මම තනියම ඉන්න යකඩ ගැහැනියක් - අයේෂා දිසානායක




අයේෂා දිසානායක කියන්නේ වේදිකාව මතින් බිහි වුණු පුංචි තිරයත් තමන්ට නතු කරගත් දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල හැමෝම අතරේ වැඩි කතාබහකට ලක් වෙලා ඉන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කරනු ලබන සල්ලි පොකුරු හි සුභා ලෙසින්. එමෙන්ම දිව්‍යාදරී හි දීප්ති වගේම නීල පබළු හි රිද්මා ද ඇයමයි. පුංචි තිරයේ විවිධ චරිත මවන ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ නාට්‍ය රංග කලා විෂ්‍ය උගන්වන්නීය. ගුරුවරියක් රංගන ශිල්පිනියක් ලෙසින් ගෙවන ජිවිතේ ගැන කතාබහයි මේ…


කොහොමද මේ දවස් වල ජිවිතේ?


මගේ ජිවිතේ මම ගෙවන කාර්යබහුලම කාලය මේක කිව්වොත් හරි. මේ වෙනකොට ටෙලි නාට්‍යය තුනක් විකාශය වෙනවා. මගේ පාසල අලුත් වුණා. දැන් අලුත් පාසලේ වැඩත් එක්ක මට නිවාඩු ගන්න ඉඩක් ඇත්තෙම නැහැ. ඒකත් එක්ක කාලය කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. මොකක් ද මම දැන් දෙගිඩියාවෙන් මේ කාලය ගත කරන්නේ. කොයි විදියකින්වත් නිවාඩු බ්ලැන්ස් කර ගන්න බැරුව ඉන්නේ.


මෑත කාලයේ පුංචි තිරයේ නිර්මාණ අතරත් ඔබව වැඩියෙන්ම දකින්න ලැබෙන කාලය?


ඔව්. මේක තමයි මගේ වැඩියෙන්ම වැඩ යන කාලය. ප්‍රේක්ෂකයාට මාව වැඩිපුර සමීප වෙන කාලය. ඒ හින්දම තව තව නිර්මාණ වලට මට කතා කරනවා. කාලය කළමනාකරණය කර ගැනීමේ අපහසුතාව මත සමහර වැඩ දුකෙන් හරි මට අතහරින්න වෙනවා. මම දන්නවා ආයෙමත් මට ඒ අවස්ථා එන්නේ නැහැ කියලා. අපේ ජිවිත ගත්තම ඕනෙම කෙනෙක්ගේ වැඩ කරන්නේ එක කාලයකට. සමහර වෙලාවට අපි හිතනවා මෙච්චර කරත් පත්තු වෙන්නේ නැත්තේ ඇයි කියලා. හැබැයි පත්තු වෙන කාලයක් තියෙනවා. අපිට වැඩ එන්නේ අපේ හොඳ කාලයට.


මේ කාලයේ එකිනෙක චරිත වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මට ලැබෙන්නේ එකිනෙකට වෙනස් චරිත. ඒ ඇත්තටම රංගන ශිල්පිනියකට හොඳ දෙයක්. ප්‍රේක්ෂකයින් මට දෙන ප්‍රතිචාර තමයි අපිට තියෙන උත්තේජනය. ඔයාට ඕනේ චරිතයක් කරන්න පුළුවන් ගැමි චරිතයක් වුණත් කියද්දී, මම කියන්නේ ඔව් ඉතින් මම ගමේ කෙනෙක්නේ කියලා. නාගරික චරිත වුණත් මට හොඳින් කරන්න පුළුවන්. සල්ලි පොකුරු හි සුබා කියන්නේ ලොකු ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. මම බැන්දත් මට ඒ ළමයි ඉන්න විදියක් නැහැ. හැබැයි ඒ චරිතය මට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ හැකියාව මට වේදිකාවෙන් ලැබුණු ශක්තිය වෙන්න ඇති.


මේ කාලයේ වේදිකාවෙන් ඈත් වෙලාද?


වේදිකාවට සෑහෙන්න ආරාධනා ආවා. අන්තිමට රඟපෑවේ බුද්ධික දමයන්තගේ බෝනික්කි ගෙදර 2 නාට්‍යයේ. මේ මොහොතේ මගේ යාළුවො දෙතුන් දෙනෙක් එක්ක හොඳ වැඩක් ලෑස්ති කරමින් යනවා. ඒක වෙන විදියේ වැඩක් වෙයි. එය ළඟදීම එළියට දාන්න ඉන්නේ. වේදිකාව අතහරින්නේ නැහැ කවදාවත්. වේදිකාව එක්ක දිගටම ඉන්නවා.


ගුරුවරියක් වෙන්නද, රංගන ශිල්පිනියක් වෙන්නද හින මැව්වේ


ගුරුවරියක් වෙන්න. හැබැයි දැන් මම නාට්‍යය හා රංග කලාව උගන්වන්නේ. මට ඕනේ වෙලා තිබ්බේ නැටුම් ගුරුවරියක් වෙන්න. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට මම තේරුණේත් නැටුම් අංශයෙන්. ඒ කාලේ මම ටවර් හෝල් නාට්‍යය පාසලට ගියා. එතැනදී මට හමුවුණු ගුරුවරුන්ගෙන් මට කිව්වෙම විශ්ව විද්‍යාලයේ නාට්‍යය හා රංග කලාවම කරන්න කියලා. ඒනිසා නැටුම් කියන එක අතහැරලා දාන්න වුණා. දැන් සමහර වෙලාවට ගුරු වෘත්තීය තුළ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා වලදී හැමෝම කියන්නේ ඔයා නැටුම් කරන්නකෝ කියලා. ඒක තවමත් හිතේ යට කොහේදෝ තියෙනවා.


ගුරුවරියක් නිසා දරුවන්ගෙන් ඔබ කරන චරිත වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මුල් කාලයේ නම් ටිකක් අමාරු වුණා. පොත් උස්සගෙන අත්සන් කරලා දෙන්න ටීචර් කියාගෙන ළමයි ආවා. ඒ ආදරේ සහ මම පාසලට අලුත් නිසා බොහොම පරිස්සමෙන් වැඩ කරන්න වුණා. දරුවන් එක්ක ගනුදෙනු කරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ අය මගෙන් චරිත ගැන අහද්දී මම බොහොම කෙටියෙන් උත්තර දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒ අයගෙත් හිත නොරිදෙන්න. නැත්නම් මේ අංශ දෙක බ්ලැන්ස් කර ගන්න අමාරුයි. පාසල් ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී මම රංගන ශිල්පිනියක් නෙවෙයි මම ගුරුවරියක්. එතකොට හරි ලේසියි මේ ගනුදෙනුව.


ගුරු වෘත්තියට ඇවිත් අවුරුදු කීයද?


අවුරුදු 12යි.


රංගනයට ඇවිත් කොච්චර කල් ද?


මම ආවේ 2002 දී.. ඒ කියන්නේ දැන් අවුරුදු 22ක් විතර.


*මේ කාලය තුළ කළ කි නිර්මාණ ගැන තෘප්තිමත් ද?


නැහැ. ඒකට හේතුව. රංගන ශිල්පිනියක් විදියට එළියට එන්න තිබ්බ හොඳම කාලයේ තමයි මම ගුරු වෘත්තීය තෝරා ගන්නේ. ගුරු වෘත්තීය ඇතුළේ සීමා මායිම් තියෙනවා. ඒක මේ ගුරු වෘත්තීය ඇතුළෙම තියෙන දෙයකට වඩා එළියේ අය අපිව දකින විදිය එක්ක සමහර දේවල් අපිට අතහරින්න වුණා. ඒ නිසා ගුරු වෘත්තීය නිසා සෑහෙන්න දේවල් අතහැරියා. අද වෙද්දී ගුරු වෘත්තිය ගැන තෘප්තිමත්. නමුත් රංගන ශිල්පිනියක් විදියට තෘප්තිමත් වෙන්න බැරි මට මාව එළියට දාන්න පුළුවන් සමහර වැඩ මට කරන්න බැරුව ගියා. තව සමහර වෙලාවකට හිතෙනවා මගෙන් වැඩ ගත්තේ නැහැ කියලා. මාව හරියට හඳුනාගෙන නැහැ කියලා හිතෙනවා. වේදිකාව තුළ නම් මාව හරි හැටි වේදිකා නාට්‍යය අධ්‍යක්ෂ හඳුනා ගත්තා. නමුත් මුල් කාලයේ පුංචි තිරයේ එහෙම වුණේ නැහැ. දැන් ලැබෙන වැඩ ඇතුළේ නම් මාව නියෝජනය වෙනවා. ඒ නිසා මට තෘප්තිමත් වෙන්න බැහැ. අද වෙද්දී අයේෂා දිසානායක කිව්වම දන්නෝ දනිති. සමහරු නොදනිති.


අයේෂා ගුරුවරියක් නිසා විලාසිතා කරද්දී සමාජයෙන් අපහසුතාවට පත් වෙලා තියෙනවද?


මම දන්නේ නැහැ මම කොයි විදියට මේකට උත්තර දෙන්නද කියලා. උත්තරයක් තියෙනවා මගේ ළඟ. මම කතා කරන්නේ සමස්ත සමාජයට නිසා මේක කියවන අය කොහොම තේරුම් ගනීද කියන්න මම දන්නේ නැහැ. අපි ජිවත් වෙන්නේ පුංචි කාලයයි. ගුරු වෘත්තීය කියන්නේ මගේ රස්සාව. හැබැයි රැකියාව සහ පෞද්ගලික ජිවිතේ කියන්නේ දෙකක්. ඕක ගොඩක් අය පටලවා ගන්නවා. පාසල් වේලාවෙන් පස්සේ මට මගේ ජිවිතයක් තියෙනවා. අනිත් ඕනෙම වෘත්තියක නියැළෙන අයට ඒ නිදහස තියෙනවා. දරුවන්ට මඟ පෙන්වන අය විදියට අපි තුළ විනයක් තියෙන්න ඕනේ. ඒක හරි. මේ පද්ධතිය ඇතුළේ නෙවෙයි එළියේ මිනිස්සු හරි ආසයි අපිව සාම්ප්‍රයික අපිටත් මුල් කාලයේ හමුවුණු සහ අපේ අම්මලාගේ කාලයේ ගුරුවරු විදියට අපිව දකින්න හරි ආසයි. ලෝකයේ හැමදේම වෙනස් වුණත් ගුරුවරයා එතැනම ඉන්න ඕනේ වගේ හැඟීමක් තියෙන්නේ. මම ආසයි මම කැමති විලාසිතාවක් කරන්න. මම ආස විදියට ජිවිතේ විඳින්න ගියොත් හැමදාම මේ පද්ධතිය ඇතුළේ ගැටුම්. එහෙම අවස්ථා කිහිපයකදීම මම මේ ගුරු වෘත්තීය අතහරිනවදෝ කියන තැන හිටියා. හෙට දවසේ මම එහෙම කරාවිද කියන්න මම දන්නේ නැහැ. මගේ තරුණ කාලය ගෙවිලා යනවා. ගුරුවරියක් විදියට මම මගේ භූමිකාව හරියටම ඉටු කරනවා. මම විශ්වාස කරන්නේ දරුවන්ට ආදර්ශවත් විදියට ජිවත් විය යුතුයි කියන එක පමණයි. මම ගුරු වෘත්තියට හරි ආදරෙයි. ඒ ආදරේ නිසා මම සෑහෙන දේවල් කැප කරමින් මම මේ දේ අල්ලාගෙන ඉන්නවා.‍


පෞද්ගලික ජිවිතේ ගැන කිව්වොත්?


අම්මා, නංගි සහ මම ඉන්නේ. තාත්ත මිට අවුරුද්දකට පෙර පිළිකාමය තත්ත්වයක් හේතුවෙන් නැති වුණා. තාත්තා තරුණ විදියට හිටිය කෙනෙක්. තාත්තගේ හදිසි වියෝව අපේ ජිවිත වල කඩාවැටීම වුණා. තවම හිත හදාගන්න අමාරුයි. මම තනියම ඉන්න යකඩ ගැහැනියක්. මගේ ජිවිතේ තියෙන දෙවල් මම ම විසඳ ගනිමින් මටම ආදරේ කරමින් මම මේ ගමන යනවා.


හැමදාම තනියම ඉන්නද අදහස, සහකරුවෙක් ගැන හිතන්නේ නැද්ද?


මම විශ්වාස කරනවා ගැහැනියකට ජීවිතේට අනිවාර්යෙන්ම සහකරුවෙක් ඕනේ කියන එක. මොකද නැත්නම් මේ සමාජය තුළ තනිවම ගැහැනියකට ජිවත් වෙන්න බැහැ. මේ මොහොතේත් සිය දහස්වතාවක් මම ඒ දේ අත් විඳිනවා. සමාජය අපිව අර්ථකථනය කරන්නේ එයාලට ඕනේ විදියට. තනියම ඉන්න ගැහැනියකට කතා හදන දරුණු ගැහැනු පිරිමි මේ සමාජයේ ඉන්නවා. අපිට තියෙන ආරක්ෂාව තමයි එක්කෝ ඒ පවුලේ තාත්තා, සහෝදරයා හෝ ස්වාමිපුරුෂයා කියන්නේ. මට ඒ තුන් දෙනාම නැතුව ජිවත් වෙද්දී දැනෙනවා කොච්චර අමාරුද කියලා. හැබැයි ජිවිතේ සහකරුවෙක් තෝරා ගැනීම සරල නැහැ. ජිවිතේ ගොඩක් දේවල් දන්නා, ජිවිතේ තේරුම් ගත්ත ගැහැනියකටත් අමාරුයි මනුස්සයෙක් එක්ක ඉන්න. එතකොටත් තමන්ගේ ආධිපත්‍යක් එනවා. ඒ ආධිපත්‍ය බිඳ දමමින් ඉස්සරහට එන්න පුළුවන් පෞරුෂයක් තියෙන මනුස්සයෙක් මම හොයන්නේ. තවම හොයමින් ඉන්නවා. කාලය ගෙවෙනවා. කාලයක් නැහැ ජීවිතේට කෙනෙක් එන්න. හිමි කෙනා එන්නත් එපැයි. බලමු ඉතින්.


අනුෂා රණසිංහ



Previous Post Next Post