ඔහු මෙවර කලාව තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙකි. වේදිකාව තුළ සිය පෘථුල රංග ප්‍රතිභාව විදහා පෑ ඔහු අද වන විට ප්‍රේක්ෂකයා වෙතට ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙසද වඩාත් සමීපව සිටියි. මේ දිනවල විකාශය වන සිත නිදි නෑ ටෙලි වෘතාන්තයේ සාගරගේ චරිතයට පණ පොවන ඔහු නමින් අනුරාධ මල්ලවාරච්චි නම් වේ.
මේ දවස්වල නිරත වී සිටින කලා කටයුතු ගැන කියලම ආරම්භ කරමු?
මේ දවස්වල සුපුරුදු විධියට මගේ වේදිකා නාට්‍ය කිහිපයක් වේදිකාගත වෙනවා. 2019 ජූලි මාසේ දවසක්, බැංකු වීරයා, රතු වෙස් මුහුණු වගේ නාට්‍ය වේදිකාගත වෙද්දී තව වේදිකා නාට්‍ය කිහිපයකම පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක කටයුතු සමඟ සම්බන්ධ වෙලා සිටිනවා. ඒ අතරින් සිත නිදි නෑ ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා.
‘සිත නිදි නෑ’හි සාගරගේ චරිතය ඔබව අලුත් ප්‍රේක්ෂක පිරිසක් වෙතට ගෙනයනවා. ඒ ගැන කතා කළොත්?
ඒ ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබෙනවා. සාගරගේ චරිතය ප්‍රේක්ෂකයාට මෙතරම් සමීප එහි තිබෙන පොදු බව නිසා විය යුතුයි. තාත්තා කෙනෙක් කියන්නේ අපි හැමෝටම තිබෙන අත්දැකීමක්. ඒ අත්දැකීම විවිධ වෙන්න පුළුවන්. නමුත් සියලුම දෙනාට ඒ හා සමපාත විය හැකි තැනක් තිබෙනවා. සාගරව නිර්මාණය කරද්දී පිටපත ලබාදෙන ප්‍රමාණය හා මට රංගන ශිල්පියා විධියට ඒකට එකතු කරන්න තිබෙන කොටස්වලදී මගේ
ජීවිතේ හමුවී තිබෙන මගේ තාත්තා ඇතුළු තව ගොඩක් තාත්තලා පිළිබඳව ලබපු අත්දැකීම් අවිඥානිකව උදවු වුණා කියලා හිතනවා. ඒ වගේම එම නිර්මාණය සහ නිෂ්පාදක කණ්ඩායම මට විශේෂයි. ඒ වගේම අධ්‍යක්ෂවරයෙක් විධියට තිළිණ බොරලැස්ස සමඟින් මම මේ කරන දෙවැනි නිර්මාණය. ඔහු සමඟ වැඩ කිරීමේදී, චරිතයක් ගොඩනැඟීමේදී තිබෙන නිදහස හා සුහද බව හේතුවෙන් නිර්මාණශීලී ප්‍රවේශය වඩාත් පහසු වෙනවා. සාගරගේ චරිතය වඩාත් සාර්ථක වෙන්න එහි අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස, නිෂ්පාදක ජානක සිරිවර්ධන ඇතුළු සමස්ත කණ්ඩායමම විශාල හේතුවක් වුණා.
තිරයේ පෙම්වතා වීමට විභවයක් තිබෙද්දී ඇයි තාත්තාගේ චරිතය තෝරාගත්තේ?
මම රංගන ශිල්පියෙක්. මම කරන්නේ චරිත. රංගන ශිල්පියෙක් විධියට මම මාවම අභියෝගයට ලක් කරන්නට කැමැතියි. එහෙම චැලේන්ජ් එකකට යනවා කියන්නේ මම වර්ක් අවුට් වෙනවා කියන එක. මොකද රංගන ශිල්පියෙක් විධියට මගේ පහසු සීමාවේ දේවල් කරනවාට වඩා මට අනන්‍ය වුණු ඇතැම් දේවල්වලින් ඔබ්බට චරිත නිරූපණය කරන්න, ගොඩනඟන්න ලැබෙන එක තමයි මගේ පුහුණුව සහ අවසානයේ ඉතුරු වෙන දෙය වෙන්නේ. අනික් කාරණය 2024දී මම තාත්තාගේ චරිතය කරද්දී 2016දී රාවණ නාට්‍යයේ මම සීයාගේ හෙවත් සුමාලි රජුගේ චරිතය කළා. සීයාගෙන් දැන් තාත්තට ඇවිත් ඉන්නවා.
වේදිකාවේ අතිශය කාර්යබහුල ඔබ ටෙලි නිර්මාණවලට අඩුවෙන් දායක වෙන්නේ තෝරාගැනීම් කරන නිසාද?
ඒකට කාරණා කිහිපයක් බලපානවා. මම රංගන ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන්ගෙන සැලකිය යුතු කාලයක් ගතවී තිබුණත් මට එහෙම ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට ආරාධනා ලැබිලා නැහැ. ආරාධනා ලැබුණු විධියට මට ලැබෙන දේවල් අනුව ප්‍රතික්ෂේප නොකර වැඩ කරලා තිබෙනවා. චරිතයකට ප්‍රවිෂ්ඨ වීමට කාලය නොමැති අවස්ථාවල මම බැහැ හෝ හිතන්න කාලය අවශ්‍යයි කියලා කියලා තිබෙනවා. එහෙම ප්‍රතික්ෂේප කළ කිහිපයක් හැරුණු විට මට ලැබුණු ගොඩක් අවස්ථා සඳහා මම දායක වෙලා තිබෙනවා. සමහරවිට එහෙම ආරාධනා නොලැබෙන්නේ අපි එතරම් දක්ෂ නැති නිසා වෙන්නත් පුළුවන් නේද?
වේදිකාවේ දක්ෂයන්ට අවම වශයෙන් ආර්ට් වැඩ වශයෙන් වර්ග කළ ටෙලි නාට්‍යවලවත් වැඩ නොලැබෙන්නේ ඇයි?
වේදිකාවේ, රංගන ශිල්පීන් හා අනෙකුත් ශිල්පීන් සිනමාවට හෝ ටෙලි නාට්‍යවලට පුහුණු කිරීම වැනි ක්‍රියාවලියක් සිදු වන්නේ නැහැ. නමුත් වේදිකාව තුළ රංගනය සම්බන්ධයෙන් විශාල විභවයක් සහිත පිරිසක් ඉන්නවා. ගැටලුව වෙලා තිබෙන්නේ රූපවාහිනියේ හෝ සිනමාවේ නිර්මාණකරණයේ ඉන්න අපිට වඩා වැඩිහිටි ජෙනරේෂන් එක සාමාන්‍යයෙන් වේදිකා නාට්‍ය බලන්නේ නෑ. එහෙම නාට්‍ය බලන්න එන අය මම දැකලා තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. හැබැයි එහෙම කවුරුහරි එනවානම් ඒ එන අය දැකපු සුවිශේෂී හැකියාවන් තිබෙන අයට, ඊළඟට ඒ නිර්මාණකරුවෝ සිදුකරන ටෙලි නාට්‍යවල හෝ සිනමා නිර්මාණවල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රධානම කාරණය ඒක. එයාලා වේදිකා නාට්‍යය බලන්න එන්නේ නැත්තම් එයාලා ඒ දක්ෂතා දකින්න විධියක් නැහැ. මොකද වේදිකාවේ රංගනය සජීවීව ඉදිරිපත් කරලා අවසන් වෙනවා.
දැන් දැන් වේදිකා නාට්‍ය රසවිඳින්නට එන ප්‍රේක්ෂක පිරිසේ වර්ධනයක් දැකගන්නට ලැබෙනවා. ඒ ගැන මොනවාද හිතෙන්නේ?
ඇත්තටම එහෙම තත්ත්වයක් තිබෙනවා. මම වේදිකාවට ආවේ එහෙම විශාල ප්‍රේක්ෂක ආකර්ෂණය තිබුණු යුගයක අවසන් කාල සීමාවේ. දැන් නැවතත් වේදිකාවට ආකර්ෂණය වීමේ වැඩිවීමක් දකින්න ලැබෙනවා. වේදිකා නාට්‍යයක් කියන්නේ පැය එකහමාරක් දෙකක් තුළ කරන සජීවී රංගනයක්. ඒක මාස කිහිපයක් පුරාවට පුහුණුවීම් කරන සහ නිර්මාණකරුවාට සමාජගත කිරීමට අවශ්‍ය අදහසේ සාරය සහිත නිර්මාණයක්.
වේදිකා නාට්‍යයක් ප්‍රේක්ෂකයාට රසවින්දනය පැත්තෙන් විශේෂ අත්දැකීමක් ලබා දෙනවා. යම්කිසි විධියකින් කවුරුන් හෝ වේදිකා නාට්‍යයක් වරක් බැලුවොත්, ඔවුන් නැවත නැවත වේදිකා නාට්‍ය බලනවා. අසූව, අනූව දශකයේ මුල් කාලය ගත්තම වේදිකා නාට්‍යය කියන්නේ අතිශය ජනප්‍රිය වින්දන මාධ්‍යයක්. නමුත් ඒක පසුව නොයෙකුත් කාරණා නිසා යටපත් වෙලා ගියා. එහෙම වුණත් කලා මාධ්‍යයක් ලෙස ගත්තම වේදිකාව තුළ තිබෙන සාරයේ අඩුවක් නැහැ. තවමත් පුරුදු හා පුහුණු වුණු රසිකත්වයෙන් යුතු ප්‍රේක්ෂකයන් වෙත නාට්‍ය නිර්මාණය කරන නිර්මාණකරුවන් වගේම ඒවා බලන්න පුරුදු වුණු ප්‍රේක්ෂකාගාරයකුත් ඉන්නවා.
ප්‍රධාන දහරාවේ රංගන ශිල්පීන්ට වඩා වේදිකාව තුළ පුහුණු වූ ශිල්පීන්ගේ දක්ෂතාව වැඩි බවට මතයක් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?
සමහරු කියනවා වේදිකාවෙන් ආවොත් තමා වැඩේ කෙරෙන්නේ කියලා. මම විශ්වාස කරනවා එහෙම නෑ කියලා. කොතැනත් තිබෙන්නේ රංගනය. එකම දේ මේ රංගනය පිළිබඳව පුහුණු වෙන්න ඕනෑ සහ ඒ පිළිබඳව සිතන්න ඕනෑ. මේක නිකන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රංගනය දැනුවත් භාවයකින් යුතුව කළ යුතුයි. ඒ දැනුවත්භාවය ලැබීමට අපි එය පුහුණු විය යුතුයි. එතැනදී තිබෙන වාසි සහගත තත්ත්වය වෙන්නේ වේදිකා
නාට්‍යවල නිරත වෙන කෙනෙක් ඒ පුහුණුව දීර්ඝකාලීනව ලබනවා. ඒ පුහුණුව ඔවුන්ට නැවත රූපවාහිනියේදී භාවිතයට ගත හැකියි. එතැනදී අවබෝධ කරගත යුත්තේ රූපවාහිනිය එක මාධ්‍යයක්. වේදිකාව තවත් මාධ්‍යයක් කියන දේ. එතැනදී රංගනය එකමයි වුණත් ඒ මාධ්‍යයට අවශ්‍ය ශක්‍යතාව කළමනාරණය කරගත යුතුයි. ඒ වගේම කිසිම පුහුණුවක් නැතිව වුණත් ඉතාමත් ඉක්මනින් රංගනය පිළිබඳව අවබෝධය ලබාගෙන අදාළ මාධ්‍ය ජයගත් අයත් සිටිනවා.
නුදුරේදී ඔබව දැකගන්නට ලැබෙන කලා නිර්මාණ පිළිබඳවත් සිහිපත් කරමු?
මේ දිනවල රූගත කිරීම් සිදු කරන සහ සාකච්ඡා මට්ටමේ තිබෙන ටෙලි නිර්මාණ කිහිපයක් තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලෙදිත් ටෙලි නාට්‍ය හරහා මාව දකින්න අවස්ථාව ලැබෙයි. ඒ වගේම අලුත් වේදිකා නාට්‍ය කිහිපයක් සමඟත් සම්බන්ධ වෙලා සිටිනවා. ඒ දේවල් සමඟින් තමයි මෙම වසර සැලසුම් වී තිබෙන්නේ.
අක්ෂි මාපා වීරසිංහ