ඒ තරමටම මගේ අතින් වැරදුණා -සඳලි වික්‍රමසිංහ



අපි ඔයාට නේහා කියලා කතා කරන්නද? සඳලි කියලා කතා කරන්නද?


මගේ නම සඳලි සුගීෂ්වරී වික්‍රමසිංහ. හැබැයි 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලිනාට්‍යයේ රඟපාන නේහාගේ චරිතය නිසා දැන් මට බොහෝ දෙනෙක් කතා කරන්නෙ 'නේහා' කියලයි. ඉතින් දැන් මම නේහා.


Q ඔබ රංගනයට එකතු වෙන්න ආසාවෙන්ද හිටියෙ?


අනේ නැහැ. මම එහෙම රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක් නෙවෙයි. අඩුම තරමේ අපේ පවුලේ නෑ කෙනෙක්වත් එහෙම රංගනයට එකතුවෙලා හිටියෙ නැහැ. මම ඉගෙන ගත්තෙ පානදුර ශාන්ත ජෝන් විදුහලෙයි. පාසලේදිවත් මම වැඩිය කලා කටයුතුවලට දායක වුණේ නැහැ. අඩුම තරමෙන් විෂයක් විදිහටවත් රංගනය සම්බන්ධයෙන් මම ඉගෙනගෙන තිබුණෙ නැහැ.


පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද?


කාලෙන් කාලෙට මගේ ආසාව වෙනස් වුණා. මම කාලයක් නීතිඥවරියක් වෙන්න ආසා කළා. රටවල්වල ඇවිදින්න යන්න තිබුණු ආසාව නිසාම කාලයක් ගුවන් සේවිකාවක් වෙන්න ආසා කළා. මගේ යාළුවෝ පවා 'ඔයාගේ උසත් එක්ක ගුවන් සේවිකාවක් වෙන්න' කියලා ඒ කාලේ මට කිව්වා. අදටත් සමහර තැන්වලදි මගේ උසත් එක්ක කට්ටිය හඳුනාගන්න අවස්ථා තියෙනවා. මගේ උස 5' 8'' යි. ඉතින් උසස් පෙළට මම කලා විෂයෙන් අධ්‍යාපනය හැදෑරුවා. මම උසස් පෙළ අවසන් කරලා හෙදි පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. පුංචි කලේ ඉඳන් මම හෙදියක් වෙන්න ආසා කළා. ඉතින් මේ දවස්වල මම මනෝවිද්‍යාව සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. ඉතින් ඉදිරියේදි ඒ ඔස්සේ ඉදිරියට යන්න ආසාවෙන් ඉන්නවා.


Q සඳලි පවුලේ එකම දරුවා? එහෙම නේද?


ඔව්.. මම පවුලේ එකම දරුවා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ අම්මත් අපේ ව්‍යාපාරයකට සම්බන්ධවෙලා ඉන්නවා. ඉතින් පුංචි කාලේ ඉඳන් මම ඒ දෙන්නගේ ආදරය එක්ක ජීවත් වුණා. අදටත් ඒ දෙන්නා මගේ හැම වැඩකටම උදව් කරනවා.


 ඔබ පාසල් වේදිකා රංගනයට සම්බන්ධවෙලා හිටියද?


ඔව්.. මම පාසල් යන කාලෙදි මගේ බොහෝ යාළුවන් ''ඔයා කවදා හරි දවසක නිළියක් වෙනවා'' කියලා කිව්වා. මම පාසලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙලා හිටියා. ඒ නිසා පාසලේදි සමහරු මට 'චූටි නිළිය' කියලත් කිව්වා. සමහර ටීචර්ලා පවා මට එහෙම කිව්වා. එහෙම කට්ටිය කියද්දි මට රඟපාන්නත් ආසාවක් තිබුණා. හැබැයි ඒ හැබෑකර ගන්න උත්සාහ කරපු හීනයක් නම් නෙවෙයි.


Q සඳලිට 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න මූලික වුණේ පාසල් ගුරුවරියක් නේද?


ඔව්.. හැබැයි ඒ ගුරුතුමිය අපේ පාසලේ උගන්වපු ගුරුවරියක් නෙවෙයි. ඇය පානදුර අගමැති බාලිකාවේ ඉගැන්වූ ගුරුතුමියක්. ඒ ගුරුතුමිය මට හරි ආදරෙයි. දවසක් අපේ ගෙදරට ඇමතුමක් දීලා ''අලුත් ටෙලිනාට්‍යයකට ළමයි තෝරගන්නවා. සඳලි ගෙදරින් අහලා එයාලා කැමති නම් ටිකක් හොයලා බලන්න'' කියලා කිව්වා. කොහොමත් මම උගන්වපු ගුරුවරු අදටත් මට හරි ආදරෙයි. මට එක වසර පන්තියේ උගන්වපු සාරංගි ගුරුතුමිය එක්ක මම අදටත් කතා කරනවා. මට 'කෝමලී' කියලයි කියන්නෙ. අදටත් මට හරි ආදරෙයි. ඉතින් ටෙලිනාට්‍යයක් ගැන කියද්දි මම අම්මටයි තාත්තටයි කියලා ඇමතුමක් දීලා බැලුවා. ඒ විදිහට තමයි මහේෂ් රත්සර මද්දුමආරච්චි සර් ලියන වසන්ත අමරසිංහ සර් අධ්‍යක්ෂණය කරන 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලිනාට්‍යයේ 'නේහා' වෙන්න මට අවස්ථාව ලැබණේ.


Q ගුරුතුමිය ටෙලිනාට්‍ය ගැන කිව්වට පස්සෙ සඳලි අම්මට ඒ ගැන කිව්වද?


ඔව්... මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක හෙද පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. ඒක ඉවරවෙලා බස් නැවතුමට එද්දි තමයි ගුරුතුමිය ඇමතුමක් දීලා ඒ පණිවිඩය කිව්වෙ. ''අම්මයි තාත්තයි කැමති නම් විතරක් යන්න'' කියලයි ඇය කිව්වෙ. ඉතින් ගෙදර ඇවිත් මම අම්මට කිව්වා. ඒක අහපු අම්මා ''අනේ ෂා.. ෂෝක්'' කියලා කිව්වා. හැබැයි තාත්තා මුලදි ටිකක්වත් කැමති වුණේ නැහැ. ''එපා ඕවා හරියන්නෙ නැහැ.. මුලින් ඉගෙන ගන්න'' කියලා තාත්තා මට බැන්නා. අපේ පවුලේ වගේම දන්න කියන කවුරුවත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. ඉතින් ඒ නිසා තාත්තා මුලදි අකමැති වුණා. කොහොමින් කොහොම හරි අම්මයි මායි කියලා තාත්තවත් කැමති කර ගත්තා.


ඔබ මුලින්ම රූපවාහිනියෙන් දකිද්දි මොකද හිතුණෙ?


ඇත්තටම මාරම සතුටක් ඇතිවුණා. මට කෑ ගැහුණා. එදා මම මුලින්ම රඟපාන්න ගිහින් ගෙදර එද්දි ''මාව මුලින්ම රූපවාහිනියෙන් දකින්නෙ කවදද?'' කියලා වසන්ත සර්ගෙන් ඇහුවා. කොහොම හරි සතියකට දෙකකට පස්සෙ ඒ දවස උදා වුණා. මහේෂ් සර් කතා කරලා ''හෙට ඔයාගෙ කොටස යනවා. ඔයා බලන්න. අඩුපාඩු මොනවද කියලා බලන්න'' කියලා කිව්වා. ඉතින් ඒක රූපවාහිනියෙන් යන දවසෙ දවාලේ ඉඳන් මම නොඉවසිල්ලෙන් හිටියෙ. මට මාර සතුටක් දැනුණා. ඊළඟ දවසේ රූගත කිරීම්වලට ගියාම වසන්ත සර් ඒ ගැන කතා කරලා මගේ රංගනයේ පොඩි පොඩි අඩුපාඩු තැන් පෙන්නලා දුන්නා.


Q පාසලේදි සඳලි මොන වගේ චරිතයක්ද?


පාසලේදි මම හරිම අහිංසකයි. කවදාවත් යාළුවෙක් එක්ක රණ්ඩුවෙලා නැහැ. බැණගෙන නැහැ. කිසිම කෙනෙක්ට දුක හිතෙන්න වචනයක්වත් කියලා නැහැ. මගේ පාසලේ යාළුවන් අදටත් මාත් එක්ක කතා කරනවා.


Q 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලිනාට්‍යයේ ඔබ වැඩිපුරම රඟපාන්නෙ ගයත්‍රි ඩයස් සමඟයි?


ඔව්.. ටෙලිනාට්‍යයේ ගයත්‍රි අක්කා මගේ අම්මා විදිහටයි රඟපාන්නෙ. ගයත්‍රි අක්කගෙන් මට පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. අදටත් ඇමතුමක් දීලා සමහර තැන් ගැන මම අක්කගෙන් අහනවා. අක්කා හරිම හොඳයි. මුල්ම කාලෙ කොටස් කිහිපයක්ම ආයෙ ආයෙත් ගන්න සිද්ධ වුණා. ඒ තරමටම මගේ අතින් වැරදුණා. හැබැයි ගයත්‍රි අක්කා ඒ හැමවෙලේම මාව දිරිමත් කළා. ''බය වෙන්න එපා. ඔයාට පුළුවන්.. අපි ආයෙත් ගමු'' කියලා කිව්වා. මොනවා හරි කන්න ගෙනාවත් මටත් දෙනවා.


Q සඳලිට චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා කියලයි ආරංචිය?


ඔව්.. මේ දවස්වල චිත්‍රපට දෙකකට අවස්ථා ලැබිලා තියෙනවා. තවම ඒවායෙ රූගත කිරීම් පටන් අරගෙන නැහැ. මූලික වැඩ කටයුතු ගැන කතාබහ කරමින් ඉන්නවා.


I දිශානි




Previous Post Next Post