සෙට්ල් වෙන්න ඕන කියලා හිතුවත් මගේ වැඩ නිසා ඒක මිස් වෙනවා -වොශිකා පෙරේරා





වොශිකා පෙරේරා මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන්නේ “සිදාදියේ සමනලියෝ” හි උමාලි ලෙසින්. වොශිකා මීට පෙර අපිට මුණගැහුණේ විවිධ ගායන තරග තුළින්. ගීත ගායනයෙන් දස්කම් පෑ වොශිකා පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරේ දිනාගන්නෙ උමාලි ලෙසින්. රංගනයට ආ නිසා වොශිකාගේ ගායන හැකියාවන් යටපත් වෙයි ද? වොශිකා පෙරේරා කළ කතාබහයි මේ.


‘සිදාදියේ සමනලියෝ’ නිර්මාණයෙන් පස්සේ වෙනත් නිර්මාණවලට ඇරයුම් ලැබුණේ නැද්ද?


නිර්මාණ කිහිපයකට කතා කරලා තියෙනවා. ඒ දේවල් තවම කරනවද නැද්ද කියලා තීරණය කරලා නැහැ. මට ලැබෙන චරිතය මට කරන්න පුළුවන් චරිතයක් වෙන්නත් එපැයි. මට සාධාරණයක් කරන්න හැකි හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා.


‘සිදාදියේ සමනලියෝ’ හි රංගනයට එකතු වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ඒක මගේ ජීවිතේ සෑහෙන ලොකු වෙනසක් වුණා. මොකද මම රඟපාන්න ඕනේ කියලා කවදාවත් හිතපු කෙනෙක් නෙවෙයි. වෙ‍ෙළඳ දැන්වීම් කරලා තියෙනවා. මම මියුසික් පැත්තෙන් ඉදිරියට යන්න හිතුව කෙනෙක්. හැබැයි මම හිතනවා මට ලැබුණු අවස්ථාව තුළින් මම පොඩ්ඩක් හරි රංගනය කියන දේ අල්ලා ගත්තා කියලා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුද්දක් විතර වෙනවා. ඒ කාලය තුළ පුදුම අත්දැකීම් ගොඩක් ලැබුවා. ජීවිතේ සෑහෙන දුරට වෙනස් වුණා. රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයින් මාව හඳුනා ගන්න, මඟ තොටේදී ආ… මේ… උමා නේද කියලා කතා කරන මට්ටමට ආවා.


රඟපාන එකද ලේසි, සින්දු කියන එක ද?


මුලින්ම නම් මට මාරම අමාරුයි කියලා හිතුවේ රඟපාන එක. ඊට පස්සේ රංගනය කරගෙන යද්දී සමහර දේවල් ඉක්මනින් ග්‍රහණය වුණා. හැබැයි අදටත් රංගනය තුළ ලේසි පැත්තක් සහ අමාරු පැත්තක් තියෙනවා කියලා හිතෙනවා. මියුසික් කියන එක මට පොඩි කාලේ ඉඳන්ම පුළුවන් දේ. ඒත් මම හිතන්නේ නැහැ මොන දේවත් ලේසියි කියලා.


වොශිකා සමාජ මාධ්‍යය තුළ දැන් හරි ජනප්‍රිය චරිතයක් වෙලානේ?


එහෙම වුණේ ටික් ටොක්ම නෙවෙයි. මට හිතෙන විදියේ පොඩි වීඩියෝ ක්ලිප් කරලා මම ඉන්ස්ට්‍රග්‍රෑම් දැම්මා. ඒ දේවල්වලට ප්‍රතිචාර ලැබෙද්දී මම ඒ වීඩියෝම FB දැම්මා. ඒ දේවල් වයිරල් වුණා. මිලියන දෙකක වීව්ස් එන්න පටන් ගත්තා. ඒ නිසා මම යූටියුබ් චැනල් එකකුත් හැදුවා. යූටියුබ් චැනල් එක මගේ කාර්යබහුල ජීවිතේ නිසා පොඩ්ඩක් කරගෙන යන්න අමාරු වුණා. දැන් ආයෙම මට නිදහස ලැබෙද්දී ඒ දේවල්වලට වැඩි කාලයක් දෙන්න හිතනවා.


ඔය දේවල් කරන්න වොශිකාට සහයෝගය දෙන්නේ කවුද?


මුලින්ම නම් ඒ ඔක්කොම කළේ මමමයි. අපේ ගෙදර අය මට සහයෝගය දෙනවා. ඒත් ඒ අයට සමහර වෙලාවට මම කියන දේ තේරෙන්නේ නැහැ. මගේ කන්ටෙන්වල චරිතවලදී මමම තමයි කොල්ලට අඳින්නේ, අම්මට අඳින්නේ සහ කෙල්ලට අඳින්නේ. මගේ නංගි ඉන්නවා එයා මේ දේවල් කරන්න ලැජ්ජයි. කැමරාව අල්ලන වගේ තිරෙන් පිටුපස වැඩවලට සහයෝගය දෙනවා.


කලාවට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


ඒක මගේ ජීවිතේ හීනයක්. මට තේරෙන මතක ඇති කාලේ මම කිව්වේ හමුදාවට යන්න ආසයි කියලා. අවුරුදු 4-5 කාලේ තමයි මට සින්දු කියන්න පුළුවන් කියලා ගෙදර අයට දැනිලා තියෙන්නේ. ඒ කාලේම මාව සංගීත පන්තිවලට යොමු කළා. ඒ නිසා ඒ වෙද්දී මට ඕනේ වුණේ මම ආටිස් කෙනෙක් වෙනවා කියලා. මම ආසයි මිනිස්සු ආදරේ කරන චරිතයක් වෙන්න. ඒ ගමන එන්න ලේසි වුණේ නැහැ. පුංචි කාලේ රූපවාහිනී තරගවලට ගියා. රියලැටි තරගවලට ගියා. සමහර වෙලාවට ඒ දේවල් හරි ගියෙත් නැහැ. හැබැයි මම අත්හැරියේත් නැහැ. කවදා හරි මට මේ දේවල්වලින් ඉදිරියට එන්න ලැබෙයි කියලා හිතුවා. ඒ හැමදේටම අම්මා මා එක්ක ආවා. අදටත් අම්මා මගෙත් එක්ක එනවා. ඉස්සෙල්ලම කැමරාවකට මුහුණ දුන්නේ අවුරුදු 11දී වගේ. කාලයත් එක්ක හෙමින් ගමනක් ඇවිත් අද වෙද්දී මම ඉන්න තැන ගැන මට සතුටක් තියෙනවා.


වොශිකා ආදරවන්තියක් ද?


ඔව්.


ඒ ආදර කතාව ගැන කියමුද?


එයාගේ නම හර්ෂ. අවුරුදු හයක් වෙනවා අපේ ආදර කතාවට. ඔහු කලාවට බොහෝ සෙයින් ආදරේ කරන කෙනෙක්. හැබැයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. එයා හරි කැමතියි මම මේ යන ගමනට. එයා මට වඩා සමහර වෙලාවට මගේ වැඩවලට උනන්දුයි. මුලදී ඒක මට වදයක් වගෙත් දැනුණා. දැන් නම් මට තේරුම් ගිහින් තියෙන්නේ මගේ ගමන සාර්ථක කර ගන්න තමයි ඒ හැමදේම කියන්නේ කියලා. එයා දැන් මම කරන වීඩියෝවලටත් උදව් කරනවා.


මේ අවුරුද්දේ මංගල සීනු හැඬවෙයිද?


අනේ මන්ද. අපි දෙන්නා කිසි දෙයක් ඕනෑවට වඩා ප්ලෑන් කරන දෙන්නෙක් නෙවෙයි. සමහර වෙලාවට අපි සෙට්ල් වෙන්න ඕනේ කියලා හිතුවත් මගේ දෙයක් නිසා මිස් වෙනවා. එයා ඒවාට මුකුත් කියන්නේ නැහැ. නමුත් අපි දෙන්නා මෙච්චර කාලයක් අපේ වැඩ ටික කරන් ඉන්නවා. මම හිතන්නේ විවාහය වගේ දේවල් අපේ හරිම කාලය ආවම සිද්ධ වෙයි.


වොශිකා ඔයාගේ ඉදිරි දැක්ම මොකක් ද?


මම මේ ගමන කාවවත් කපාගෙන ඉදිරියට යන කෙනෙක් නෙවෙයි. මම මේ ගමන ආවෙත් බොහොම හෙමින්. මා එක්ක ක්ෂේත්‍රයට ආව අය අද මට වඩා හොඳ තැන්වල ඉන්නවා. මම ආස නැහැ මගේ ජීවිතේ ගොඩක් බිසී කරගෙන වැඩ විතරක් කරන්න. මම තනියම ඉන්න ආසයි. මම මෙලඩිස් දානවා. ඒ අතර මට නිකම් ඉන්නත් බැහැ. මොනවා හරි වැඩක් කරන්නත් ඕනේ. දැන් මම ගායිකාවක් විතරක්ම නෙවෙයි. ඒ නිසා මම කැමතියි ආටිස් කෙනෙක් වෙන්න. ආටිස් කෙනෙක් කියන්නේ හැම දේම පුළුවන් වෙන්න එපැයි. මට ඇඳුම් ඩිසයිනින් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මගේ ඇඳුම් මමයි ඩිසයිනින් කරන්නේ. ඒ එක්කම මගේ ආච්චි සහ මගේ නැන්දා රූපලාවණ්‍ය ශිල්පිනියක් නිසා මමත් ඒ දේවල් ඉගෙන ගත්තා. මම සැලෝන්වලට යන්නේ නැහැ. මගේ දේවල් කර ගන්නේ මමයි. මගේ ප්‍රධානම දේ ගායනය. මම මැරෙනකම් ලංකාවේ මිනිස්සු ආදරේ කරන හැමෝම දන්න හොඳ දක්ෂ ආටිස් කෙනෙක් වෙන්නයි කැමති.


මඟ තොටේ දී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ කොහොමද දැනෙන්නේ?


අම්මෝ ඒ ගැන නම් කියන්නම ඕනේ. ඒ කියන්නේ මම ඉස්සර තරගවලට ගිය කාලේ කලාතුරකින් කෙනෙක් මාව හඳුනාගෙන කතා බහ කරලා තියෙනවා. හැබැයි “සිදාදියේ සමනලියෝ” මැද කොටස වෙද්දී පාරේ බැහැලා යද්දී උමා කියලා කතා කරන මට්ටමට ප්‍රේක්ෂක ආදරේ වැඩි වුණා. ඉස්සර මට මුහුණු පොතේ හිටියේ වැඩිපුර පිරිමි ෆෑන් බේස් එකක්. නමුත් නාට්‍යය එක්ක කාන්තා පාර්ශ්වයේ අයත් එකතු වුණා. කොහේ ගියත් කවුරු හරි ඇවිත් කතා කරනවා. හිනා වෙනවා. අම්මා කියනවා ඔයා එක්ක යද්දී අන්න උමා යනවා කියලා කියනවා ඇහුණා කියලා. ඒ තරම් ආදරයක් මේ තරම් කෙටි කාලයක් තුළ ලැබුණු එක ගැන සතුටක් තියෙනවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post