මම දැන් කම්මැළිකමේ උපත වෙලා-චම්පා කල්හාරි




දශක ගණනාවක් පුරාවට මෙරට ප්‍රසංග වේදිකාවට ඇය නැතුවම බැරි හඬක් විය. පිය උරුමයෙන් රැගෙන ආ සංගීත හැකියාව හේතුවෙන් ඉතාමත් කුඩා කාලයේ පටන් අතිශය ජනප්‍රිය ගායිකාවක් බවට පත්වූ ඇයගේ මියුරු කට හඬ රසිකයා වෙත වඩාත් සමීප වූයේ හින්දි ගීත හරහාය. කාර්යබහුල ලෙස ගෙවුණු දශක කිහිපයකට පසුව මේ දිනවල තරමක නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ඇය ඔබ අප කවුරුත් ආදරය කරන විශාරද චම්පා කල්හාරිය. 


මේ දවස්වල ජීවිතය ගෙවෙන හැටි කියලම කතාව ආරම්භ කරමු?


 කලා ලෝකයේ නම් වැඩ ගොඩක් අඩුයි. ඒ කියන්නේ මම වැඩ කරනවා හරිම අඩුයි. නමුත් විවිධ වැඩසටහන්වලට නම් ආසාවෙන් සම්බන්ධ වුණා. ඉදිරියේදී සංගීත පන්ති පවත්වන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වැඩ කටයුතු එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ.


ඒ කටයුතු ගැනත් කතා කරමු එහෙනම්?


මම කරන්න හිතාගෙන ඉන්නේ ඔන්ලයින් පන්ති. මොකද මම ඇතැම් වෙලාවට රටින් පිටට යන නිසා. කැටගරීස් හතරක් ඔස්සේ කරන්න සැලසුම් කරලා තිබෙන්නේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශාරද විභාගය දක්වා මෙන්ම බාහිර උපාධිය සඳහාත් ඉගැන්වීම් කටයුතු කරන්න සැලසුම් කරලා තිබෙනවා. එතැනදි ප්‍රායෝගික හා න්‍යායාත්මක කියන කොටස් දෙකම ආවරණය කරන්න සැලසුම් කරලා තිබෙනවා.


ඔබ දැන් ප්‍රසංග වේදිකාවේ දකින්නට නැති තරම්, එයින් සම්පූර්ණයෙන් ඉවත් වීමට තීරණය කරලාද ඉන්නේ?


නැහැ, එහෙම තීරණයක නැහැ. කරනවා, නමුත් හරි විධියට එන එකක් විතරයි. මොකද ලැබෙන ගොඩාක් ඒවා සමහර අවස්ථාවලදි ටිකක් කරන්න අමාරු වෙනවා. ඉතිං හොඳ දෙයක් බලලා ඒවාට සම්බන්ධ වීම කරනවා.


ඔබ ගායන ක්ෂේත්‍රයට පා තබන්නේ අතිශය කුඩා අවධියේ සිට. එහිදී ඔබේ පියාගෙන් ලැබුණු පන්නරය සිහිපත් කරමු?


මගේ ජීවිතයේ මට ඉතුරු වුණු දෙයක් තිබෙනවා නම් ඒ මගේ පියාගෙන් ලැබුණු දේවල් නිසායි. ඔහු පොළොවේ පය ගහලා හිටපු, තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතාමත් ළඟින් ඇසුරු කළ කෙනෙක්. ඔහුගේ මරණයෙන් පසුවත් අදටත් ඔහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔහුව සිහිපත් කරනවා. එතුමා වෙනුවෙන් දාන දීම් ආදි පින්කම් කරන ගෝලබාලයෝ පවා ඉන්නවා. තාත්තා ලබා දුන්නු මේ ශාස්ත්‍රයත් ඒ වගේ. එතුමා හරිම සුමට විධියට තමයි මේ ශාස්ත්‍රය හැසිරුවේ. මගේ වෙලාව නිසා වෙන්න ඇති පොඩි කාලෙම අතිශය ජනප්‍රියත්වයක් ලැබුණේ. නමුත් අර කතාවක් තිබෙන්නේ එකම දේ එක දිගටම කරද්දි එපා වෙනවා කියලා, ඒ නිසා වෙන්න ඇති මම දැන් කැමැති මන්දගාමී ගමනක් යන්න.


මේ සියලු දේ අතරේ ඔබ දුර ගමනක් තනියම ආපු ගැහැනියක්?


එක පැත්තකින් මම අද හරිම නිදහස්. දරු පැටියගේ වැඩකටයුතු, මගේ අධ්‍යාපන වැඩකටයුතු මේ සියල්ල මම කරගෙන ගියා. මගේ දරු පැටියා දැන් ඉන්නේ විදේශගත වෙලා අධ්‍යාපනය ලබන ගමන්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ට ජීවිතයේ ජයගන්න ඕනෑ කියලා දේවල් ටිකක් තිබෙනවා. මම ඒ හැම දේම මම ජයගත්ත කෙනෙක්. අද කතා කරලා මම පුතාට සල්ලි වුවමනාවක් තිබෙනවා නම් කියන්න කිව්වම, හිනා වෙලා එහෙම අවශ්‍ය නෑ කියලා කිව්වා. එතැනදි මට හිතුණා එයා දැන් කොච්චර ලොකු වෙලාද කියලා. දැන් ඔහුට වයස දහ නවය හමාරයි. මේ වෙලාවේ මම සියලු වගකීම්වලින් නිදහස් චරිතයක්.


පුතා අද ඉන්නේ ඔබෙන් අෑත වෙනත් රටක. ඒ පාළුව මකා ගත්තේ කොහොමද?


මට සම්පූර්ණ පියවි තත්ත්වයට එන්න අවුරුද්දක් විතර ගත වුණා. නමුත් අපි දරුවට ඇලිලාම ඉන්න එක යුතු නැහැ. ඒකේ අදහස දරුවා අතහැරලා දැමීම නෙවෙයි. මම අදටත් මගේ පුතාට කියන්නේ පුතේ ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක මේ අම්මා ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා. ඒ විශ්වාසය මගේ දරුවට තිබෙනවා. ඒ වගේම මමත් දන්නවා ඔහුත් මා වෙනුවෙන් ඉන්නවා කියලා. එයා ජීවිතයේ තනියෙන් ගමනක් යන්න ඕනෑ. වැරැදෙන්න ඕනෑ. හරියන්න ඕනෑ, අලුත් දේවල් අත්විඳින්න, අත්දකින්න ඕනෑ. එයා දැන් බොහොම නිදහස් ජීවිතයක් ගෙවනවා. මම එයාගේ ගමන දිහා බොහොම ආසාවෙන්, ආදරෙන් බලන් ඉන්නවා.


 චම්පා කල්හාරි හා හින්දි ගීත අතර තිබෙන්නේ නොකැඩිය හැකි බැඳීමක්. හින්දි ගීතවලින් ඔබ්බට ඔබේම අනන්‍යතාවක් බිහි කිරීම කුමන ආකාරයේ අත්දැකීමක් වුණාද?


එහෙම අනන්‍යතාවක් ඇති වේගෙන එන කාලයේ චිත්‍රපට ගීත හැට හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් මම ගායනා කළා. නමුත් ඒවා එළියට එන කාලයේ මම හිටියේ ලංකාවෙන් පිට. මගේ උසස් අධ්‍යාපනයට මම ඉන්දියාවට ගිහින් හිටියේ. ඒ වගේම ඒ කාලයේ රටේ තිබුණු වාතාවරණයත් සුබදායක වුණේ නැහැ. චිත්‍රපට එනවා වගේම අනෙක් පැත්තට ගැලවෙනවා. එහෙම කාලෙක ඒවා වැලඳගන්න මිනිසුන්ට කාලය වගේම මානසිකත්වයක් තිබුණේ නැහැ. හින්දි ගීත කියන්නේ රසිකයන් විතරක් නෙවෙයි මමත් අදටත් පිස්සුවෙන් වගේ අහන දෙයක්. මේක කියන්නම ඕනෑ දෙයක්.


ගොඩක් අය හින්දි ගීත වැඩක් නෑ අපේ ස්වතන්ත්‍ර තමයි හොඳම කියල හිතන් ඉන්න වෙලාවල් තිබෙනවා. ඒක දෙපැත්තක්. ස්වතන්ත්‍ර නිර්මාණ කියන අය ඉහළ වත්, හින්දි ගීත හෝ ඒ හින්දි තනු ගායනා කරන අය පහළවත් කියලා කිසිම දෙයක් නෑ. ඒ දෙපිරිස කොටස් දෙකක්. ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හරියට කරද්දී අපේ රාජකාරිය හරියට කරනවා. නමුත් හින්දි ගීත හැමෝටම කියන්න බැහැ කියන එක නම් මම බොහොම සෘජුව, බය නැතුව කියනවා.


ඔබ ගායනා කළ හින්දි ගීත තරමට ස්වතන්ත්‍ර රසිකයන් අතරට නොයෑම ගැන කනගාටුවක් නැද්ද?


සුජාතා අත්තනායක මහත්මිය, ජෝතිපාල මහත්මයා වගේ ප්‍රවීණයන් ගායනා කළ හින්දි තනුවලට නිර්මාණය වුණු ගීත අහන ඕනෑම කෙනෙක් ඒවා අහලා පසුව හින්දි ගීත ඇසුවොත් හිතන්නේ සිංහල ගීතයට අනුව පසුව හින්දි ගීතය නිර්මාණය වෙලා කියලා. එච්චර ලස්සනට ඒ තනු අරගෙන තිබෙනවා වගේම ඒවා තමන්ගේ කරගෙන ගායනා කරලා තිබෙනවා. ඒක අපේ ගායක ගායිකාවන්ගේ හැකියාව. එවැනි නිර්මාණ අහන්න දකින්න ලැබීම වගේම, හින්දි ගීතවලට රසඥතාව තිබීම සහ ඒවට ගරු කිරීම නිසා කවදාවත් මම ස්වතන්ත්‍ර නිර්මාණ කළේ නැහැ කියලා දුකක්, වේදනාවක් හෝ ඒවා කරන්න ලොකු උත්සාහයක් මා තුළ ඇතිවුණේ නැහැ.


මෑතකදී ඔබේ අලුත් නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?


ටිකක් නෙවෙයි දැන්නම් මම ගොඩක් මන්දගාමියි. කම්මැළිකමේ උපත කියලා කිව්වොත් වැරැදි නැහැ. ඒ කම්මැළිකම තිබෙන්නේ නිර්මාණ කටයුතු සම්බන්ධයෙන්. මම හති දාගෙන ඉගෙන ගත්තා. හති දාගෙන දරුවත් හැදුවා, හති දාගෙන ගෙදරත් හැදුවා, හති දාගෙන තමයි හැම දේම කළේ. දැන් චුට්ටක් හති අරින්නත් ඕනෑ. දැන් තමයි මම පොඩ්ඩක් නිදහසේ වැඩකටයුතු කරගෙන යන්නේ. ඉතිං මේ විධියට තව අවුරුද්දක් වත් ගියදෙන්. කාලයක් ගියාම සමහර විට පොඩි පිකප් එකක් එයි ආයේ වැඩ කරන්න ඕනෑ.  අලුත් වැඩක් කරන්න ඕනෑ කියලා. හැබැයි ඒක එයිද නැද්ද කියලා බලන්නත් අවුරුද්දක්වත් මෙහෙම ඉඳලා බලන්න ඕනෑ.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post