දුවගෙ හඬ නවතිද්දි මගේ හදවත නැවතුණා වගේ දැනුණා - ගිරිරාජ් කෞෂල්‍ය



අමන්ද්‍යා උත්පලී.. ඔබේ ආදරණීය දියණියගේ පළමු ප්‍රසංගය 'රැජිනට ඇන්දා වේදිකාවේ' පසුගියදා ඉතා සාර්ථක ලෙසින් පැවැත්වුවා. එහිදී ඇය 'තාත්තා' ගැන ගීතය ගයද්දී අවසානයේ හුඟාක් සංවේදී වුණා. හැගුම්බර වුණා. අපේ ඇස්වලත් කඳුළු දිලිසුණා. රෝහල් ඇඳේ සිට ඒ ගීතය සජීවීව අසද්දි ඒ මොහොතේ ඔබට මොකද හිතුණෙ?


ඒ සංවේදී ගීතය එදා දුව ගායනා කරද්දි කිසියම් අවස්ථාවක දුවට ගායනා කරන්න අපහසුව එයා මඳක් නතර කළා. ඔය ගීතය පමණක් නෙවෙයි, තාත්තා ගැන කියන බොහෝ ගීත මම ඉන්න තැන දුව ගයද්දිත්, මම නැති තැන දුව ගයද්දිත් එයාට ගායනා කරන්න බැරිවෙන, හැඟීම්බර වෙන අවස්ථාවකට එයා පත් වෙනවා. එතැන හිටියත් නැතත් මටත් එවැනිම හැඟීම්බර තත්ත්වයක් ඇතිවෙනවා. ඉතින් මේ ගීතය මට සජීවීව දකින්න ලැබුණේ මම රෝහල්ගතව ඉන්නකොට. දුවත් සජීවී ප්‍රසංගයේ හිටියේ. දුවට ඒ මොහොතේ ඒ ගීතය ගායනා කරන්න බැව දුවගේ හඬ නවතිද්දි මට මගේ හදවත නැවතුණා වගෙයි දැනුණෙ. හැබැයි මට එතැනදි තව දෙයක් හිතුණා. ඒ එයාගෙයි මගෙයි සම්බන්ධතාවයට වඩා ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන එයාට ආදරය කරන ප්‍රේක්ෂකයො එයාගේ රසිකයෝ එයාගේ ගීත රසවිඳින්න ඇවිත් හිටිය මොහොතේ ඔවුන්ට අසාධාරණයක් වේවි කියලා මට බයක් ඇතිවුණා. දුකක් ඇතිවුණා. ඒ නිසා දුවට සාර්ථකව ඉක්මනින් ගීතය ගායනා කරන්න හැකි වේවායි මම හදවතින් ප්‍රාර්ථනා කළා. ඉතාම කෙටි වෙලාවකින් දුව යථා තත්ත්වයට පත්වෙලා ඉතිරි කොටසත් ගායනා කළා.


Q කලා ලොවේ ප්‍රවීණයන්, ඔබගේ සමකාලීනයන් අමන්ද්‍යා ගැන ඒ මොහොතේදි පැවසූ දේ ඔබට දුර ඉඳන් ඇහෙද්දි මොකද හිතුණෙ?


ඇත්තටම සමකාලීනයන්, ප්‍රවීණයන් විතරක් නෙවෙයි, කලාවට සම්බන්ධ නැති වෙනත් කෙනෙක්ට හෝ ඕනෑම දෙමව්පියෙක්ට දවෙක් පිළිබඳව වර්ණනා අසද්දි ඉතාම ලොකු හැඟීමක් ඇතිවෙනවා. දෙමව්පියන් හැටියට ඒ වගේ සමකාලීන හිතවතුන්ගෙන් සහ අනෙකුත් අයගෙන් තමන්ගේ දුව ගැන ඒ වගේ අගය කිරීමක් ඇහෙද්දි සතුටක් වගේම සියුම් ආඩම්බරයක්, සියුම් ගෞරවයක් හිතට දැනෙනවා. ඒ මොහොතේ මගේ දවන් තව තවත් ආදරෙන් වැළඳගන්න හිතෙනවා. ඉතින් එදා ඒ මොහොතේ දුව ගැන අගය කරද්දි, ඇයගේ ඉදිරි ගමනට පිරිස ආශිර්වාද කරද්දි මගේ හිතටත් පුදුමාකාර සතුටක් ඇතිවුණා. මම එදා ළඟ හිටියේ නැතත් දුව වටා බොහෝ පිරිසක් හිටියා. ඒක මට දැනුණා. අපි හොඳ දවෝ මේ සමාජයට දායාද කරලා තියෙනවා කියලා හිතමින් අපේ අවසාන කාලේ සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන්.


ප්‍රසංගය අවසානයෙදි ගිගිරාජ්ගේ කලා මිතු මිතුරියන් ගිගිරාජ් සමඟ දුරකථනය ඔස්සේ ඇය ගැන කතා කළාද?


ඔව්.. එහෙම කතා කරපු, සුබ පැතූ පිරිස හිටියා. හැබැයි මම රෝහල්ගතව ඉන්න නිසා නිතර නිතර ඔවුන් ඇමතුම් ලබා දුන්නෙ නැහැ. ඒ ඔවුන් මගේ ගැන හිතන නිසයි. නමුත් දුවට පුදුමාකාර ආශිර්වාදයක් ඔවුන්ගෙන් ලැබුණා. ප්‍රසංගයෙන් පසුව ගොඩක් අය මේ පිළිබඳව වර්ණනාත්මක මුඛයෙන් කතා කළා. සමකාලීනයන් විතරක් නෙවෙයි, ඉතාම ප්‍රවීණ අය, හිතාගන්න බැරි අය මට ඒ ගැන කතා කරලා හොඳ කිව්වා. මට විතරක් නෙවෙයි, මගේ දුවටත් කතා කරලා ඉතාම අගය කරලා තිබුණා.


Q ප්‍රසංගය ඉදිරිපිට වාඩිවෙලා සජීවීව ප්‍රසංගය බලන්න අනන්තවත් හිතෙන්න ඇති නේද?


ඇත්තටම මේ ප්‍රසංගය සජීවීව නැරඹීම තමයි මගේ ලොකුම සතුට වුණේ. නමුත් වෛද්‍ය උපදෙස් අනුව, මගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය අනුව මට ඒකට අවසර ලැබුණෙ නැහැ. ඒ නිසා මට ඒ උපදෙස් පිලිපදින්න සිදු වුණා. මට ඒ විදිහට සෑහීමට පත්වෙන්න සිදු වුණා. මගේ දවෝ නිසා මම වාසනාවන්තයි කියලයි මට හිතුණෙ. ඒකට හේතුව වුණේ අමන්ද්‍යා කොහොම හරි එයාගේ යාළු මිත්‍රාදීන් එක්ක කතාබහ කරලා ගොඩක් කාර්යබහුල දවසක වුණත් රෝහල්ගතව හිටපු මට කොහොම හරි ප්‍රසංගය සජීවීව නරඹන්න වාසනාව උදා කරලා දුන්නා. ඒක තාත්තා කෙනෙක් හැටියට මම ලබපු ලොකු භාග්‍යයක් කියලයි මට හිතෙන්නෙ. කොහොම වුණත් අමන්ද්‍යා මේ ප්‍රසංගය ගැන නිරන්තරයෙන් මාත් එක්ක කතාබහ කළා. ප්‍රසංගයට පෙර හැමදාම වගේ මට කතා කරලා තොරතු කිව්වා. කොහොම වුණත් අවසානයෙදි මටත් කොතැනක හරි ඉඳගෙන මේ ප්‍රසංගය සජීවීව නරඹන්න අවස්ථාව උදා වුණා.


Q අමන්ද්‍යා කියන්නෙ එක්තරා ''පැකේජ්'' එකක්. බොහෝ හැකියාවන් ඇති දවෙක්. ඇගේ හැකියාව මුලින්ම දැනගත්තෙ ඔබයි?


ඇත්තටම ඒ හැකියාවන් මම විතරක් නෙවෙයි, අමන්ද්‍යාගෙ අම්මත් දැක්කා. ඒ කියන්නෙ මගේ ආදරණීය බිරිඳ මංගලිකායි මමයි දෙන්නම දවන් පිළිබඳව සොයා බැලුවා. විශේෂයෙන් කලා කටයුතුත් එක්ක මම කාර්යබහුල වෙද්දි මංගලිකා තමයි දවන් ගැන ගොඩක් හොයලා බැලුවෙ. ඇය තමයි බොහෝ වෙලාවට මෙයාලගේ දක්ෂතා මට පෙන්නුවෙ. ඊටපස්සෙ අපි දෙන්නා දවන්ගෙන් ඒ අයගේ අදහස් අහලා හැමදේම හොයලා බලලා කළා. අපේ දවන් ගැන කවදාවත් අපිම තීරණ ගත්තෙ නැහැ. අපි හැමවෙලේම ඒ අයගෙනුත් ඒ ගැන ඇහුවා. එයාලගේ කැමැත්ත අනුව ඒගොල්ලන්ගෙ කටයුතුවලට ඉඩ දෙන්නෙ කොහොමද කියලා ඒ අයගේ වැඩ කටයුතුවලට සහයෝගය දක්වන්නෙ කොහොමද කියලා අපි දෙන්නා හැම මොහොතකම කතා වුණා. මමයි මංගලිකායි ඒ දෙන්නා වෙනුවෙන් පුංචි කාලේ ගත්ත තීරණ නිවැරදියි කියලා අද අපිට හිතෙනවා. ඒ අයගේ දක්ෂතාවලට, හැකියාවට වගේම ඒ අයගේ කැමැත්තට මමයි මංගලිකායි ඉඩ දීපු නිසා අද සාර්ථක ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මායි මංගලිකායි වාසනාවන්ත දෙමව්පියෝ කියලා හිතෙනවා. 


Q මේ තරම් දක්ෂතා ඇති දුවව ක්ෂේත්‍රයට යොමු කරන්න ප්‍රමාද වුණේ ඇයි?


මට හිතෙන විදිහට මේ තමයි එයාව ක්ෂේත්‍රයට එකතු කරන්න තිබුණු හොඳම අවස්ථාවසහ හොඳම වෙලාව. සමහර අවස්ථාවලදී මට හිතුණා මීට පෙර දුව ක්ෂේත්‍රයට එකතු කළා නම් මීට වඩා දියුණුවක් වෙයිද කියලා. නමුත් මම පෞද්ගලිකව දැකපු දෙයක් තමයි පුංචි කාලේ ඉඳන් ජනප්‍රිය වුණු සමහන්ගේ දෙමව්පියන් ඒ වෙනුවෙන් කොපමණ කැපකිරීම් කළත් අවුදු කිහිපයකින් ඒ අය වැඩිහිටියන් වෙද්දි එයාලා ක්ෂේත්‍රයේ නැහැ. අධ්‍යාපනය අතිනුත් මායි මංගලිකායි අපේ දුවලා දෙන්නවම උපාධිධාරීන් කළා. අමන්ද්‍යා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධියක් හැදෑවා. ලොකු දුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හැදෑවා. ඒ වගේම සංගීතය ඔස්සේ මේ රටේ යන්න පුළුවන් ඉහළම විශාරද මට්ටමට ඇය ඉගෙන ගත්තා. ඒ දෙපැත්තෙන්ම හොඳින් ඉගෙනගෙන ක්ෂේත්‍රයට ඇතුළු වීම හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා නියම කාලෙදි එයාව ක්ෂේත්‍රයට එකතු කළා කියලා හිතෙනවා.


I දිශානි



Previous Post Next Post