මෙහෙණියකගේ චරිතයක් කරන්න පුදුම ආසාවක් තියෙනවා-කුසුම් රේණු




මේ දිනවල විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ සහ සංසාරිනී ටෙලි නාට්‍යයන්ගෙන් මෙන්ම සිනමා නිර්මාණ කිහිපයකින්ම ඔබ හමුවට එන කුසුම් රේණු ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබන කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. සිනමාව, වේදිකාව, පුංචි තිරය පමණක් නොව හඬකැවීම් ශිල්පයෙන් දශක ගණනක් මුළුල්ලේ ප්‍රේක්ෂකයන් අතරට එන කුසුම් රේණු මෙවර  අප සමඟ අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ?


තරමක් කාර්යබහුලව කාලය ගෙවිලා යනවා. පසුගිය කාලයේම දේවී කුසුමාසන සිනමා නිර්මාණයේ කරලියැද්දේ බිසවගේ චරිතයෙන් (‍ෙදා්න කතිරිනා) රංගන කටයුතු සිදු කළා. මේ වනවිට එම නිර්මාණයේ වැඩ කටයුතු අවසන් වුණත් බාරගත් වැඩ කිහිපයකම රූගතකිරීම් මේ දිනවල සිදුවනවා.


මොනවද අලුත් වැඩ කටයුතු?


මේ දිනවල රංග බණ්ඩාරගේ දෙවඟනක් කළුවරේ නම් වේදිකා නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. මෙය අලුත්ම වේදිකා නිර්මාණයක්. ඒ වගේම රෝහණ දන්දෙනිය මහත්මාගේ රාස්ස පරාස්ස නම් නාට්‍යයේ නව නිෂ්පාදනය මේ වන විට ශ්‍රියන්ත කරගෙන යනවා. එම නිර්මාණයටත් මම රංගනයෙන් දායක වනවා. මේ නාට්‍ය පාසල් විෂය නිර්දේශයට අදාළ නිසා පාසල් දර්ශන රැසක් සිදු කරන්න වෙලා තිබෙනවා. මම රංගනයෙන් දායක වන සිහින ගෙනෙන කුමාරියේ සහ සංසාරිනී ටෙලිනාට්‍ය දෙකත් මේ දිනවල විකාශය වනවා.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද?


නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. වසර මුල නිසා වෙන්න ඇති, තවම ඒ නිර්මාණ පෙළ ගැස්වෙමින් තිබෙනවා.


ඔබ දක්ෂ හඬකැවීම් ශිල්පිනියක්. දැන් හඬකැවීම් කටයුතු කරන්නේ නැද්ද?


මම ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයේ ඇ ශ්‍රේණියේ නිවේදිකාවක් ලෙස කටයුතු කළා. 1976දී තමයි මම ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ. මෑත කාලයේදී ගුවන් විදුලියේ වගේම රූපවාහිනි නාළිකාවලත් මම හඬකැවීම් කටයුතු කළා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් හඬකැවීම් කටයුතුත් කරනවා. මගේ ජීවිතයේ විශේෂ මතක සටහන් කිහිපයක්ම හඬ කැවීම් කටයුතුත් සමඟ බැඳී තිබෙනවා. ඉතින් මම තමත් හඬකැවීම් කටයුතු නවත්වා නැහැ.


ඔබ බොහෝවිට ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ඓතිහාසික චරිත තුළින්. ඇත්තටම ඔබේ රංගනය රාමුවකට කොටුවෙලාද?


මගේ රංගන කටයුතු ආරම්භ වන්නේ  පාසලෙන් සහ දහම් පාසලේ. ඉතින් ඒ කාලයේ සිට අද වනතුරුම මම රඟපාලා නැත්තේ අනුලා දේවියගේ චරිතය විතරයි. ප්‍රසිද්ධ වේදිකාවට එන විට මගේ මුල්ම වේදිකා නාට්‍යයෙනුත් මට ලැබෙන්නේ රජ කුමාරියගේ චරිතය. ඒ වගේම සිනමා නිර්මාණ රැසකදීම මට ලැබෙන්නේ රජ බිසව, කුමරිය ඇතුළු රජ චරිත. මට ශ්‍රියන්තව මුණගැසෙන්නේත් ඓතිහාසික නාට්‍යයකින්. සයිමන් නවගත්තේගම


මහත්මයාගේ පණ්ඩුකාභය ටෙලිනාට්‍යයේ දීඝගාමිණී සහ උන්මාද චිත්‍රා යන චරිතවලට රඟපාන්න ලැබුණේ අප දෙදෙනාට. ඉතින් පොදුවේ ගත් විට මට ලැබුණු බොහෝ චරිත රජ චරිත. රජ චරිතවලින් මිදුණ පසු මට බොහොමයක් ලැබුණේ මන්ත්‍රි බිරියගේ චරිත. මෙවැනි පරාසයක තමයි මගේ චරිත බොහොමයක් දිව යන්නේ. ඉතින් මම හිතනවා මගේ ශරීර ලක්ෂණ නිසා මට මේ චරිත ලැබෙනවා ඇති කියලා. එක් පැත්තකින් මට හිතෙනවා මගේ චරිත එක් රාමුවකට කොටුවෙලා තිබෙනවා කියලා. මෙහෙණින් වහන්සේගේ චරිතයක් නිරූපණය කරන්න පුදුම ආසාවක් තිබෙනවා. මට තවම ඒ චරිතය කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. වෙලාවකට මට හිතෙනවා ඒ චරිතය සැබෑ ජීවිතයට ඉතුරු කරලා ද කියලත්.


ඔබ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?


මම මේ ගතවන මොහොත විශ්වාස කරන කෙනෙක් ලෙස කොවිඩ් වසංගතය පැමිණි කාලයේත් ටෙලි නාට්‍ය රූගතකිරීම් සිදු වුණා. පෞද්ගලිකව මමත් රූගතකිරීම්වලට සහභාගී වුණා. ඉතින් එතැන සිට මේ ක්ෂේත්‍රය දෙස බලන විට යම් යම් අර්බුද නිසා අපි හිතන මට්ටමට කලාව ගොඩනැඟිලා නැහැ කියන දුක අපට තිබෙනවා. කලාකරුවන් ලෙස අපි බලාපොරොත්තු වෙනවා මේ ක්ෂේත්‍රය මීට වඩා පුළුල් විය යුතුයි, විශ්වය සමඟ එකතු විය යුතුයි, රාජ්‍ය අනුග්‍රහය මීට වඩා නිර්මාණ කටයුතුවලට ලැබිය යුතුයි කියලා. එක් අතකින් එහෙම දැනුණත් මොන බාධක ආවත් කලාව නමැති මාධ්‍ය නතර නොවී ඉදිරියට ගලා යෑම ගැන සතුටක් තිබෙනවා.


පුංචි තිරය සහ රිදී තිරයේදී ඔබට නවක නළු නිළියන් සමඟ වැඩ කරන්නට ලැබෙනවා. ඉතින් මේ පිරිසත් එක්ක වැඩ කරන එක මොනවගේ අද්දැකීමක්ද?


ඇත්තටම මට ඒ දරුවන් හරිම ආදරණීයයි. හරිම හොඳයි. ඔවුන්ට දුකක් කරදරයක් ඇතිවුණාම ඇයි පුතේ මොකද වුණේ කියලා අපි දුක සැප බෙදා ගන්නවා. ප්‍රශ්න විසඳා ගැනීමට මට පුළුවන් මට්ටමෙන් මම බොහෝ උදවු කරනවා. මට මගේ තරුණ කාලය වගේම මගේ දරුවන්ගේ තරුණ කාලය මතකයි. දරුවන් කියන හැඟීම ගැන මම දන්න නිසා මට ඒ අය කරන පිස්සු වැඩ දැක්කම සිනහවෙන්න පුළුවන්.


ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඔබ  රංගන ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට සම්මාන ලැබීම ගැන මොකද හිතන්නේ?


සම්මානයක් කියන්නේ විශේෂ දෙයක්. අපි ඒක ඉල්ලලා ගන්න දෙයක් හෝ  මුදල් දීලා ගන්න දෙයක් නෙවෙයි. තව කෙනෙක් ඇගයීමක් කරලා දෙන දෙයක්. ලකුණෙන් දෙකෙන් එහා මෙහා වෙන සෑම කෙනකුටම සම්මාන ලැබෙනවා නම් හොඳයි කියලා රංගන ශිල්පිනියක් ලෙස මට හිතෙනවා. මොකද මම දන්නවා ඔවුන් ඒ වෙනුවෙන් දරන වෙහෙස කොපමණද කියලා. වැඩි ප්‍රමාණයකට සම්මාන ලබාදෙන්න පුළුවන් නම් මම හරිම කැමැතියි. ඇත්තටම ඒක මගේ පෞද්ගලික මතය. මම දන්නෙ නැහැ එය කෙතරම් දුරට සාර්ථකද අසාර්ථකද කියලා.


ඔබේ කාලයේ බොහෝ දෙනා අධ්‍යක්ෂණයට යොමු වෙලා.  ඉතින් ඔබ අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහසක් නැද්ද?


අධ්‍යක්ෂණයට යොමු වන්න මගේ කිසිම අදහසක් නැහැ. මගේ වයසත් එක්ක මම ඒ සඳහා යොමු වෙන්න කැමැත්තක් නැහැ. කාර්යබහුල ජීවිතයකට වඩා විවේකීව කාලය ගත කරන්න මම බලාපොරොත්තු වෙනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කතා කළොත්?


මගේ පවුල දරුවන් හය දෙනකුගෙන් යුතු පවුලක්. ඉතින් අපි හය දෙනාගෙන්ම මගේ තාත්තා සෑමදාම කළ ඉල්ලීමක් තිබුණා. ඒ තමයි පුතේ මනුස්සයෙක් වගේ ඉපදුණ ඔයා කවදා හරි මිය යන්න ඕනේ දෙවි කෙනෙක් වගේ. ඒකට මගේ අම්මා සෑමදාම සිනහවෙලා ඔළුව වැනුවා. ඒ වගේම මගේ අම්මා මිය යන්න මොහොතකට කලින් මට කිව්වා මගේ ඔය දරුවා බුදුවෙන්න පෙරුම් පුරණ දරුවෙක් කියලා. අම්මා කෙනෙක්ගෙන් දරුවෙක්ට ඒ වගේ දෙයක් අහන්න ලැබෙනවා කියන්නේම ලොකු දෙයක්. ඉතින් මම අම්මගෙන් එහෙම අහන්න තරම් වාසනාවන්ත දරුවෙක් වුණා. ඉතින් මගේ එකම බලාපොරොත්තුව යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වන එක.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post