ඔව් අනේ පුළුවන් නම් අයදුම්පත් දාන්න කියන්න-බ්‍රෙ‍න්ඩා මෙන්ඩිස්

 


මීට වසර 11කට පෙර දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ගායන ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ගායන ශිල්පිනියක් වන බ්‍රෙ‍න්ඩා මෙන්ඩිස් බොහෝ දෙනා හඳුනා ගන්නේ කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරන නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිනියක් විදියට. මේ සොඳුරු කතා බහ බ්‍රෙන්ඩා සමඟ ඇයගේ ජිවිතේ ගැන


මොකද වෙන්නේ මේ දවස්වල?


මේ දවස්වල නම් ටිකක් ගෙදරට වෙලා ඉන්නේ. හැබැයි මගේ අලුත් සින්දුවේ වැඩ ටිකක් කරගෙන යනවා. ඒ එක්කම මගේ බෑන්ඩ් එකේ වැඩ ටික කරගෙන යනවා.


බ්‍රෙන්ඩා නියෝජනය කරන බෑන්ඩ් එක මොකක් ද?


බෑන්ඩ් එකේ නම “C Plus”. මේ දවස්වල ඉවෙන්ට්ස් වැඩ සහ බෑන්ඩ් එකේ සින්දුවල ප්‍රොජෙක්ට් කිහිපයක් කරගෙන යනවා.


ජීවිතේ ගත වෙන්නේ සින්දු එක්කම ද?


ඔව්. සින්දු එක්කම තමයි ඉන්නේ. නිදා ගන්නෙ කන්නෙ බොන්නෙ පාරේ යන්නෙ සින්දුත් එක්කම තමයි. සින්දු තමයි මගේ ජීවිතේ. මේ අවුරුද්දේ මම ගොඩක් කාලය වෙන් කරන්න හිතනවා මගේම නිර්මාණ ටිකක් කරන්න.


බ්‍රෙන්ඩා කියන්නේ ෆැෂන් කරන කෙනෙක්, ෆැෂන් වලට කොච්චර කැමතිද?


මම ෆැෂන් කරන්න ගොඩක්ම ආස කෙනෙක්. මම ආසයි එක එක දේවල් අත්හදා බලන්න. සමහර දේවල් මට ගැළපෙනවා. සමහර දේවල් මට ගැළපෙන්නේ නැහැ. කොණ්ඩෙත් එහෙමයි. දැන් අවුරුදු 10ක් තිස්සේ එක එක විදියේ අත්හදා බැලීම් කරලා බලලා තියෙනවා. අපි වයසට ගියාම මේ දේවල් කරන්න බැහැනේ. මේ කාලේ ඔය දේවල් අත්හදා බලලා තිබ්බම පසුකාලයේ දුක් වෙන්න ඕනෙ නැහැ.


බාහිරින් පේන බ්‍රෙන්ඩාට වඩා ඇතුළතින් ඉන්න බ්‍රෙන්ඩා සෑහෙන වෙනස් වගේ?


ඒක හරි. සෝෂල් මීඩියා එකේ අනම් මනම් කළාට. පොල් රොටියක් ලුණු මිරිසක් එක්ක කාලා සතුටින් ඉන්න පුළුවන් කෙනෙක්. ගොඩක් අය බාහිරින් දැකලා හිතනවා මෙයා මෙහෙම කෙනෙක් කියලා. නමුත් හැබෑවට එහෙම නැහැ. හරිම සරල කෙනෙක්.


බ්‍රෙන්ඩාට ගෙදර කවුද තව ඉන්නෙ?


අම්මා, තාත්තා, අක්කා සහ මල්ලි තමයි මගේ ගෙදර අය. අක්කා සහ මල්ලි නම් ඉන්නේ රට. දැන් ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි. මගේ අක්කා නිසා තමයි මමත් ෆැෂන් කරන්න ගත්තේ. එයා තමයි ඉස්සර ගොඩක් දේවල් අත්හදා බලන්නේ.


ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටුණු තැන් නැද්ද?


එහෙම දේවල් නම් ගොඩක් තියෙනවා. මම එක කොන්සර්ට් එකකට අමුතු පටි තියෙන ටොප් එකක් ඇන්දා. ස්ටේජ් එකට යන්න ඉස්සෙල්ලා පටිය කැඩුණා. ඒ පැයම මම සින්දු කිව්වේ ටොප් එක අතින් අල්ලාගෙන. ඊට පස්සේ බ්‍රේක් එකේදී බෑන්ඩ් එකේ අයියලා එක්ක කටු හොයලා බොහොම අමාරුවෙන් ඒක හදා ගත්තේ. මම හිතන්නේ ඒ දේවල් වුණත් අපිට අපේ ජීවිතේ අත්දැකීම්. එහෙම දේවල් ජීවිතේට තියෙන එකත් හොඳයි. නැත්නම් බෝරින් වගේ.


ඩ්‍රීම් ස්ටාර් හරහානේ එන්නෙ


ඔව්. මීට අවුරුදු 11කට කලින්


මේ කාලය තුළ වැඩි නිර්මාණ කරලත් නැහැනේ, ඒ ගැන මොකද හිතෙන්නේ


නිර්මාණ ප්‍රමාණය අඩු වුණේ, මම එක එක බෑන්ඩ්වල ගීත ගයමින් විදෙස්ගතව හිටියේ. ඒ නිසා මගේම නිර්මාණ කරන්න ලැබුණු සහ මම මටම කියලා නිර්මාණ කරගන්න වෙන් කරපු කාලය හරි අඩුයි. මම හරි ආසයි ට්‍රැවල් කරන්න. ඒ ඒ රටවල මියුසික් අහන්න සහ ෆැෂන් දකින්න ආස කෙනෙක්. ඒ නිසා වැඩි කාලයක් වෙන් වුණේ ඒ දේවල්වලට. මෙහෙ ආවම තමයි මට හිතුණේ මටම කියලා නිර්මාණත් කරන්න ඕනෙ කියලා. දැන් ආයේ මුල ඉඳන් මේ අවුරුද්දේ පටන් ගන්න හිතුවා.


බ්‍රෙන්ඩා රංගනයෙනුත් දායක වුණා නේද?


ඔව්, ටෙලි නාට්‍යයක රඟපෑවා. සීතල ගිනිදැල් ඒක අධ්‍යක්ෂණය කළේ ලකී ඩයස්. එයා ඇවිත් මගේ ෆෑන් කෙනෙක්. මගෙන් ඇහුවා ටෙලි නාට්‍යයක රඟපාන්න පුළුවන් ද කියලා. මම මුලින්ම බෑ කිව්වා. මොකද මම දන්නවා අපි සින්දු කියන්න ගියාම අපි සින්දු කියනවාම නෙවෙයි. ඒකට තියෙන නියමිත ස්වර සහ වේරියේෂන් එක්ක කරන්න ඕනේ දෙයක්. ඇක්ටින් කියන්නෙත් එහෙමයි. හදාරන්න ඕනේ දෙයක්. මම බැහැ කිව්වත් එයා කිව්වා මම ආසයි මගේ නිර්මාණයේ ඔයා ඉන්නවා නම් කියලා. ඒ නිසා මම රඟපෑවා.


එතැනින් එහාට රඟපාන්න හිතුනේ නැද්ද?


අම්මෝ නැහැ. ඒ කට්ට කන්න බැහැ ආයේ.


බ්‍රෙන්ඩා කියන්නේ ගායිකාවක් වගේම හොඳ චිත්‍ර ශිල්පිනියක්?


මේ ආභාෂය මට එන්නේ මගේ තාත්තාගෙන්. එයාට හොඳට චිත්‍ර සහ සින්දු කියන්න පුළුවන්. මමත් ස්ට්‍රෙස් නැති කර ගන්න පේන්ටින් කරනවා. මගේ FB එකේ මම ඒවා දානවා. සමහර ඒවා අලෙවි වෙලත් තියෙනවා. ගොඩක්ම මම ඒ දේවල් කරන්නේ මගේ මනස නිදහස් කර ගන්න.


ආදරේ දකින්නෙ කොහොමද?


ආදරේ හැම එක්කෙනෙක්ගෙන්ම ලැබෙනවා. අපිට දෙමාපියන්ගෙන් යාලුවන්ගෙන් හෝ පෙම්වතාගෙන් ලැබෙන ආදරේ එකිනෙකට වෙනස්. ඉතින් ආදරේ හරි හොඳ සුන්දර දෙයක්. එක වෙලාවකට නම් කරදරයක් වෙන සහ එපා වෙන වෙලාවල් තියෙනවා.


බ්‍රෙන්ඩා මේ වෙද්දී පෙම්වතියක් ද?


නැහැ. මගේ සංගීත ජීවිතේ හරිහැටි තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එක හරි අමාරුයි. ගොඩක් අය එන්නේ ජනප්‍රිය නිසා. ඒ නිසා හරි අමාරුයි හොඳ කෙනෙක් හොයා ගන්න.


ඒ කියන්නෙ බ්‍රෙන්ඩාට අයදුම් කරන්න පුළුවන්?


අනේ ඔව් අනේ, පුළුවන් නම් අයදුම්පත් දාන්න කියන්න.


මොනවගේ කෙනෙක්ද හොයන්නේ?


මේ ලංකාවේ නැති කෙනෙක්. සුද්දෙක් තමයි හොයන්නේ.


ඇයි ඒ?


ඒ අය හරි ඕපන් මයින්ඩට්. මම සංගීත ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. ඇත්තම කිව්වොත් ජනප්‍රිය අයගේ සෝෂල් මීඩියාවල ඉන්නෙත් රඟපෑමක් එක්ක. එහෙම නැතුව ඔය සෝෂල් මීඩියා වල ඉන්න විදියට නෙවෙයි ඒ අයගේ සැබෑ ජීවිතේ තියෙන්නේ. මගේ වුණත් එහෙමයි. මිනිස්සු පටල ගන්නේ ඔතැන. ඒ අය හිතන්නේ අපි සැබෑ ජීවිතෙත් එහෙමයි කියලා. ගොඩක් අය මාව දකින්නේ රෑ තිස්සේ එළියට යන උඩ පැනලා නටලා කරලා ඉන්න කෙනෙක් විදියට. නමුත් මම ආස අපේ අම්මා හදන එළවළු සහ බත් කාලා ගෙදරට වෙලා ඉන්න.


විදෙස්ගතව හිටිය ආයේ ආදරයක් මුණගැහුනේ නැද්ද?


ඒ කාලය මම වෙන් කළේ මගේ වැඩවලට. මම ඒ වෙද්දී ලොකුවට හිතුවේ නැහැ ඒ ගැන. මට ඕනෙ වුණේ ඒ ඒ රටවල අත්දැකීම ගන්න. මියුසික් කරන්න විතරයි.


බ්‍රෙන්ඩා හිටියේ මොන රටවල්වලද?


බහරේන්, ඕස්ට්‍රේලියා. කටාර් සහ ලන්ඩන්


ආයේ විදෙස් රටක බෑන්ඩ් එකකින් ඇරයුමක් ලැබුණොත් යයිද?


නැහැ. ඒක නම් එහෙම වෙන එකක් නැහැ. මම මේ ඉන්න “C Plus Band” එක මට වැඩ කරන්න ලැබුණු පහසුම බෑන්ඩ් එක. මම අවුරුදු හයක් වෙනවා සී ප්ලස් බෑන්ඩ් එක එක්ක වැඩ කරන්න අරන්. අපේ බෑන්ඩ් එකේ නායකයා වෙන්නේ චන්දුමාල් ප්‍රනාන්දු.


අනුෂා රණසිංහ





Previous Post Next Post