ඔහු වේදිකාව උඩුයටිකුරු කළ රංගන ශිල්පිෙයකි. පුංචි තිරයේ අමතක නොවන මතක මවන අපූරු නළුවෙකි. වේදිකාව හොල්ලා උද්දාමයට පත් කරන ගායකයෙකි. සිනමා නිර්මාණකරුවෙක් වගේම පෑන අවිය කරගත් පුවත්පත් මාධ්‍යවේදියෙකි. උචිත හා හොඳම හඳුන්වාදීම එකී සියල්ලටම වඩා වචනාර්ථයෙන්ම ඔහු සොඳුරු කලාකරුවෙකි. 35 වැනි සරසවි සම්මානයෙන් පිදුම් ලද ඔහු කුමාර තිරිමාදුරයි.
The Newspaper නැවතත් සම්මානනීය වුණා නේද? ඒ ගැන ඔබගේ හැඟීම?
The Newspaper චිත්‍රපටය කිහිප වරක්ම සම්මනනීය වුණා. රුසියාව හා අමෙරිකාව වගේ රටවලිනුත් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය අපට හමුවුණා. ඉන්පසු බැංගලෝර් සිනමා උලෙළේදී අපේ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානනීය වුණා. නමුත් සතියකට පසු බැංගලෝර් සිනමා උලෙළෙන් අපව දෙවැනි ස්ථානයට පත් කර ලබා දුන් සම්මානය නැවත ලබා ගත්තා. ඉන්දියාවෙන් වූ එකී අසාධාරණයට කලාකරුවන් ලෙස මම හා සරත් කොතලාවල තනියෙන් මුහුණෙදුන්නා. ඒ වෙනුවෙන් කිසිඳු හඬක් රාජ්‍ය මට්ටමෙන් හෝ මාධ්‍ය ආයතනවලින් නඟුවේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේදී හෝ වෙනත් අංශයකදී එවැනි අසාධාරණයක් සිදු වූවානම් රාජ්‍ය මට්ටමින් පෙනී සිටින අවස්ථා අප දැක තිබෙනවා. නමුත් කලාකරුවන් ලෙස අප එතැනදි අසරණ වුණා. ඒ වෙනුවෙන් වචනයක්වත් නඟන්න කිසිවෙකු ඉදිරිපත් නොවීම හරිම ශෝචනීයයි. කලාවේ ප්‍රවීණ වූ රටකට මෙවැනි දේවල් වෙනවනම් තරු කැට ගැන කවර කතා ද? සිනමාව ලෝකයට පොදු වූ රසවින්දන මාධ්‍යයක්. නමුත් ලංකාව තුළ කලාවට වගේම කලාකරුවන්ට ලැබෙන්නේ ඉතා අඩු වටිනාකමක්. එහෙව් වටපිටාවක මෙවැනි අගය කිරීම් අපට ගොඩක් වටිනවා.
කලා ලෝකය තුළ සදාතනික මිතුදම් දුලබයි. නමුත් ඔබ සරසවි සම්මානයෙන් පිදුම් ලබා එකී සම්මානය සරත් කොතලාවලට බාර දෙනවා. එය හරි අපූරු සිදුවීමක්?
මට එහෙම මොහොතවල්වල හරිම සංවේදී වෙනවා. සරත් කොතලාවලටයි මටයි ඒ කාලේ කාර්, වෑන් තිබ්බේ නැහැ. අපි අපේ ගමන පටන් ගත්තේ බයිසිකල් කටුවලින්. පාන් කාලක් එක්ක බිත්තරයක් කාලා දවසම ගෙවපු අවස්ථා අපේ ජීවිතයේ ඕනෑ තරම් තිබුණා. ඒ කාලේ පටන් මේ දක්වා අපේ යාළුකම වෙනස් වුණේ නැහැ. එහෙම යාළුකමක් ඉදිරියේ සම්මානයක් ඔහුට දීම එතරම් දෙයක් නෙමෙයි. මගේ අනිත් හොඳම යාළුවා දර්ශන් ධර්මරාජ්. ඔහු සිංහල හා දෙමළ ජාතීන් එක්කළ පාලමක් වගේ. එක් අවස්ථාවක අමෙරිකානු සිනමා උළෙලක හොඳම සහය නළුවා සම්මානය මට හිමි වුණා. ඒ අවස්ථාවේ දර්ශන් ධර්මරාජ්, මම හා ශ්‍රියන්ත මෙන්ඩිස් ඊට නිර්දේශ වී තිබුණා. ඔවුන් අතරින් මට සම්මානය හිමි වුණත් මම ඒ සම්මානය මියගිය දර්ශන ධර්මරාජ්ගේ දියණියට භාර දුන්නා. ඒ පුංචි කෙල්ල සම්මානය තුරුළු කරගෙන ඉන්නකොට මට ඒ සම්මානයෙන් ලැබුණු සතුට දෙගුණ තෙගුණ වුණා. මගේ සම්මානෙ මගේ යාළුවට දෙන එක මට ගැටලුවක් නැහැ .මොකද අපේ යාළුකම ඉස්සරහා සම්මාන හරිම පුංචියි.
පත්තර රස්සාවට තිත තියල නේද ඔබ රඟපෑම් කටයුතුවලට යොමුවුණේ…?
මම අවුරුදු පහළොවක් පත්තර රස්සාව කළා. ඒ කාලෙදිත් මම යම් යම් රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වුණා. නමුත් රැකියාවන් දෙකෙන් එකක් තෝරා ගැනීමේ ගැටලුවට මම පත්වුණා. එතකොට මගේ එක දරුවෙක්ට අවුරුදු හතයි. අනෙක් දරුවට අවුරුදු දෙකයි. එවැනි අර්බුදකාරී තත්ත්වයක මං පත්තර රස්සාවට තිත තියලා රඟපෑම තෝරගන්නවා.
The Newspaper චිත්‍රපටය ගොඩනඟන්න ඔබ තුළ සිටින පත්තරකාරයාව කොයිතරම් වැදගත් වුණා ද?
පත්තර කලාව තුළ තිබෙන කුහක පැතිකඩයි මම මගේ චිත්‍රපටයෙන් ප්‍රතිනිර්මාණය කළේ. මම වින්ද අත්දැකීම්, මම කාපු කටු, මගේ වේදනාවයි ඒ නිර්මාණය තුළින් එළිබහින්නේ. ඇත්තටම මම ඒ චිත්‍රපටය තුළ ජීවත් වුණා. ඒ නිසා එය ගොඩනඟන්න මට ඒ තරම් අපහසු වුණේ නැහැ.
පත්තර රස්සාවට තිත තිබ්බ එක ගැන දුකයි ද?
මම අදටත් කැමැතියි පත්තරේ ලියන්න. මේ වෙනකොට මම ලබපු අත්දැකීම් , දැනුම එක්ක එදාටත් වඩා අද හොඳට පත්තර රස්සාව කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා ආරාධනා කීපයක් මට ලැබී තිබෙනවා. ඉදිරියේදී කුමාර තිරිමාදුර කියන පත්තරකාරයව ආයෙත් දකීවි.
කුමාර තිරිමාදුර දැන් සිටින තත්ත්වය ගැන ප්‍රවීණයන් කිහිපදෙනෙක්ම සාස්තර කිව්වා කියලා ආරංචියි…ඒක ඇත්ත ද…?
ඔව්. මම පත්තර රස්සාවට තිත තියලා රඟපෑමට එනකොට මගේ හිතේ තිබ්බේ ලොකු දෙගිඩියාවක්. එක් අවස්ථාවක මම නිර්මාණයකට දායක වීමෙන් මගේ රඟපෑමට ලැබිය යුතු වේතනය වුණේ රුපියල් තිස්දාහයි. නමුත් වසන්ති චතුරාණි මට රුපියල් හතළිස් දාහක් දෙනවා. ඇයට වැරදිලා කියලා හිතලා මම ඒ බව ඇයට පැවැසුවා. “මල්ලි උඹ ජෝ අබේවික්‍රම වගේ අපූරු නළුවෙක් වෙනවා කියලා මට පේනවා. ඒ නිසා මේ සල්ලි තියාගනින්” කියලා ඇය මට කිව්වා. ඒ වගේම විජය කුමාරතුංග, ටෝනි රණසිංහ හා වසන්ති චතුරාණි යන අය මම දැන් විඳින වර්තමාන තත්ත්වය අතීතයේදී දැක්කේ කොහොමද කියලා මටම පුදුමයි. ඔවුන් හරි අපූරු සාස්තරකාරයෝ.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද
රංගනය තුළින් ලැබූ අත්දැකීම් හා දැනුම නොමිලයේ අනාගත පරපුරට ලබාදෙන්න මම තීරණය කළා. මම හිතනවා ඒ කාර්යයට මම ඕනවටත් වඩා සුදුසුයි කියලා.
විශ්මි ප්‍රනාන්දු