අපේ දේවල් තව ප්‍රමිතිගත වුණා නම් හොඳයි-ගම්‍යා විජයදාස




ඇය රූ රැජනකි. උපතින්ම ගෙනා රූමත්කමද, නර්තනයේ හා රංගනයේ සුහුරු හැකියාවද හේතුවෙන් ඉන්දියානු සිනමාව තුළ පවා තම දක්ෂතා පෙන්වීමට සමත් වූ ඇය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහ කරන්නේ 1970 ලව් ස්ටෝරි චිත්‍රපටය හේතුවෙනුයි. නමින් ගම්‍යා විජයදාස වන ජනප්‍රිය රංගන ශිල්පිනිය මඟින් කළ කතාබහයි මේ. 


මේ දවස්වල තොරතුරු ටිකක් කියලම පටන් ගමු?


මේ දවස්වල මගේ කලා කටයුතුත්, ව්‍යාපාර කටයුතුත් දෙකම කරගෙන යනවා. ටිකක් කාර්යබහුල දවස් කිහිපයක්. විදෙස්ගත වෙලා හිටියා. ඒ වැඩත් තිබුණා.


 1970 ලව් ස්ටෝරිවලට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


1970 ලව් ස්ටෝරි එකට ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් සහ අපේ සිනමා කර්මාන්තය ඇතුළේ අයගෙනුත්, රංගනය පිළිබඳව සහ සමස්ත චිත්‍රපටය පිළිබඳවත් හොඳ ප්‍රතිචාර තමයි තිබෙන්නේ. හොඳ චිත්‍රපටයක් කියන එක හැමෝම කියනවා. ඒ වගේම මගේ චරිතයේ තිබෙන අභියෝගාත්මක කොටස් හොඳින් කරලා තිබෙනවා. චරිතයට සාධාරණයක් කරලා තිබෙනවා කියන එක අහන්න ලැබෙනවා. ඒක ගොඩක් සතුටුදායක දෙයක්.


කාලයකට පසුව ඔබ නැවතත් කලාව තුළ සක්‍රිය වෙලා, ඉදිරියේදී දිගටම කලා කටයුතුවල නියැළෙනවද?


මගේ ජීවිතයේ කලාව කියන දේ සුවිශේෂී අංගයක්. මම ඉතාම කුඩා කාලයේ ඉඳන් තමයි නර්තනයටත්, රංගනයටත් යොමු වුණේ. සංගීතයත් කාලයක් තිස්සේ හදාරලා පසුව නර්තනයටත්, රංගනයටත් මූලිකත්වය දුන්නා. කලා හැකියාවන් දීර්ඝකාලීනව තිබිලා තිබෙනවා. මම චිත්‍ර හා ඇඹීම් කටයුතුවලටත් දක්ෂයි. මම හිතන්නේ මගේ  කලා හැකියාවන් ආත්මීය බැඳීමකින් එන දෙයක් කියලා. ඊට අමතරව අධ්‍යාපනික පසුබිම ගියේ වෙන පැත්තකින්. ඒ මොන දේ ස්ටඩි කළත් කලාව තමයි දිගින් දිගටම මගේ ජීවිතය තුළ දිවෙන දේ. දිගටම ඒ කටයුතුවල නියැළෙයි කියලා මම විශ්වාස කරනවා.


මීට බොහෝ කාලයකට පෙර ලංකාවෙන් බොලිවුඩයට ගිය ශිල්පිනියක් ඔබ, ඒ අත්දැකීම් ගැන මතක් කළොත්?


ලංකාවෙන් ශිල්පිනියක් විධියට ඉන්දියාවට ගිහින්, ඉන්දියාවේ අවුරුදු ගණනාවක් වැඩ කළා. ඒ වගේම එහේ භාෂාව හදාරලා, රංගනය, නර්තනය හදාරලා මේ සියලු දේ මම කළා ඇත්තටම. ඉතාම ප්‍රවීණ පුහුණුකරුවන් යටතේ ඉන්දියාවෙන් ෆෝමල් ඇක්ටිංග් ට්‍රේනිං එකක් අරගෙන තමයි මම රංගනයට පිවිසුණේ. උර්දු, හින්දි භාෂා හැදෑරුවා. දමිළ භාෂාව, තෙලිඟු භාෂාව, කණ්ණඩ භාෂාව වැනි භාෂා එක්ක වැඩ කරන්න ලැබිලා තිබෙනවා විවිධ තැන්වලදී. ඉන්දියාවේ ඒ අත්දැකීම ශිල්පිනියක් වශයෙන් පන්නරය ලබන්න ලොකු හේතුවක් වුණා. විශේෂයෙන් ලංකාවට එනකොට වුණත් ඒ පුහුණුව හා අත්දැකීම් මම මෙහේ කරන වැඩ තියුණු කරගන්න ගොඩක් උදවු වුණා කියලා මම හිතනවා.


දායක වී තිබෙන නිර්මාණ සංඛ්‍යාව අතිශය සීමිත වුණත් ඔබේ ජනප්‍රියත්වය ඉහළින්ම තිබෙනවා. ආරම්භයේ පටන් මේ වනතෙක් ජනප්‍රියත්වය එක ලෙසම රඳා පවත්වා ගැනීමේ රහස මොකක්ද?


මම ඇත්තටම ප්‍රසිද්ධිය කියන දේට එච්චරම කැමැති කෙනෙක් හෝ ඒක පස්සේ පන්නපු කෙනෙක් නෙවෙයි. මම එන්නේ අධ්‍යාපනික පවුල් පසුබිමකින්. අධ්‍යාපනයට හා ආධ්‍යාත්මයට මුල්තැන දුන් පවුල් පසුබිමකින්. පුද්ගලයෙක් වශයෙන්, මනුෂ්‍යයෙක් වශයෙන් කොහොමද දියුණු වෙන්නේ, කොහොමද උපරිමට හොඳ පුද්ගලයෙක් වෙන්නේ කියන දේට තමයි මගේ පවුල් පසුබිම තුළ වඩාත් දිරිමත් කළේ. මට තිබෙන්නේ ඒ පුරුද්ද. රංගනය වුණත් මේක මම වෘත්තීය හැටියට හෝ මම කැමැති දෙයක් හැටියට කරනවා මිස ප්‍රසිද්ධිය කරා යෑමේ මාර්ගයක් කරගෙන නැහැ කවදාවත්. මට ඒක නෙවෙයි වැදගත්. හොඳ නිර්මාණවලට දායකත්වය දීම, මම කරන කාර්යය තුළ පරතෙරට යෑම සහ මම කරන කාර්යය තුළ අවංක වීම, ප්‍රොෆෙශනල් වීම සහ එක්සලන්ට් වීම තමයි මගේ උත්සාහය. ජනප්‍රියත්වය මට ඉබේම ලැබුණු දෙයක්. ප්‍රසිද්ධියට වඩා මට තිබෙන්නේ ජනප්‍රියත්වය. මාව ජනයාට ප්‍රියයි. ඒක ලොකු භාග්‍යයක් හැටියට සලකනවා මම. ප්‍රසිද්ධියට වඩා මම කැමැතිත් ඒ ජනයාට ප්‍රිය වීම සහ විශේෂයෙන් ගෞරවනීය චරිතයක් වීම ජීවිතයේ අවසානය දක්වා.


ලංකාවෙන් එළියේ වෙනත් රටවල විනෝදාස්වාද කර්මාන්තය දැකපු කෙනෙක් විධියට අපේ රටේ කලාව ගැන ඔබේ අදහස මොකක්ද?


අපේ රටේ කලාව වෙනත් රටවල විනෝදාස්වාද කර්මාන්තයට වඩා වෙනස්. අපේ සිනමාවේ රිද්මය වෙනස්. ඉතිං අපි උත්සාහ කරන්න ඕනා අපේ කර්මාන්තය තුළ තිබෙන අනන්‍යතාව, විශේෂ ලක්ෂණ රැකගෙන දේවල් තව ප්‍රමිතිගත කිරීමට. එතකොට අපිට කර්මාන්තයක් හැටියට අපේම විධියකට තව දියුණු වෙන්න, ඉදිරියට යන්න පුළුවන් වෘත්තීය මට්ටමක් හදන්න පුළුවන්. මේක තුළ රැකියා කරන අයගේ ජීවිත තව අංගසම්පූර්ණ කරන්න පුළුවන්. මම හිතන්නේ ඒකයි විය යුත්තේ. මම දකින වෙනසත් ඒකයි. අපේ දේවල් තව ප්‍රමිතිගත වෙන්න ඕනා කියලා මම හිතනවා. යම්කිසි සිස්ටම් එකක් ඇතුළේ අපිට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනා. ඒ වගේම තව මූල්‍යමය ආයෝජන වැඩි වෙලා, විවිධ දිශානතිවලට ‍ෙදාරවල් විවර වෙලා, විවිධ මත හා අදහස් තිබෙන නිර්මාණශීලී පුද්ගලයන් මේකට ඇතුළු වෙලා ඒ අයගේ නිර්මාණශීලීත්වයත් විවර විය යුතුයි.


ඔබ රංගනයට එකතු වෙන්නේ රූ රැජනක් ලෙසින්, දැන් නිරූපණ කටයුතු අතහැර දමලාද?


මම අදටත් නිරූපණ කටයුතුවල යෙදෙනවා. ගොඩක් ව්‍යාපාර සන්නාමයන් සමඟින් මම වැඩ කරනවා. දේශීය, විදේශීය දෙකම. නමුත් මම කවදාවත් නිරූපණ ශිල්පිනියක් විධියට වෘත්තීය ජීවිතය ගත කළේ නැහැ. රංගන ශිල්පිනියක් හැටියට ලැබෙන නිරූපණ කාර්යයන් තමයි මම කළේ. ඒක දිගටම කරගෙන යනවා.


OTT ප්ලැට්ෆෝම් සමඟින් ලෝකයේ කලාව ඉතාමත් දියුණු වෙලා. නමුත් අපේ රට තවමත් ඒ තැනට ඇවිත් නැහැ. ඒ ගැන ඔබේ අදහස?


OTT ප්ලැට්ෆෝම් ලෝක කලාව අපේ අල්ලට අරගෙන එනවා. ඒ නිසාම විවිධ දේ දකින්න, විවිධ සංස්කෘතීන් අත්දකින්න, විවිධ නිර්මණ ඇසුරු කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපි ඉස්සර ඒ ආභාසය ලැබුවේ පොත්වලින්. දැන් අපිට මේ ප්ලැට්ෆෝම් හරහා සිනමාවත් හරිම පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. ලංකාවේ මම කලින් සඳහන් කළ ආකාරයට ප්‍රමිතිගත වීමත් එක්ක ඒ ප්ලැට්ෆෝම්වලට යන්න පුළුවන් නිර්මාණ කරන්න පුළුවන්. ඇත්තටම ඉන්ඩස්ටි්‍ර එක ගොඩනඟන්න පුළුවන් වෙන්නෙම හොඳ නිර්මාණකරණය තුළින්. ඒක තමයි මම දකින මාර්ගය.


ඔබ නර්තනය ගැන හැදෑරීම් කළ කෙනෙක්, ඒවායෙන් වැඩක් ගන්න අදහසක් නැතිද?


නර්තනය මගේ ජීවිතයේ පළමුවැනි ආදරය කිව්වොත් නිවැරැදියි. මගේ ජීවිතයේ මා ගොඩක්ම කැපවුණේ නර්තනය වෙනුවෙන්. විශේෂයෙන් ශාරීරිකව ලොකු කැපකිරීම් කරලා පුහුණුවීම් කරලා තමයි මම නර්තනය හැදෑරුවේ. ජීවිත කාලෙම ඒ පසුබිම වැදගත් වෙනවා හැම දේකටම. දැන් 1970 ලව් ස්ටෝරි ගත්තොත් ඒක තුළත් නර්තනය තිබෙනවා. නැටුමක් වුණත් හොඳ ප්‍රමිතියකින් කරන්න ඕනා. මගේ ගුරුවරුන්ට හා මගේ පුහුණුවට පින් සිද්ධවෙන්න මගේ නර්තනය ඒ ප්‍රමිතියෙන් කරන්න මට පුළුවන් වෙලා තිබෙනවා. ශිල්පිනියක් හැටියට අපිට නර්තනයක් දුන්නම ඒක සියයට සියයක් නිවැරදිව ස්ක්‍රීන් එකට එන්න ඕනා. මම හිතනවා ඒක මම කරලා තිබෙනවා කියලා. නර්තනය හැදෑරීම තුළින් ඇවිදින එක, ඉඳගන්න එක, හැසිරෙන එක, කතාකරන එක දක්වාම ඒ පුහුණුව, ලාලිත්‍යය තිබෙනවා. ඒක දැන් මට බද්ධ වෙලා තිබෙන්නේ.


ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ මොනවාද?


ඉදිරියට එන්න නිර්මාණ කිහිපයක්ම තිබෙනවා. මම කරපු චිත්‍රපටයක් එන්න තිබෙනවා. මගේ පළමු ටෙලි නාට්‍යය චණ්ඩි කුමාරිහාමි මේ දිනවල විකාශය වෙනවා. ඊට අමතරව තව අලුත් චිත්‍රපට දෙකක වැඩ ආරම්භ කරන්න නියමිතයි. ඊට අමතරව මම කරපු කෙටි චිත්‍රපටයක් තිබෙනවා. ඒකත් පබ්ලික් ඕඩියන්ස් එකට රිලීස් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post