එයා ඒක විහිලුවට කියපු කතාවක් -උදාරි වර්ණකුලසූරිය




එක් යුගයක තාරුණ්‍යයේ උන්මාදයක් බවට පත්වූ බොඳ මීදුම් ටෙලි නිර්මාණයේ ආදරණීය සංසලා මේ දිනවල සෙනාන් විමලවීරගේ අළු පාට දේදුණු ටෙලි නිර්මාණයේ ප්‍රාර්ථනා ලෙසින් ඔබ හමුවට එන්නීය. තිරය මත කුමන නමකින් හැඳින් වුවද ඒ ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන ඇය දක්ෂ, සුරූපී රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියයි. හොඳම නිළිය ලෙස අවස්ථා කිහිපයකදීම සම්මානිත වූ ඇය ඉදිරියේ දී නැවතත් දේවී කුසුමාසන ලෙසින් අභියෝගාත්මක රංගනයකින් රිදී තිරය වර්ණවත් කිරීමට සූදානම් වෙමින් සිටින්නීය.


උදාරි මේ දවස්වල විශේෂ වැඩක් නිසා කාර්යබහුල වෙලා කියල ආරංචියි. මොනවද මේ දවස්වල වෙන්නෙ?


මේ දවස්වල කලාවට හොඳ කාලයක් උදාවෙලා කියල හිතෙනවා. ලයිකා ප්‍රොඩක්ෂන් එකෙන් ලංකාවට චිත්‍රපට පහක් නිර්මාණය කිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තියෙනවා. ඉන් එකක් මේ දිනවල දේවී කුසුමාසන නමින් ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණයෙන් රූගත කෙරෙමින් පවතිනවා. එහි කොනප්පු බණ්ඩාර ලෙසින් හේමාල් රණසිංහ තෝරාගනිද්දී මං ගැන විශ්වාසය තියලා කුසුමාසන දේවියගේ චරිතයට මාව තෝරාගැනීම ගැන අධ්‍යක්ෂවරයාට ස්තුතිවන්ත වෙනවා. ඒකෙ රූගත කිරීම් නිසා තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නෙ.


දේවී කුසුමාසන කියන්නේ ඔබට පැවරුණු ලොකු වගකීමක් නේද?


ඔව්. ඒක අපි හැමෝගෙම ලොකු වගකීමක්. ලයිකා ප්‍රොඩක්ෂන් එකෙන් ලංකාවට මේ වගේ අවස්ථාවක් ලැබුණු පළමු වතාව මේක මිසක් මේ අවසන් වතාව නෙවෙයි. නිෂ්පාදකයා යොදවන මුදලට අපි සාධාරණයක් කළොත් තමයි ඔහු තවත් චිත්‍රපට කරන්න පෙලඹෙන්නේ. ඒ නිසා අපි හැමෝම හරිම වගකීමෙන් මේ වැඩ කටයුතු කරගෙන යනවා. මේක අතිදැවැන්ත නිෂ්පාදනයක්. ජනවාරි 15 ඉඳන් මාර්තු 15 දක්වා රූගත කිරීම් කෙරෙනවා. ලොකු වගකීමක් වගේම මේක අලුත් අත්දැකීමක්.


කොහොමද ඒ අත්දැකීම?


දේවි කුසුමාසන කියන්නේ ආදර කතාවක් මූලික කරගත්ත යුදමය කතාවක්. කුසුමාසන දේවිය සිංහල ක්‍රමයට වගේම පෘතුගීසි ක්‍රමයටත් අඳින පලඳින කෙනෙක්. ඒ නිසා ඒක මට අලුත් අත්දැකීමක් වුණා. ඇඳුම්, පැලඳුම් වගේම ඒ කාලෙ විදිහට පසුතල නිර්මාණය පවා ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම අධ්‍යක්ෂවරයා දිගු අධීක්ෂණයකින් පස්සෙයි තිර පිටපත ලියල තිබුණේ. අපි මෙතෙක් කල් හරියි කියල හිතන් හිටපු සමහර තැන් වැරදියි කියන එකත් මේ තිර පිටපතේ තියෙනවා. ඔහුටත් මේක ලොකු අභියෝගයක් වෙන්න ඇති. එක තැනක කුසුමාසන දේවිය මාල හත පලඳින අවස්ථාවක් තියෙනවා. ඒ වකවානුවේ බේරුන්ඩ පක්ෂියා මූලික කරගෙන තමයි පලඳනා නිර්මාණය කරල තිබුණේ. හරියටම ඔහු ඒවා හොයාගෙන තිබුණා. ඒ වගේ සියුම් තැන් ගැන පවා ඔහු සැලකිලිමත් වෙලා තිබුණා.


උදාරිට ලැබෙන්නෙම අභියෝගාත්මක චරිත. ඉදිරියේදි දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කියමු නේද?


ඇත්තටම ඔව්. ආසු කියන්නෙත් ඒ වගේ ලොකු අභියෝගයක් වුණු සිනමා නිර්මාණයක්. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තත් එහෙමයි. චමිල් පතිරණගේගේ සිටුවර පුවත ටෙලි නිර්මාණයත් මේ වසරේ විකාශයට නියමිතයි. සිරිපාල සහ රන්මැණිකාගේ ආදර කතාව ඇසුරින් නිර්මාණය වන මරු සිරා ටෙලි නිර්මාණයටත් ආරාධනා ලැබුණා. මෝහිණී සහ මහසෝනාගේ ආදර අන්දරය ‘ඇය ලිය විය‘ නමින් මේ වෙද්දි රූගත වෙලා ඉවරයි. ඊට අමතරව ශ්‍රී සිද්ධා චිත්‍රපටය වගේම ජැක්සන් ඇන්තනී මහත්මයාගේ (එකගෙයි සොකරි) වගේම (දේවි සම්බුලා) සිංහල, ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම තිරගත වීමට නියමිතයි. ජැක්සන් ඇන්තනී මහත්මයා කියන්නේ මට ගොඩක් විශේෂ කෙනෙක්. ඔහු අන්තිමට අධ්‍යක්ෂණය කළේ මාව. අන්තිම තිර පිටපත ලිවුවෙ මට. පළමුවෙනි වගේම අන්තිම නිෂ්පාදනය කළෙත් මට. තිරගත වුණු අවසන් රංගන දායකත්වයත් මාත් එක්ක.


රන්ජන් රාමනායක ඔබේ ආදරය බලාපොරොත්තුවෙන් ඉඳලා අම්මා ඒකට හරස්වුණා කියන කතාව ඇත්ත ද?


රන්ජන් රාමනායක කියන්නෙ විවෘතව කතා කරන හරිම සොඳුරු කලාකරුවෙක්. හැමවෙලේම ඕනම කෙනෙක් එක්ක විහිලු තහළුවෙන් විනෝදෙන් ඉන්න කෙනෙක්. පායා එන්න හිරු සේ චිත්‍රපටය කරන කාලෙ තමයි එයා ඔය කතාව කිය කිය හිටියේ. පොඩ්ඩක් නිළියට ආදරේ කරන්න පෙලඹෙද්දිම නිළියගෙ අම්ම ඇවිත් වයස කීයද පුතා කියල ඇහුව කියලා. ඒක එයා විහිළුවට කියපු කතාවක්. එයා මට වගේම මගේ සැමියටත් හරිම ආදරෙයි. අපේ පවුලේ අයත් එක්කත් සමීපයි. ඇත්තටම රන්ජන් අයියා මගේ අම්මගෙ වයසෙ. එයා කවදාවත් මට අයුතු යෝජනා කරල නැහැ. එයාගෙ අක්කා මගේ ගුරුවරියක්. ඉස්සර ඉඳන්ම අපේ පවුල්වල උදවිය එකතුයි.


උදාරි විවාහ උත්සව, උපන්දින සාදවල දකින්නෙම නැතිතරම්. ඒකට හේතුවක් තියෙනවද?


ඒ ප්‍රතිපත්තියක් රකින්නවත්, කා එක්කවත් තරහටවත් නෙවෙයි. ඒ මං ගොඩක්ම හුදෙකලාවෙ ඉන්න කැමති කෙනෙක් නිසා වෙන්න ඇති. ඒ තැන්වලදි වුණත් ඔවුන් මා දිහා බලන්නෙ උදාරි වර්ණකුලසූරිය කියන රංගන ශිල්පිනිය විදිහට. මං ඒ විදිහට නොගියොත් ඒක ඒ අයට කරන අගෞරවයක්. ඒත් මං කැමතිම මේකප් නොදා පාඩුවෙ ඉන්න.




නාමලී ගමගේ



Previous Post Next Post