එකෙන්ම කියන්න පුළුවන් මට තාම පෙම්වතෙක් නැහැ -ප්‍රවීණා අංජලී ද සිල්වා




මවු – පිය උරුමයෙන් රංගනයට පිවිසි ඇය දැනටමත් ඔබට නුහුරු නුපුරුදු කෙනෙක් වෙන්න නම් බැහැ. මේ දිනවල රූප පෙට්ටියෙන් දකින්නට නොසිටියත් පහුගිය දිනවල දීර්ඝ ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඇය අප හමුවට පැමිණියා. ඉරේෂ් ලොකුබණ්ඩාරගේ කොටස් 70කින් යුත් ‘කාසි‘ ටෙලිනාට්‍යයේ ‘යශෝධරා‘ නමැති උප ප්‍රධාන චරිතය තුළින් කතාබහට ලක්වු ඇය ප්‍රවීණා අංජලී ද සිල්වාය. ඇය ජනප්‍රිය නිළි සමූද්‍රා හික්කඩුවගේ සහ ටෙලිනාට්‍ය නිෂ්පාදක සහ අධ්‍යක්ෂ ශ්‍රීනාත් සිල්වාගේ කැදැල්ලේ එකම දියණිය ඇයයි.


කලා ලොවේ ඔබ වඩාත් ජනප්‍රිය ‘ප්‍රවීණා‘ කියලද? නැතිනම් ‘අංජලී‘ කියලද?


එහෙම විශේෂයක් නැහැ. මගේ විශ්වවිද්‍යාලයේ යාළුවෝ මේ නම් දෙකෙන්ම කතා කරනවා. ඒත් කලා ක්ෂේත්‍රයේ හුඟ දෙනෙක් මට කතා කරන්නේ අංජලී කියලා.


අංජලී රඟපෑමට එක්වුණේ කොහොමද?


ඒක හරිම අහම්බයකින් සිද්ද වෙච්ච දෙයක්. පුංචි කාලෙ ඉඳලම මමයි අම්මයි, තාත්තයි කොහේ ගියත් යන්නේ එකට. එයාලා යන යන තැන මමත් යනවා. අම්මා, තාත්තා ෂූටිං යන කොටත් මම එයාලා එක්ක යනවා. චන්දන ධර්මප්‍රිය අන්කල් අධ්‍යක්ෂණය කළ ‘චුට්ටේ‘ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ මගේ තාත්තා. ඒ නාට්‍යයේ ෂූටිං කරද්දි මමත් ගියා. මම ගියේ රඟපාන්න නෙවෙයි. ඒ නාට්‍යයේ පුංචි කෙනෙකුගේ චරිතයක් තිබුණා. ජගත් මනුවර්ණගේ අක්කගේ දුව හැටියට රඟපාන්න. ඒ ටෙලිනාට්‍යයේ රඟපාන කොට මට අවුරුදු 7යි. කොටස් 75ක ටෙලි නාට්‍යයක්. මුලින් මුලින් පුංචි බයක් දැනුණත් ටික දවසක් යනකොට රඟපාන්න ආසා හිතුණා.


මුලින්ම කැමරාවට මුහුණ දෙන කොට ඇති වුණු හැඟීම මතක ද?


අම්මයි තාත්තයි දෙන්නම හිටිය නිසා බයක් දැනුණේ නැහැ. දෙබස් නම් හොඳට මතක තිබුණා. ජගත් මනුවර්ණ අන්කල්ට දෙබස් මතක නැති වෙනකොට මම එයාටත් මතක් කරලා දෙනවා. මගේ දෙබස් පාඩම් කරනකොට මට ඒ දෙබසුත් ඉබේම මතක හිටියා.


අම්මා ජනප්‍රිය නිළියක් වුණු නිසා ද ඔබත් මේ ක්ෂේත්‍රයට පිවිසියේ?


එහෙම ලොකුවට ආසාවක් තිබුණෙ නැහැ. හැබැයි කලාව මට උපතින්ම ලැබුණු දායාදයක්. මාව කුසේ තියාගෙනත් අම්මා නිසලවිල ටෙලි නිර්මාණයේ රඟපාලා තියෙනවා. අවුරුදු හයේදී ‘චුට්ටේ‘ ටෙලි නාට්‍යය රඟපෑවට පස්සෙ මම දිගටම රඟපෑවේ නැහැ. කාලයක් ගියාට පස්සේ තාත්තා නිෂ්පාදනය කළ ‘කාසි‘ ටෙලිනාට්‍යය දැක්කට පස්සෙ තමයි ආයෙමත් රඟපාන්න ඕනෙ කියලා හිතුණේ. ඒ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළේ ඉරේෂ් ලොකුබණ්ඩාර. ඒක කොටස් 70ක දීර්ඝ ටෙලිනාට්‍යයක්. ‘යසෝධරා‘ කියන චරිතය තමයි මම කළේ.


ඒ පටන් ගත් ගමනේ මේ වනකොට ටෙලි නාට්‍ය තුනක විතර රංගනයෙන් සහභාගි වී තියෙනවා. ගිහාන් රෝහණ අධ්‍යක්ෂණය කළ ‘තුරුම්පු ආසියා ශ්‍රීනාත් ද සිල්වාගේ ‘කළු රෝස‘ සහ ඉදිරියේදී විකාශයට නියමිත ‘කායා‘ ටෙලිනාට්‍යත් ඒ අතර වෙනවා. මේ හැම ටෙලිනාට්‍යයකම සැලකිය යුතු චරිත කරන්න ලැබීම විශේෂත්වයක්. මේ චරිතවලින් විකාශයට නියමිත ‘කායා‘ ටෙලිනාට්‍යයේ චරිතයට මම හුඟක් කැමතියි.


ඔබ රඟපෑ මේ සියලුම ටෙලිනාට්‍ය ඔබේ පියා ශ්‍රීනාත් සිල්වා නිෂ්පාදනය කළ හෝ අධ්‍යක්ෂණය කළ ඒවා. වෙනත් නිෂ්පාදකවරුන්ගේ නිර්මාණවලට දායක නොවෙන්න විශේෂ හේතුවක් තියෙනව ද?


විශේෂම හේතුව ඔවුන්ගේ ෂූටිං ෂෙඩුල් එකට මට අනුගත වෙන්න තියෙන අපහසුව. මම මේ ටෙලිනාට්‍යවල රඟපෑවේ පාසල් යන අතරතුරේදී. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයේ යන අතරේ. අම්මයි තාත්තයි මගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන විදිහට අධ්‍යක්ෂවරු එක්ක කතාබහ කරලා මට අවස්ථාව සලසා දුන්නා. ඒක එහෙම වුණාට වෙනත් නිෂ්පාදකවරයෙක් එක්ක මට ඒ විදිහට කතා කරන්න බැහැ. ඒ නිසා මම රඟපෑවේ තාත්තගේ නිර්මාණවල විතරයි. නමුත් ඉදිරියේදී ඒක වෙනස් වෙනවා. මම දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීතිය හදාරනවා. මේ මගේ අවසන් අවුරුද්ද. ඊට පස්සෙ මට වෙලාව තියෙන නිසා හොඳ නිර්මාණයකට කතා කළොත් දායක වෙනවා.


ඒ කියන්නෙ ඔබ අනාගතේදි රඟපෑම අතහැර නීතීඥ වෘත්තිය තෝරගන්නව කියන එකද?


නීතීඥවරියක් විදිහට මම මගේ වෘත්තිය කරාවි. ඒත් මම රඟපාන්නත් කාලය වෙන්කර ගන්නවා. මේ දෙකම සමබරව කරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම නිෂ්පාදකවරියක් විදිහටත් ඉදිරියේදී කටයුතු කරන්නත් අදහසක් තියෙනවා. චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් බලා ඉන්නවා.


ලබන මැයි මාසේ 13 වැනිදාට ඔබ 21 වැනි වියට පා තබන බව අම්මා පැවසුවා. ඔබ වැනි යෞවනියකට ආදරවන්තයෙක් නැති වෙන්න බැහැනේ?


එකෙන්ම කියන්න පුළුවන් මට තාම පෙම්වතෙක් නැහැ. මම කවදාවත් පෙම්වතියක් වෙලා ඉඳලත් නැහැ. මගේ ලෝකෙ රජ්ජුරුවෝ මගේ තාත්තා. රැජන මගේ අම්මා. මේ දෙන්නගේ ආදරෙන් මගේ ජීවිතේ පිරිලා. ඒත් අම්මා නම් කියන්නේ දැන්නම් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා ගන්න කියලා.


ඔබ හොයන්නෙ මොන වගේ කෙනෙක්ද?


අනිවාර්යයෙන්ම එයා උගත් කෙනෙක් වෙන්න ඕනේ. උස, සුදු, ලස්සන, ස්මාර්ට් කෙනෙකුට මම කැමැතියි. තාත්ත වගේ ව්‍යාපාරිකයෙක් වෙන්නත් ඕනේ.


අම්මගෙනුයි තාත්තගෙනුයි ඔබට ලැබෙන සහයෝගය කොයි වගේද?


මගේ ජීවිතේම ඒ දෙන්නා. ඒ දෙන්නගෙන් තොර ලෝකයක් මට හිතාගන්න බැහැ. පුංචි කාලෙ ඉඳලම මම හැම දෙයක්ම ෂෙයාර් කරගත්තෙ ඒ දෙන්නත් එක්ක. මම ගියේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට. මොරටුවේ ඉඳලා හැමදාම මම පාසල් ගියේ අම්මයි තාත්තයි එක්ක. අදටත් යුනිවර්සිටි යන්නෙත් එහෙමයි. කවදාවත් ඉස්කූල් වෑන් එහෙකට දාල නැහැ. මේ වගේ තාත්තා කෙනෙක් ලබපු මම වාසනාවන්තයි. තාත්තා හැම වෙලාවෙම මට කිව්වෙ හොඳට ඉගෙන ගන්න කියන එක. ඉගෙනීමේ වටිනාකම ගැන හැම වෙලාවෙම අවබෝධ කරලා දුන්නා. ඒ දෙන්නා කවදාවත්ම මට මේ දේ කරන්න කියලා බල කරල නැහැ. මට කලාව දායාද වුණෙත් මේ දෙන්නා නිසා. ඇත්තටම මට මේ වගේ අම්මා තාත්තා ලැබුණේ මගේ පෙර පිනකට.


මනෝලි සුබසිංහ




Previous Post Next Post