පවතින රැලිවලට අනුගත නොවුණොත් අපි වීසි වේවි - දිමුතු තරංග



කලා අහස තත්පරෙන් තත්පරය යාවත්කාලීන විය යුතුය. කාලයකදී අහසෙන් තරු බැස යන විට අලුත් තරු පෑයිය යුතුමය. එසේ කලා අහස ගායනයෙන් රංගනයෙන් හැඩකර තවත් තරුවලට මන් පෙත් විවර කළ අපූරු තරුවක් සමඟ අප කතා කරන්න හිතුවා. ඔහු දිමුතු තරංග.


මොනවද මේ දිනවල කරන කලා කටයුතු?


මේ දිනවල මගේ අලුත් ගීතයේ රෙකෝඩින් කරගෙන යනවා. එය ප්‍රේක්ෂකයන් අතරට යන්නේ මියුසික් වීඩියෝවත් සමඟින්. එය සංගීතවත් කළේ චන්දන වල්පොලයි. පද රචනයෙන් හැඩ කළේ සජිත් පී චතුරංගයි. මීට අමතරව මගේ රිදම් ඩී ක්‍රියේෂන් යන ප්‍රඩක්ෂන් හවුස් එක රජිත හිරාන් අයියා එක්ක සාමූහිකව කරගෙන යනවා. ප්‍රඩක්ෂන් හවුස් එකෙන් මේ දිනවල ටෙලි නාට්‍යයක වැඩ කටයුතු කරනවා. ඊට අමතරව එහි මියුසික් වීඩියෝ තුනක් රූගත කර අවසන්. ඒවා එළිදැක්වීමටත් බලාපොරොත්තු වෙනවා.


අපි ඔබගේ අලුත්ම මියුසික් වීඩියෝවේ විස්තර දැන ගනිමු.


ඒක වර්තමානයේ ට්‍රෙන්ඩින් ගීතවල ස්වරූපයෙන් නිර්මාණය කළ ගීතයක්. එහි ඕඩියෝ එක නිම කර අවසන්. එහි සජීවී ගායනයට අප තෝරාගෙන තිබෙන්නේ ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායමක් වන සනිධප සංගීත කණ්ඩායමයි. වීඩියෝ එක කරන්නේ මගේම ආයතනයෙන්.


ඔබ කලාවට පිවිසෙන්නේ කොහොමද ?


මට විශේෂිත නමක් තියෙන පුද්ගලයෙක් වීමේ ආසාව දැඩිව තිබුණා. මම චාමරට ගොඩක් ආදරේ කරන නිසා ඔහුව මුණගැහුණා. ඔය අතර කාලෙදි දික්වැල්ලේ අප්සරා සංගීත කණ්ඩායමේ කමල් මදුසංක ළඟ මම ගිටාර් පුහුණුව ලැබුවා. ඒවගේම නෙලූ අධිකාරි ගුරු මහත්මියගෙන් සංගීත දැනුම ලැබුවා. ඉන්පසුව ඉන්ද්‍රි චාප බුලත්සිංහල ගුරුතුමාගේ හඬ පුහුණුව ලැබුවා. එසේ සංගීතයත් සමඟ කාලය ගත කරන අතරතුර මට රන්ජන් රාමනායක අයියා වගේම රජිත හිරාන් අයියව මුණ ගැසෙනවා. අපේ අම්මා ලෙබනන්වල හිටපු නිසා එහි ප්‍රසංගයකදී මවට ඔවුන්ව මුණගැසී මා ගැන විස්තර කියා තිබුණා. ඒ අනුව රජිත හිරාන් අයියා මාත් සමඟ කතාබහ කළා. ඔහුගේ මඟ පෙන්වීම මත මගේම ගීතයක් පළමුවරට ගායනා කර නිකුත් කළා. එය මගේ පළමු පිම්ම ලෙස හැඳින්වුවහොත් නිවැරදියි. මගේ පළමු ගීතයේ පද රචනය කළේ ප්‍රියාල් වීරසිංහ අයියා. ඒ වගේම එහි තනු නිර්මාණය කරන්නේ ගයන්ත විජේරත්නයි. එම නිර්මාණයට අර්ජුන කමලනාත්, ෆිල්ටි වැනි ජනප්‍රිය චරිතත් එක්වෙනවා. මගේ පළමු මියුසික් වීඩියෝ එක නිර්මාණය කරන්නේ රජිත හිරාන් අයියායි. පළමු ගීතයෙන් මාස හයකට පසු දෙවැනි ගීතයත් එළිදක්වනවා. මගේ පළමු මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේත් මමයි. එයින් හඳුනාගත් මගේ රංගන හැකියාව නිසා චන්ද්‍රරත්න මාපලගම මහතාට රජිත අයියා මාව හඳුන්වා දෙනවා. ඉන්පසු ඔහු ITN නාලිකාවේ විකාශය වූ සුන්දරයි චන්දරේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබෙනවා.


ගායන තරු කාලෙන් කාලෙට එන රැලිත් එක්ක ගහගෙන යනවා. ඔබත් රැල්ලට ගීත නිර්මාණය කරන්නෙක්ද ?


ලංකාවේ මේ දිනවල මල් රැල්ලක් තියෙනවා කියලා කියනවා. ඇත්තටම මිනිස්සු ඉල්ලන්නේ එය නම් ඒ රුචිකත්වයට පිටින් අපට යන්න බැහැ. එහෙම කළොත් අපි ට්‍රැක් එකෙන් එළියට විසි වෙනවා. අප ක්ෂේත්‍රයේ දැවැන්තයෝ නෙමෙයි. ඒ නිසා නවකයන් විදිහට පවතින රැලි අප හඳුනාගෙන ඊට අනුගත විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. යම් කෙනෙක් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ රැල්ලත් එක්ක ගමන් කරන නිසයි. නමුත් ඇතමෙක් එය විවේචනය කරන්නේ පවතින රැල්ලට හැඩ ගැසෙන්නට බැරි කුමන හෝ හේතුවක් හෝ අඩුපාඩුවක් තිබෙන නිසා කියලා මම හිතනවා.


ඔබ ව්‍යංගයෙන් කියන්නේ නිර්මාණයක් කරනකොට ටික් ටොක්, යූටියුබි, රිගින් ටෝන් අරමුණු කරගෙන නිර්මාණය කළ යුතුයි කියල?


නැහැ. මම එහෙම ප්ලැට්ෆෝම් එකකට කොටුවිය යුතුයි කියන්නෙ නැහැ. ගීතයක් ජනප්‍රිය කරන එක් මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය හඳුන්වන්න පුළුවන්. නමුත් එයම අරමුණු කරගෙන නිර්මාණ කළ යුතු යන මතයක මම නැහැ. ගීතයක් ජනප්‍රිය වීමට එහි ගුණාත්මකභාවය සියයට සීයක්ම බලපානවා. සමාජ මාධ්‍යයෙන් පමණක් ගීතයක් ජනප්‍රිය වෙනවා නම් යූටියුබ් එකෙන් ප්‍රමෝෂන් කැම්පේන් එකක් කරලා ඕනෑම කුණු ගොඩක් මාකට් කරන්න පුළුවන්. නමුත් යථාර්ථය තුළ එසේ වන්නේ නැහැ.


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මම මගේ ගීත මිනිසුන් අතරට ගෙන යෑමට ලොකු මහන්සියක් දරනවා. ඒ වගේම මගේ ආයතනය ඉහළ තැනක රැඳවීමටත් ලොකු අරමුණක් තිබෙනවා. මගේ අරමුණු සිහින එක්ක මම වර්තමානයේ සටන් කරනවා .


ඔබ මේ වෙනකොට පෙම්වතෙක්ද?


ඔව්. මම පෙම්වතෙක්. ඇය ඉන්න ඉතාලියේ. ඇයගේ නම රංගි ප්‍රනාන්දු.


විශ්මි ප්‍රනාන්දු




Previous Post Next Post