අපි අපිට නොදැනිම ආදරේ වෙලා තිබුණා -සංජනා පීරිස්

 


වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන මාධ්‍ය ත්‍රිත්වයේම එකසේ දස්කම්පාන ඇයගේ රංගනයේ තිඹිරි ගෙය වේදිකාවයි. එනිසාම දෝ ඇය වේදිකාවට දැඩි සේ පෙම් බඳින්නීය. නමින් සංජනා පීරිස් වන ඇය මේ දිනවල අපට හමුවන්නේ සුනිල් ශ්‍රී ගේ ‘ඉල්ලන් කෑවා‘ වේදිකා නිර්මාණයේ සහ නොයෙල් ජයමහගේ ‘කිරීටය‘ වේදිකා නිර්මාණයෙනි. නර්තනයට උපන් හපන්කම් පෑ ඇය සුරේෂ් කුමාරසිංහගේ මීදුම් වසන්තේ සිනමා නිර්මාණයට සහාය අධ්‍යක්ෂණයෙන් එක් වූවාය. සිනමා නිර්මාණ ත්‍රිත්වයක රූගත කිරීම් අතරතුරේ කාර්යබහුල වෙමින් සිටිය ද අප හා කතාබහට එක් වූවාය.


“පුංචි කාලෙ ඉඳන්ම මං නර්තනය හැදෑරුවා. නර්තනය ඉගෙන ගන්නවත් එක්කම


මට පොඩි පොඩි රංගන අවස්ථා ලැබුණා. ඊට පස්සෙ මං සුදර්ශියේ මංගල සේනානායක සර්ගේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හැදෑරුවා. අනෝජා වීරසිංහ මිස්ගෙ දින හයක වැඩමුළුවකටත් සහභාගි වුණා. අදටත් මං මොකක්හරි වැඩමුළුවක් තිබුණොත් සහභාගි වෙන්න අමතක කරන්නෙ නැහැ. ඒ ලබා ගන්න දැනුම ගොඩක් වටිනවා. මේ වෙද්දි වේදිකා නිර්මාණ, ටෙලි නිර්මාණ, සිනමා නිර්මාණ රැසකට දායක වෙලා තියෙනවා. “


සඳුන් රාජකරුණාගේ චායා ටෙලි නිර්මාණයේ ටානියාගේ චරිතය, ඉතින් ඊට පස්සේ ටෙලි නිර්මාණයේ හංසිගේ චරිතය මෙන්ම සොඳුරු සිතැත්තී හරහා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් සංජනා ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ නිම් වළල්ල ටෙලි නිර්මාණයේ මේනකා නමැති නපුරු චරිතය නිසා ප්‍රේක්ෂකයන්ගේ දෝෂාරෝපණයට ලක් වූ බව ද පැවසුවාය.


වේදිකාව තම රංගන දිවියට තෝතැන්නක් වූ අයුරු පැවසූ ඇය සජීවී මාධ්‍යයක් ලෙස වේදිකාව මතින් ලබන අත්දැකීම් රංගන දිවියට පන්නරයක් වන බවද පැවසුවාය.


“ඕනෑම රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට වේදිකාව කියන්නෙ රංගනයට හොඳම තෝතැන්නක්. වේදිකාව මත ලබන අත්දැකීම් ටෙලි ක්ෂේත්‍රයට වගේම සිනමාවටත් ලොකු පන්නරයක්. වේදිකාව මත රංගනය ලේසි නැහැ. ඒකට ලොකු දැනුමක්, අවබෝධයක්, පුහුණුවක් තියෙන්න ඕන. ඒ වගේම ලොකු කැපවීමක් තියෙන්නත් ඕන. වේදිකාවෙ කටහඬ පාලනය විශේෂයි. ඒ වගේම ලයිටින් ගැන අවබෝධයක් තියෙන්නත් ඕන. වේදිකාවෙ හැරෙන පැත්ත පවා වැදගත්. කාලය කියන එක ගොඩක්ම වැදගත්. මොකද එක්කෙනකුගෙන් හරි ප්‍රමාදයක් වුණොත් සමස්ත නාට්‍යයේම රිද්මය ගිලිහෙනවා. ඒ වගේම හොඳ අධ්‍යක්ෂවරයෙක් හමුවීමත් වාසනාවක්. මගේ රංග පරාසය හොඳින්ම ගැළපෙන්නෙ වේදිකාවට කියලයි මට හිතෙන්නෙ. මටත් හිතාගන්න බැරි තරම් දැවැන්ත චරිත නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම හොඳම අධ්‍යක්ෂවරු, ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක වැඩ කරන්නත් ලැබුණා. ඒක මට ලොකු පන්නරයක් වුණා. සුනිල් ශ්‍රී කියන්නේ වේදිකාවෙ මට හමුවුණු දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහු දන්නවා ඕනෑම කෙනකුගේ ඇඟේ තියෙන හැකියාව එළියට ගන්න. මේ දිනවල වේදිකාගත වන නිර්මාණ දෙකට අමතරව අං ආවෝ, තොත්ත බබාලා, බබා නෝනා, සිකුරු ඇවිල්ලා, සුනඛ කේසර වගේම ටෙනිසන් කුරේගේ සිවම්මා ධනපාල වේදිකා නිර්මාණයේ සිවම්මාගේ චරිතයට ලැබුණු අවස්ථාවත් මට ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම චානක ප්‍රනාන්දුගේ බිලී වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට බස්නාහිර පළාතේ හොඳම නිළිය සම්මානය හිමිවුණා.”


සුනිල් ශ්‍රී ගේ ඉල්ලන් කෑවා වේදිකා නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට අතරමැදදී සම්බන්ධ වීමට ලැබුණු අභියෝගාත්මක අවස්ථාව ගැන ඇය පළ කළේ මෙවන් අදහසක්.


“ඇත්තටම ඒක මට ලොකු අභියෝගයක් වුණා. සෙසු චරිතයක් වගේ නෙවෙයි. ප්‍රධාන චරිතයකට අතරමැදදි සම්බන්ධ වෙනව කියන්නෙම අභියෝගයක්. ඉල්ලන් කෑවා ගොඩක් වාර ගණනක් ප්‍රදර්ශනය වුණාට පස්සෙ තමයි මට සම්බන්ධ වෙන්න සිදු වුණේ. ඒ වෙද්දි අනෙක් ශිල්පීන් හොඳ පුහුණුවක් ලබලා ප්‍රේක්ෂක ආදරයත් විඳිමින් හිටියේ. මට පුහුණු වෙන්න ලැබුණෙත් හරියටම දවස් දෙකයි. සුනිල් ශ්‍රී අතිදක්ෂයෙක් කියන එක ඔප්පු වෙන්නෙ ඔහු මාව දවස් දෙකෙන් පුහුණු කරලා චරිතයට අනුගත කළා. ඔහුගේ මඟ පෙන්වීම වගේම පුහුණුවීම්වලදී රොමේෂ් සංජය ඇතුළු ශිල්පීන් සියල්ලන්ගෙන්ම ලැබුණු සහයෝගයත් අගය කළ යුතුයි.”


තම දිවියට මෙන්ම රංගනය සාර්ථක කරගැනීමට උපරිම සහාය දුන් හොඳම මිතුරා ආදරණීය සැමියා බවට පත්වූ ආකාරය ගැනත් ඇය අප හා පැවසුවාය.


“අපි දෙන්න ගොඩක් කල් ඉඳන් හොඳම යාළුවෝ වෙලා හිටියා. අපිටත් නොදැනී අපි අපිට ආදරේ වෙලා තිබුණා. අදටත් ඒක වචනයෙන් ප්‍රකාශ කරගෙනවත් යෝජනා කරගෙනවත් නැහැ. කොහොමහරි දෙන්නම එකට තීරණය කළා විවාහයකට යමු කියලා. දැන් අපි විවාහ වෙලා අවුරුදු 2ක් වෙනවා. යාළුවා කාලෙ එයා කවදාවත් මගේ නාට්‍යයක් බලලා නැහැ. ඒත් දැන් එයා තමයි මගේ හොඳම විචාරකයා. හොඳ නරක දෙකම කියනවා. සමහර වෙලාවට හැමෝටම පේන්න ෆේස්බුක් එකේ කමෙන්ට් විදිහටත් දානවා. ඒ ආදරේ හරිම සුන්දරයි.


නාමලී ගමගේ



Previous Post Next Post