මගේ හීනෙට යද්දි මට එයාව මඟහැරුණා -නිසල හෙට්ටිආරච්චි



හර්ෂ උඩකන්දගේ ලොක්කී ටෙලි නිර්මාණයෙහි කල්පගේ භූමිකාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් නිසල හෙට්ටිආරච්චිගේ එකම සිහිනය වී තිබුණේ කවදා හෝ රිදී තිරය මත බැබළීමයි. යෞවනයේ උන්මාදයක් බවට පත්වූ කල්ප නිසලගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූවාට කිසිදු සැකයක් නැත. කල්ප මෙන් හිස කෙස් විලාසිතා කරන්නට, අඳින්න පලඳින්නට, කතා කරන්නට යොමු වූ යෞවනයන් බොහෝය. කල්පගේ චරිතය ඔස්සේ ඔහුටම ආවේණික ප්‍රේක්ෂකාගාරයක් තනා ගත් නිසලගේ ලොකුම සිහිනය සැබෑ කළේ හර්ෂ උඩකන්දගේ ‘රෝස ආදරේ‘ සිනමා සිත්තමයි. එය රිදී තිරය මත දිගහැරෙන තෙක් නොඉවසිල්ලෙන් පසුවන නිසල අද අපේ කතාබහට එක්වූවේය.


රෝස ආදරේ කියන්නෙ නිසලගෙ ලොකුම හීනය සැබෑ වීමක්. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?


මට හැමදාම ඕන වුණේ අඩි 60ක් 70ක් විශාල තිරය මත නළුවෙක් වෙන්න. ලොක්කී ටෙලි නිර්මාණයේ ‘රූ නෙතු සලාලා‘ ගීතය තමයි මට ඒකට එන්න පාර කිවුවෙ. ඒ‍ෙක රූගත කිරීම් අවසන් වුණ ගමන්ම හර්ෂ සර් මට කිවුවා නිසල ඔයා මගෙ ඊළඟ ෆිල්ම් එකට ගන්නවා කියලා. ඒක මම තාම ලියාගෙන යනගමන්. ලොක්කි ඉවර වුණ ගමන් පොඩි බ්රේක් එකක් අරන් ඒක කරමු කියලා. ඒ මං ජීවිතේ අහපු සතුටුදායකම ආරංචිය. ඊට ටික දවසකට පස්සෙ අශෝක් ජයකොඩි කියලා මහත්තයෙක් මට කතා කරල කිවුවා මල්ලි මම කල්පට ගොඩක් කැමතියි. අපේ පුතත් කල්ප වගේ කොණ්ඩෙ හදන්නෙ. ඇඳුම් අඳින්නෙ. මට ඔයාට ගිෆ්ට් එකක් දෙන්න ඕන. මම ඔයාට කාර් එකක් දෙන්නද කියල ඇහුවා. මම කිව්වා අනේ මට මොනවත් ඕන නෑ ඔය කතා කරපු ටිකම මට ඇති කියලා. ඊට පස්සෙ එයා කිවුවා නෑ නෑ මං ඒක නිකන් කිවුවෙ.


අපි ඔයාට දෙන ගිෆ්ට් එක විදිහට අපි ඔයාව රෝස ආදරේ ෆිල්ම් එකට ගන්නවා. මං ඒකෙ ප්‍රොඩියුසර් කියල කිවුවා. සාමාන්‍යයෙන් අපි ටෙලි නිර්මාණවල අය ගන්නෙ නැහැ. ඒත් හර්ෂ කිව්වා ඔයා හොඳ ෆිල්ම් ස්ක්‍රීන් එකට කියලා. හර්ෂත් ඔයාට විස්තරේ කියාවි කියල කිවුවා. ඒක තමයි මං අහපු ආසම කතාව. ටික වෙලාවකින් හර්ෂ සර් කතා කරලා කිවුවා ඔයා මේ ටිකේ ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්න එපා ටිකක් ඉවසල ඉන්න කියලා.


කල්ප කියන්නේ යෞවනයේ උන්මාදයක් බවට පත්වුණු චරිතයක්. කොහොමද ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ?


මෙහිදී තුෂාර තෙන්නකෝන් සර් මතක් කරන්න ඕන. ඔහුගේ මල් පිපෙන කාලේ ටෙලි නිර්මාණයේ මුලින්ම මට ලැබුණෙ නමක්වත් නැති පොඩි චරිතයක්. ඒකෙ මං මුල්ම සීන් එක කරනව දැකලා ඔහු ඇහුවා නිසල ඔයා මීට කලින් ඇක්ට් කරල තියේද කියලා. ඔහු එවෙලෙම මගේ කැරැක්ටර් එක ඩිවලොප් කරලා ස්ටෝරියක් බවට පත්කළා. ඒක දැකලා තමයි දෙරණේ ලක්සිරි සර් මට ලොක්කී ටෙලි නිර්මාණයේ කල්පගේ චරිතයට කතා කළේ. එතැනදි මම හිතාගත්තා කොහොමහරි හොඳට වැඩ පෙන්නලා මගේ හීනයට යනවා කියලා. හර්ෂ සර් මගේ හීනය දැනගෙන හිටිය නිසා කල්ප හරහා මගේ හැම දක්ෂතාවක්ම පාවිච්චි කරන්න මට අවස්ථාව ලබා දුන්නා. ලොක්කි ඉවර වුණත් අදටත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නෙ පුදුමාකාර ආදරයක්. ඒ ආදරේම මගේ සිනමාපටයටත් ලැබේවි කියන විශ්වාසය මට තියෙනවා.


නිසලගේ පවුලේ කවුරුත්ම කලාවට සම්බන්ධයක් නැතුව නිසලට මේ තරම් දක්ෂතාවක් පිහිටන්නෙ කොහොමද?


පුංචි කාලෙ ඉඳන්ම ගෙදරදි මං අක්කත් එක්ක ටීවී වෙළෙඳ දැන්වීම් රඟපානවා. මං ගියේ කොළඹ තර්ස්ටර්න් විද්‍යාලයට එක දවසක් උදේ රැස්වීමෙදි පන්ති භාර මිස් මට මොකක් හරි රඟපාල පෙන්නන්න කිවුවා. එදා මං කිසිම ලැජ්ජාවක් නැතුව රබාන ගගහ පාන තියා බුදු සාදුට ගීතය ගයමින් නිර්මාණාත්මක රංගනයක් ඉදිරිපත් කළා. එතකොට මං තුනේ පන්තියෙ. අපේ ඉස්කෝලෙ ඩ්‍රාමා ටීචර් අනෝමා විජේසිංහ මිස් ඒක දැකල අපේ අම්මට කිවුවා හවස මිස්ගෙ ඩ්‍රාමා ක්ලාස් එකේ හැමදාම පැයක් මාව තියන්න කියලා. එදා ඉඳන් පාසලේ හැම කලා උලෙළකම මම නිර්මාණාත්මක දෙයක් කළා. ඒ ලැබූ අත්දැකීම් පස්සෙ කාලෙකදි මහේන්ද්‍ර පෙරේරා සර්, රවීන්ද්‍ර විජේරත්න සර්, අනෝජා වීරසිංහ මිස් යටතේ තව තවත් ඔපමට්ටම් කරගත්තා.


ඔබට හීනයක් වෙලා තිබුණු ඔබේ පළමු සිනමා අත්දැකීම කොහොමද දැනුණේ?


මුල් දවස් තුන ටිකක් අමාරු වුණා. ෆිල්ම් ස්ක්‍රීන් එක කියන්නෙ සීමිත අවකාශයක් නිසා ටෙලි නිර්මාණවල තරම් නිදහස නෑ. ප්‍රේම් එකක් ඇතුළෙ ඇක්ට් කරන්න මම ඉගෙන ගත්තෙ හර්ෂ සර්ගෙන්. හරි ටෙම්පො එක අල්ල ගත්තට පස්සෙ ගැටලුවක් වුණේ නැහැ. සංගීතය, ඇක්ෂන්, ආදරය, කොමඩි මේ හැමදේම මිශ්‍ර වුණු හොඳ නිර්මාණයක් මේක. මම කරාතේ ඉගෙන ගත්තෙත් මගේ හීනයට යන්න. පිට පිටම හත් වතාවක් ජාතික ශූරයා වුණා. ඒෂියන් කප් එකක් ගෙනාවා. ලෝක ශූරතා තරගාවලියටත් ඉදිරිපත් වුණා. ඒ හැමදේ තුළම තිබුණේ නළුවෙකුගේ හීනය.


නිසලට තව ලොකු හීනයක් තියෙනවනේ. ඒ හීනෙට යද්දි ආදරයට ලැබෙන්නෙ මොන වගේ ඉඩක්ද?


මම මගේ හීන ළඟදි හරිම මුරණ්ඩුයි. මට ඕන ලෝකෙම දන්න නළුවෙක් වෙන්න. ඒ වෙනුවෙන් මං කැප වෙනවා. ආදරේටත් මං හරිම ආදරෙයි. ඒ වගේම මං හරිම ඉමෝෂනල්. මට ආදරයක් තිබුණා. ඒත් මගේ මේ හීනයත් එක්ක ඒ ආදරේට පවතින්න බැරි වුණා. මේ හීනය එයාට බර වැඩි වෙන්න ඇති. මං එයාට කිවුවා මම ඔයාට කොච්චර ආදරේ ද ඒ තරම්ම මං මගේ හීනවලටත් ආදරෙයි. ඔයා නිසා මගේ හීනවත් හීන නිසා ඔයාවවත් නැති කරගන්න මං කැමැති නෑ. ඔයා මගේ හීනවලට විරුද්ධ වෙනවනම් මම මගේ හීන තෝරගන්නව කියලා. ඒක එයාට රිදෙන්න ඇති. මගේ හීනවලට සපෝට් කරන්න පුළුවන් කෙනෙකුට ඕනම වෙලාවක මගේ හිතේ ඉඩ තියෙනවා. මගේ පෙම්වතිය මගේ හොඳම රසිකාවිය වෙනව කියන්නෙම එයා මගේ හීන පස්සෙ ඉන්නව කියන එකනේ.


 නාමලී ගමගේ



Previous Post Next Post