක් මගේ ජීවිතේට එකතු වුණා


ඒ තනුව කොපියක් ද..?


නැහැ කොපියක් නෙමෙයි. මේ පද ටික වෙනුවෙන්ම නිර්මාණය වූ තනුවක්. මම කලින් කිව්වා වගේ බොහෝ දෙනෙක් හිතන්නේ මේ ගීතය කවර් සෝන්ග් එකක් කියලා ,


හඬට ආදරේ කරන රසිකාවියන් ප්‍රේමයට ඇරයුම් කරන්නෙ නැද්ද ..?


එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. මවුබිමෙන් වගේම විදෙස් රටවල්වල ඉන්න තරුණියන්ගෙනුත් ආදර යෝජනා එනවා. ඒ ආදරේ මට ලැබෙන්නේ මගේ කට හඬ නිසා. මම ඒ ආරාධනා තේරුම් අරන් ඔවුන්ගේ හිත් නොරිද්දා ඒවා බැලන්ස් කරගෙන රසිකයින් විදිහට ඔවුන්ව ජීවිතේට එකතු කරගෙන මේ ගමන යනවා.

ඔබ රියැලිටිකරණයෙන් බිහි වූ තරුවක් , මුදල්, ප්‍රසිද්ධිය වගේම ලෝකේ වටේ යන්න පහසු මඟක් කියලා හිතල ද ගායකයෙක් වෙන්නේ.?


පහසු මඟ මේක කියලා හිතලා මම සංගීතය තෝරා ගත්තේ නැහැ. ආර්ථික අපහසුතා මැද ජීවිතේ ගොඩනඟා ගන්න මගේ හඬ මම හරි විදිහට පාවිච්චි කරන්න හිතුවා විතරයි. ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම මුදල් ඕන. ඒක මට හොඳින් දැනුණු කෙනෙක්. නමුත් එහෙම කියලා මම සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. මගේ හඬ මම සාධාරණ විදිහට භාවිතා කරනවා මුදල් හොයන්න. ඒ වගේම තමයි කලාකරුවෙක් හැටියට ජනප්‍රියත්වය බලාපොරොත්තු නොවෙන කෙනෙක් නැහැ. මම නම් ජනප්‍රියත්වය බලාපොරොත්තු වෙනවා. මට ආදරේ කරන කොටසක් මා වටා එකතු කර ගන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මට ලෝකේ වටේ යන්න අවස්ථාව හිමි වෙලා තියෙනවා. මම මේ වෙද්දී ඉන්නෙත් කැනඩාවේ. අපි වෙනුවෙන් මුදල් වියදම් කරලා ප්‍රසංග සංවිධානය කරලා අතට මුදලකුත් දිලා කලාකරුවෝ රැකගන්න ආදරණීය හිතවතුන් නිසා තමයි අපි රැකෙන්නේ. ඒකට මම වාසනාවන්ත වුණා කියන්න පුළුවන්. ඒක සැබෑම වාසනාවක්.


ශාස්ත්‍රීය සංගීතයෙන් එහාට යන්න අදහසක් නැද්ද. එහෙම වුණොත් හදාගත් ප්‍රතීරූපය විනාශ වෙයි කියලා හිතනවද..?


මම මගේ ප්‍රතිරූපය ගැන හිතන්නේ නැහැ, මොකද මට ආදරේ කරන රසිකයින්ට මොනවද ඕන ඒ දේ හරි විදිහට කොහොමද දෙන්නෙ කොහොමද කියලා විතරයි මම හිතන්නේ. එහෙම නොවුණොත් රැඳීමට බලපෑමක් වෙන්නේ. අවශ්‍ය දේ නොදෙන තැන ඔවුන් ඉවත් වෙන්න පුළුවන්. ඉල්ලන තාල එක්ක ගැළපෙන විදිහට ගීත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ශාස්ත්‍රීය වෙන්න ඕන කියලා නැහැ. ලංකාවට ගිහිං වෙනස් වූ නිර්මාණ තුනක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.


දැන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් කියලා සුනීර හිතනවාද..?


නැතිවම බැරි ගායකයෙක් ද දන්නෙ නැහැ. නමුත් ඒ තැන හදාගන්න වෙහෙස ගන්න ඕන. ඒකට මම මහන්සි වෙනවා. එහෙම පොඩි ඉඟියක් හරි දැනෙනවා නම් මට හරිම සතුටු යි.


ඔබේ බිදුණු ප්‍රේමය ගැන ඔබ ගීත ගායනා කරලා තියෙනවා ද. එහෙම නැත්තම් ඔබට ලැබුණු ගීත වලින් ඔබේ කතාව අන්තර්ගත වෙලා තිබුණු පද තියෙනවා ද කියලා කතාව අවසන් කරන්න කලින් කියමු..?


නැහැ. මගේ අත්දැකීම් ගීතයට එකතු කරගෙන නැහැ. නමුත් මම ගැයූ ගීත බොහෝ දෙනෙකුගේ අත්දැකීම් කියලා ලැබෙන ප්‍රතිචාර වලින් තේරෙනවා. ඒ ගීත ඔවුන් වෙනුවෙන් නිර්මාණය වූ ගීත වගේ කියලා කියන බොහෝ දෙනෙක් ඉන්නවා.


 හර්ෂණී වීරරත්න



Previous Post Next Post