අතීතයේ නම් අපි රසවින්දේ භාරතීය ගී තනුවලට අනුව නිර්මාණය වුණු සිංහල ගීත. නමුත් අද ඒ අතීතය වෙනස් වෙලා සංගීතය විශාල ඉදිරි පිම්මක් පැනලා. ඒ වගේම අපේ කලාකරුවනුත් දැන් හරි හරියට ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයත් සමඟ එක්වෙලා වැඩ කරන්න පටන් අරගෙන. මේක ඇත්තටම ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් කියන්නත් අපිට පුළුවන්. ඔහු ලාංකේය සිංහල සංගීතය ජාත්‍යන්තරයට රැගෙන ගිය කලාකරුවෙක්. විශේෂත්වය වන්නේ මෙම කලාකරුවාගේ ශ්‍රමයෙන් නිමැවුණු ගීතය ඉන්දියානු චිත්‍රපටයක් වන රෝමියෝ චිත්‍රපටයේ ප්‍රධාන ගීය බවට පත් වීමයි. විනායක් වෛතියනාදන් කියන විශිෂ්ට අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ රෝමියෝ චිත්‍රපටයේදී මෙම ගීය දමිළ සහ තෙළිඟු කියන භාෂා දෙකින්ම ගායනය කළා. අද මේ පිළිබඳව කතාබහ කිරීමට එක් වන්නේ ප්‍රවීණ ගායන ශිල්පි රවී රොයිස්ටර්.
මේ දවස් ගෙවී යන්නේ කොහොමද?
මේ දවස්වල හරිම කාර්යබහුලයි. අලුත් සින්දුවත් එක්ක එහෙට මෙහෙට යනවා. ඒ වගේම මගේ අලුත් නිර්මාණ කිහිපයකත් වැඩකටයුතු සිදු කරගෙන යනවා. ඔය විධියට තමයි මේ දවස් ගෙවී යන්නේ.
ඔබගේ ගීතයක් ඉන්දියානු චිත්‍රපටයක් වන රෝමියෝ චිත්‍රපටය සඳහා තෝරාගෙන තිබීම ගැන ඔබට මොකද හිතෙන්නේ?
මේක මගේ ‘පස්ස’ කියන ගීතයේ දමිළ වර්ෂන් එක කිව්වොත් නිවැරදියි. මගේ වට්සැප් එකට එකට එක පාරටම මැසේජ් එකක් ආවා. ඒ මැසේජ් එකේ මගේ සින්දුවෙ ලින්කුව දාලා මේ සින්දුව විජය ඇන්තනි එයාගේ අලුත් ෆිල්ම් එකට ගන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් දාලා තිබුණා. මට එකපාරම හිතා ගන්නත් බැරි වුණා. විජය ඇන්තනීගේ ඇසිස්ටන් ඩිරෙක්ටර් තමයි මට කතා කළේ. ඔය විධියට තමයි මේ වැඩේ පටන් ගත්තේ. ගිය වසරෙ මැද තමයි අපි මේ වැඩේට අත ගැහුවේ. ඊට පස්සෙ අපි සාකච්ඡා කරලා ඉන්දියාවට ගිහින් වැඩේ ඉවර කළා.
අතීතයේ එක් යුගයක හින්දි ගීත අනුසාරයෙන් තමයි සිංහල ගී නිර්මාණය වුණේ. දැන් එය වෙනස් වෙලා. මේ නව ප්‍රවණතාව පිළිබඳ ඔබේ අදහස?
අනිවාර්යයෙන්ම මේ දෙය ඉදිරියට ගමන් කරයි කියලා සිතනවා. මේක හොඳ ප්‍රවණතාවක්. මේ ගීතය තමයි ප්‍රථම වතාවට ගීතයක තනුව, ගායනය සහ සංගීත මුසු කිරීම ආදිය එකම කලාකරුවෙක් සිදු කළ අවස්ථාව. මොකද මීට පෙර නිර්මාණය වුණු දමිළ, හින්දි ගීතවලට පරිවර්තනය වුණු ගීවල මේ වගේ සියලු කටයුතු එකම කලාකරුවෙක් අතින් සිදු වෙලා නැහැ. මේ ගැන මට ලංකාවේ කලාකරුවෙක් විධියට විශාල ආඩම්බරයක් තිබෙනවා.
රවී රොයිස්ටර් සංගීතයට පිවිසුණේ කොහොමද?
මගේ පාසල මාතර රාහුල විද්‍යාලය. මම මගේ පාසලෙන් තමයි මුලින්ම මේ ගමන අරඹන්නේ. ඒ ලැබුණු පන්නරයෙන් පසුව මගේ උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ පිහිටි විශ්ව භාරතී විශ්වවිද්‍යාලයට මම ඇතුළත් වුණා. මම එහිදී නාට්‍ය හා රංග කලාව සහ උත්තර භාරතීය සංගීතය කියන විෂයන් හැදෑරුවා. ඉන් පසුව මම ලංකාවේ ප්‍රසිද්ධ නාළිකාවක රියැලිටි තරගාවලියකට සහභාගි වුණා. ඉන් අනතුරුව තමයි මම රවී රොයිස්ටර් කියන නමින් එළියට එන්නේ.
ඔබ වේග රිද්ම ගී වගේම ‘හමාර බණවර’ වැනි ශාස්ත්‍රීය සංගීත ශානරයේ ගීතත් ගායනා කරලා තිබෙනවා. රවී රොයිස්ටර්ට ඒ වර්ගයේ ගීත මඟහැරුණාද?
ඇත්තටම මම ඒ වර්ගයේ සින්දුවක් කරලා තිබෙනවා. ඒ වගේ සින්දුවක් ආදරණීය රසිකයන්ට ඉස්සරහට අහන්න පුළුවන් වෙයි. මේ වනවිට එහි බොහෝ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. ඒ වගේ වෙනම වයිබ් එකක සින්දු කිහිපයක්ම කරලා තිබෙන්නේ. ඉක්මනින්ම එම ගී ඔබට විඳගන්න හැකිවේවි.
ඉන්දියානු සංගීත කර්මාන්තය පිළිබඳව ඔබේ අදහස සහ මේ ලැබුණු අවස්ථාව පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?
ඉන්දියන් මියුසික් ඉන්ඩස්ටි්‍ර එකේ වැඩ කරන එක බොහොම හොඳ දෙයක්. ඒ වගේ විශාල කර්මාන්තයක අපිට අවස්ථාවක් හමුවෙනවා කියන එකත් ලොකු දෙයක්. ඇත්තටම ඒ ඉන්ඩස්ටි්‍ර එකේ වැඩ කරන එක හරිම ලේසියි. ඒ වගේම ඒ ඉන්ඩස්ටි්‍ර එක හරිම අව්‍යාජයි. ඔවුන් සමඟ වැඩ කරන එක පහසුයි වගේම තමයි කරන වැඩේ හරිම සීරියස්. මට හිතෙන විධියට ඒ නිසා තමයි ඉන්දියානු සංගීත කර්මාන්තය ඒ තරම් දියුණු. ඒ අය තාක්ෂණික වශයෙනුත් ඉතා ඉහළ තැනක සිටිනවා. මම හිතන්නෙ ඒ අය අපිට වඩා සෑහෙන්න අප්ඩේට්. මම හිතන්නෙ තාක්ෂණයට වඩා ඔවුන්ගේ නිර්මාණාත්මක පැත්ත සහ යම් නිර්මාණයකට ලබා දෙන කාලය නිසා තමයි ඒ නිර්මාණ ඒ තරම් ගුණාත්මක වෙන්නේ.
රවී රොයිස්ටර්ගේ නවතම ඇල්බමය නිකුත් වන්නේ කවදාද?
මම මේ වන විට ඇල්බම් දෙකක් නිකුත් කරලා තිබෙනවා. තව අලුත් නිර්මාණ කිහිපයක් සමඟම වැඩකටයුතු සිදු කරගෙන යනවා. මගේ අලුත් ගීත කිහිපය සමඟ මගේ අලුත් ඇල්බමය නිකුත් වෙයි කියලා මම සිතනවා. ඒ දෙය ඉක්මනින්ම රසිකයන්ට විඳින්න ලැබෙයි.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?
මට මේ වන විට ගීත ගායනා කිරීම සඳහා දමිළ චිත්‍රපට දෙකකින් ආරාධනා ලැබිලා තිබෙනවා. ඊට අමතරව සංගීතමය වැඩකටයුතු වගේම මගේම කොන්සට්ටුවක් කිරීමටත් අදහසක් තිබෙනවා. ටුවර්ස්වලට සහභාගි වීමටත් ආරාධනා ලැබිලා තිබෙනවා. මගේ ආදරණීය රසිකයන්ට ඉක්මනින්ම මගේ නිර්මාණ වැලඳ ගැනීමට අවස්ථාව උදාවෙයි.
ගිහාන් සචින්ත