කලූට ලැබුණු සම්මානය ගැන නලින් ලුසේනා කියපු කතාව




ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ රංගන ශිල්පියෙකි. තමන්ට හමුවන චරිතවලට තම උපරිම දායකත්වය සපයමින් ප්‍රේක්ෂක සන්තානය කලඹන මෙම රංගන ශිල්පියා මෙවර සුමති සම්මාන උළෙලේදී 2023 වසරේ නැඟී එන රංගන ශිල්පියා සම්මානයෙන් පිදුම් ලැබුවා. අද  එක් වන්නේ රංගන ශිල්පී නලීන් ලුසේනා. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මෑතකදී මම අශෝක හඳගම කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ නවතම චිත්‍රපටය සමඟ සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් පසුගිය දිනක නිමා වුණා. ඒ වගේම මම මේ දිනවල අලුත් පිටපතක් රචනා කරමින් සිටිනවා. මේ දිනවල ලිවීමට වැඩි බරක් ලබා දෙමින් කාලය ගෙවී යනවා.


ඔබ මෙවර සුමති සම්මාන උළෙලේදී 2023 වසරේ නැඟී එන නළුවා සම්මානයට පාත්‍ර වෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස?


වසරේ නැඟී එන නළුවා ලෙස සම්මානයට පාත්‍ර වීම පිළිබඳව සතුටුයි. ඇගයුමක් කියන දෙය අපේ වෘත්තියෙන් පිට තිබෙන දෙයක්. වෘත්තිය තුළ අපේ ප්‍රධාන කාර්යය වෙන්නේ නිර්මාණකරණයේ යෙදීම සම්මානයට පාත්‍ර වීම පිළිබඳව මට තිබෙන්නේ සතුටක්.


ඔබ ඒත් මම පණ පිටින් සඳමාලි මිනි සීරීස් එකට තිරපිටපත් රචනයෙන් සහ රංගනයෙන් දායක වෙනවා. මිනි සීරීස් ගැන ඔබට මොකද හිතෙන්නේ?


මම කාලයක පටන් රචකයෙක් විධියට පුහුණුවක යෙදෙමින් සිටිනවා. මම වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයක්ම රචනා කර තිබෙනවා. ඒ පුහුණුව මට තිබෙනවා. මම ලියන්න කැමැතියි.  සඳමාලි සඳහා තිරපිටපත ලියන්න මට ආරාධනා කළේ ශ්‍යාම් අයියා. මිනි සීරීස් තුළ තිබෙන්නේ චිත්‍රපටයකට කිට්ටු ස්වභාවයක්. මිනි සීරීස් තුළ වැඩිය දිගට අදින්නේ නැතුව කතාවේ උච්චතම අවස්ථා තබාගෙන ප්‍රේක්ෂකයා සමඟ ගනුදෙනු කරන්න වෙනවා. රචනාමය විධියට ගත්විට කොයි කතාවත් එකයි.


ඔබ අධ්‍යක්ෂණය කළ Miss You කෙටි චිත්‍රපටය ගැන කතා කරනවා නම්?


මෙය තමයි මගේ පළමු අධ්‍යක්ෂ අත්දැකීම. නිම්න දෙව්පුර තමයි මෙය රචනා කළේ. නෙරුන් කල්පජිත් තමයි මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදු කළේ. අපි කණ්ඩායමක් විධියට එක් වෙලා තමයි මේ වැඩේ කළේ. නිම්නට අවශ්‍ය වුණේ අපි තවත් කෙනෙක්ට ආදරය කරන විට රටාවන්වලට මොනතරම්  පුරුදු වෙනවද කියන එක ගැන පෙන්වා දෙන්න.  අපි කෙනෙක්ට පෙන්වන ආදරය සහ ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද කියන එක ගැන අපි මේ තුළින් කතා බහ කළේ.  ආදරය කියන දෙය තමන් ගාව තිබෙන දෙයක්. ඒක අපි අනෙකෙක්ට ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඇත්තටම ආදරය කරන විට අපි ඔප්පු කරන්න ඕනද කියන එක ගැනත් අපි කතා කළා. ආදරය කියන දෙය එහෙම ඔප්පු කරන්න ඕන නැහැ කියලා මම සිතනවා.


නොකියා හිටපු දෙයක් කෙටි නාට්‍ය සහ ලාංකික කෙටි නාට්‍ය පිළිබඳව ඔබේ අදහස?


නොකියා හිටපු දෙයක් මම නිර්මාණය කළේ 2019. එයට රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රචනය කියන සම්මාන ලැබුණා. මම මෙහි කතාබහ කරන්නේ මිනිසුන් විධියට අපි ආදරයට, පවුලට සහ අනෙකාට වගකිව යුත්තේ මොන විධියටද කියන දෙය ගැන. මිනිසුන්ගේ සංකීර්ණතාවන් වගේම ඇත්ත සහ බොරුව අතර මිනිසුන් විධියට අපි ඉන්නේ කොතැනද කියන දෙය ගැන තමයි මේ නිර්මාණයෙන් කතා කරන්නේ. කෙටි නාට්‍ය කියන දෙය ලංකාවේ ඉතා හොඳට තිබෙන දෙයක්. එය අනූව දශකයේ මුල පටන්ම විවිධ ලෙස තරුණ පරම්පරාවන් විසින් පෝෂණය කළා. කෙටි නාට්‍ය සමඟ විශාල තරුණ පිරිසක් ඒකරාශිවෙමින් සිටිනවා. මට ජගත් අයියව මුලින්ම හමු වෙන්නේ කෙටි නාට්‍යක් බලන්න ආපු වෙලාවක. හැම පරම්පරාවක්ම ඒ මාධ්‍ය සමඟ එක් වුණා. නවක පරපුර ගොඩක් ඒ සමඟ වැඩ කරනවා.


ඔබ රංගනය සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන ඇකඩමිකව මැදිහත්වීම පිළිබඳව කතා කරමු?


කැලණිය විශ්වවිද්‍යාලයෙන් තමයි මම නාට්‍ය හා රංග කලාව පිළිබඳව ශාස්ත්‍රපති සහ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කරන්නේ. මම ශ්‍රී පාලි මණ්ඩපයේ බාහිර සහ තාවකාලික කථිකාචාර්යවරයෙක් ලෙස වසර හතක් කටයුතු කළා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයෙක් ලෙස මම කටයුතු කළා. මම වසර අටක් පමණ විශ්වවිද්‍යාල සමඟ වැඩ කළා. මම රංගනය සම්බන්ධ විවිධ පාඨමාලාවන්ට සම්පත් දායකයෙක් ලෙස එක් වෙනවා. මට ගුරුවරයෙක් ලෙස අත්දැකීමක් රාශියක් තිබෙනවා. රංගනය හදාරන්න කැමැති පිරිස් සමඟ මගේ හැකියාවන් මම බෙදා ගන්නවා.


කොඩි ගහ යට කළුෑගේ චරිතය ඉතා සංකීර්ණ චරිතයක්. එයට පණ පෙවීමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?


 මේ චරිතය නිර්මාණය වීමට බලපෑවේ අධ්‍යක්ෂවරයාගේ සහ තිරපිටපත් රචකයාගේ අදහස්. ජගත් අයියා තමයි මට කිව්වේ මෙන්න මේ වගේ චරිතයක් තමයි මට ඕන කියලා. අධ්‍යක්ෂවරයාට මාව මේ චරිතයට ගන්න තැන ඉඳලා ලොකු අදහසක් තිබුණා මේ චරිතය නිර්මාණය වෙන්න අවශ්‍ය කොහොමද කියන එක ගැන. ඒ නිසා මේ චරිතය එක්ක මට ලොකු අභියෝගයක් තිබුණෙ නැහැ. මට අභියෝගයක් බවට පත් වුණේ එයට ප්‍රවේශයක් ගන්නේ කොහොමද කියන එක ගැනයි. අධ්‍යක්ෂවරයෙක්ට අදහසක් තිබුණම නළුවෙක්ට හරිම පහසුයි ඒ දෙය ඉටු කරන්න.


කළුෑව නිර්මාණය කරද්දී මම පහසුවෙන්ම එයාව නිර්මාණය කළා. මට චරිතයක් කරන්න අපහසු වෙන්නේ මම මොකක්ද කරන්න ඕන කියන දෙය පිළිබඳව අදහසක් නොමැති වූ විටයි. මේක මට හරි පහසුයි. මට කළුෑ ලොකු චැලේන්ජ් එකක් බවට පත් වුණේ නැහැ. ඒක ගොඩක් ලොකුවට දේවල් කල්පනා කර කර නිර්මාණය කළේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ අපි ඔහේ ගැහුවා කියලා. අපි අදාළ දේවල් අදාළ විධියට කළා. කළුෑව විශාල වෙලා පෙනෙන්නේ අනෙක් නළුවන් ඔහුව කිසි විටෙකවත් පහත් කරන්නේ නැති නිසා. විශේෂයෙන්ම අසේලගේ චරිතය කළ ෂේවියර් කණිෂ්ක මේ චරිතයට විශාල සහයෝගයක් ලබා දුන්නා. මේක මමම කරපු වැඩක් විධියට මම දකින්නෙ නැහැ.


ගිහාන් සචින්ත



Previous Post Next Post