සමහර අයගේ මුහුණ ලස්සන වුණාට කකුල් කැතයි නම් මට මාර අවුල් -පේශල



පේෂල මනෝජ් කියන්නේ සංගීත ශිල්පියෙක් විදිහටත්, නිවේදන ශිල්පියෙක් විදිහටත් අතිශය කතාබහට ලක්වන චරිතයක්. ඒ එක්කම පේෂල කියන්නේ විවෘතව ඕනෙම දෙයක් නොපැකිළිව කතාබහ කරන චරිතයක්. ඒ නිසාම ඔහුගේ ප්‍රකාශ කලින් කලට සමාජ මාධ්‍යය තුළ ද ඉතා වේගයෙන් පැතිර යනවා. මේ දිනවලත් ඔහු එක් වූ වැඩසටහන් තුළ ඔහුගෙන් නැඟු ප්‍රශ්න වලට දුන් පිළිතුරු නිසාම සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. මේ සියලු කරුණු කාරණා අතරේ ඔහුගේ කලා ලොවේ සහ පෞද්ගලික ජිවිතේ ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ…


කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස් වල?


ජීවිතේ හොඳින් ගත වෙනවා. මේ දවස් වල එක එක වැඩ ගොඩක් කළා. මගේ බෑන්ඩ් එකේ වැඩ වගයක් යනවා. පසුගිය දවස්වල ඇකඩමි එක නිවාඩු දීලා තිබුණා. දැන් ආයෙම මාර්තු මාසේ පටන් ගන්නවා. ඒ වැඩ කටයුතුත් එක්ක අලුත් සින්දු වගයක් හදන් යනවා. ඕවා තමයි මේ දවස්වල වෙන වැඩ.


චැම්පියන්ස් ස්ටාර්වලට දැන් කොච්චර කාලයක් ද?


දැන් අවුරුදු 13ක් විතර වෙනවා.


සමහර ආටිස්ට්ලා එන්න බයයි නේද පේෂලගේ ප්‍රෝග්‍රෑම් එකට?


ඇයි එහෙම වෙන්නේ.


මොනවා අහයිද කියන එකත් එක්ක,


එහෙම එක් කෙනෙක් දෙන්නෙක් ඇති. ප්‍රෝග්‍රෑම් එකේ එන්ටර්ටෙනින් එක තියාගන්න මම එක එක ප්‍රශ්න අහනවා. මම එහෙමයි කියලා මිනිස්සුන්ව නැති කරන්නේ නැහැ. මෙහෙමයි සමහර ප්‍රෝග්‍රෑම් තියෙනවා කිසි වැඩකට නැති ප්‍රෝග්‍රෑම්. ඒවාට නම් මමත් යනවද නැද්ද කියන එක තීරණය කරනවා. එහෙම නැතුව ලංකාවේ තියෙන රූපවාහිනී නාලිකාවල තියෙන ඕනෙම එකකට මම යනවා. මට නම් ඕනෑම ප්‍රශ්නයක් ඇහුවට කමක් නැහැ. මගෙන් අහන දෙයට මට උත්තර දෙන්න පුළුවන්. මම එහෙම ප්‍රශ්නවලට බය නැහැ. අපි හැමදාම කතා කරන්නේ අපේ ජීවිතවල ඇත්ත ස්වරූපය. සමහර අය ඇත්ත ජීවිතේ දේවල් එළිපිට කතා කරන්න කැමති නැහැ. මට නම් එහෙම ප්‍රශ්න නැහැ. ඒක ෆනී.


මේ වෙද්දී සමාජ මාධ්‍යවල යනවා, පේෂල ගැහැනු ළමයෙක්ගේ මුලින්ම බලන්නේ කකුල් දිහා කියලා?


ඔව්. ඇත්තටම එහෙම තමයි. නොකිව්වට ගොඩක් කොල්ලන්ට ඔය පුරුද්ද තියෙනවා. කකුල් දෙක කියන්නේ ඇඟිලි දිහා බැලෙන්නේ. එතැනින් තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ.


ඒ කියන්නේ ඒ කෙනා ගැන සම්පූර්ණ කියවීමක් සිදු කර ගන්නවා.


ඔව්. සම්පූර්ණ ස්කෑන් එකක් වෙනවා. කොච්චර දුරට ඒ කෙනා පිරිසිදු ද සහ හොඳ ඇතිද කියන දේ තේරුම් ගන්න පුළුවන්. ඒක හරියටම එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි සමහර අයගේ මුහුණ කොච්චර ලස්සන වුණත් කකුල් දෙක කැතයි නම් මට මාර අවුල්.


හොඳ දෑවැද්දක් හම්බවුණා කියන්නේ ඇත්ද?


එහෙම නැහැ. මම ඉතින් එහෙම ගැහැනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්න පිරිමියෙක් නෙවෙයි. පූර්ණිකා සෑහෙන සහයෝගයක් දෙනවා ගෙදර වැඩවලට. මූල්‍යම අතින් වුණත් දායකත්වයක් දෙනවා. එයත් ගෙදරට වෙලා නිකම් ඉන්න කෙනෙක් නෙවෙයි. එයත් වැඩ කරලා හම්බ කරනවා. ඒ දේවල් කතා බහ කරලා ගෙදරට සහ පොඩි අයගේ වැඩවලට වියදම් කරනවා. ඒක එහෙමනේ වෙන්නත් ඕනේ. ඒ හැර මම කැමතියි මම හම්බ කරලා මගෙත් එක්ක ඉන්න අයව ජීවත් කරන්න. එහෙම කරන්න බැරි නම් මේ ජීවිතෙන් වැඩකුත් නැහැනේ.


ජීවිතේ තෝරා ගැනීම් ගැන කතා කළොත්, නිවැරදිම තෝරා ගැනීම් කරලා තියෙනවා කියලා හිතනවද?


මෙහෙමයි. දැන් නිවැරදිම තෝරා ගැනීම තමයි. එහෙම නැතුව අපිට කියන්න පුළුවන්ද මේ නිවැරදිම තෝරා ගැනීම නෙවෙයි කියලා. කාටවත් කිසිම දෙයක් නිවැරදිම තෝරා ගැනීම වෙන්නේ නැහැ. කාලයට ගැළපෙන දේ සිදු වුණා. ඒ සිදු වූ දේ නිවැරදිම දේ බවට අපි පත්කර ගෙන තියෙනවා. අපි ජීවත් වෙන පරිසරයත් නිවැරදිම පරිසරය නොවෙන්න පුළුවන්. ඒත් අපි ඒ සියල්ලට හැඬගැහිලා ඒ දේවල් ගළපාගෙන ජීවත් වෙනවා. වයිෆ් ගැන ගත්තත් එහෙම්ම තමයි.


පුංචි පුතාත් තබ්ලාවට ආදරේ කරන හැඩයි


ඔව්. එයත් ආසයි.


ඔහුත් ඔබේ මඟ යාවිද?


ඕනෙම කෙනෙක් කලාකරුවෙක්, එහෙම නැත්නම් සංගීතඥයෙක් වෙන එක හොඳයි. කලාකරුවෙක් වෙනවා කියන්නේ පොහොසත් මනුෂ්‍යයෙක් වෙනවා කියන එක. ඒ පොහොසත්කම ඇති වෙන්නේ මූල්‍යම අතින් සහ මානසික අතින්. තමන් කරන දේ හරි හැටි ඉගෙන ගෙන ගමනක් ගියොත් වරදින්නේ නැහැ. කලාකරුවෙක් වෙලා මිනිසුන්ගෙන් ලැබෙන ආදරේ වුණත් මිල කරන්න බැහැනේ. එහෙම වෙනවා නම් හරියට වෙන්න ඕනේ. මම කැමති නැහැ මගේ ළමයා වුණත් කලාව හරියට කරන්නේ නැත්නම්. අනිත් අතට ඒ අය වෙන වෙන විෂයන් තුළින් ඉදිරියට යන ගමන් කලාව කළත් කමක් නැහැ. මට මගේ දෙමාපියන් දුන්නු නිදහස මම මගේ දරුවන්ටත් දෙනවා ඒ අය කැමති මඟ යන්න.


පේෂල විශ්වවිද්‍යාලීය කථිකාචාර්යවරයෙක්නේ, කොහොමද අලුත් පරම්පරාව දකින්නේ?


අලුත් පරම්පරාව එක්ක වැඩ කරනවා. ඒ අය තුළත් බොහෝ දක්ෂයින් ඉන්නවා. මම නම් දකින්නේ අපි වතුර වගේ හිටියාම හරි කියලා. අපිට ඕනෙම පරම්පරාවක් එක්ක ඕනෙම කට්ටියක් එක්ක වැඩක් කරන්න පුළුවන් අපි වතුර වගේ හිටියම.


පේෂල සතු දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන අරගෙන ද තියෙන්නේ?


නැහැ ඒක මෙහෙමයි. ප්‍රයෝජන අරන් තියෙනවා කියන්නේ ඉරාජ් අපි එකතු වෙලා සින්දු හදලා තියෙනවා. හෙට අනිද්දා වෙද්දී තව අලුත් වැඩ වගයක් කරන්න ඉන්නවා. දක්ෂතා කියන ඒවා සමහර ඒවා මෙහෙට ගැළපෙනවා. සමහර ඒවා මෙහෙට ගැළපෙන්නේ නැහැ. තියෙන දක්ෂතා වලින් අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රයෝජන ගන්නවා. එක දෙයකින් දිගටම ප්‍රයෝජන ගන්න බැහැනේ.


ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?


ජිවිතේ හොඳයි. Life Is Too Short කියන එකයි මම දකින්නේ. ඒ නිසා ජීවිතේ හොඳයි. සල්ලි හම්බෙන වෙලාවල් තියෙනවා. නැතිවෙන වෙලාවල් තියෙනවා. මගේ භාෂාවෙන් කියනවා නම් තමන්ගේ ජීවිතේ ආතල් කරගෙන ජීවත් වෙනවද එහෙම නැත්නම් අප්‍රිය කරගෙන ඉන්නවද කියන එක තීරණය වෙන්නේ අපි කරන කියන දේවල් සහ අපි ඉන්න විදිය එක්ක. අපිට පුළුවන් මේ කෙටි ජීවිත කාලය දිව්‍යලෝකය කර ගන්නත් අපාය කරගන්නත්. ඒක තියෙන්නේ තමන්ගේ අතේ.


බොහෝ දෙනා මේ වෙද්දී පවුල් පිටින් විදෙස්ගත වෙනවා, ඔබටත් එහෙම අදහසක් තියෙනවද?


මට ඇත්තටම PHD එකක් කරන්න යන්න අදහසක් තිබ්බා. දැන් ඒකත් මට හිතෙනවා ඉන්දියාවෙන්ම කළොත් හොඳයි කියලා. මම ආසයි ප්‍රසංගයකට හෝ ගෙදර අය එක්ක ගිහින් ඇවිදලා එන්න. ඒ හැරෙන්න මම ආස නැහැ අමාරුවෙන් ගිහින් රස්සාවල් හොයාගෙන සුපර් මාකට්වල වැඩ කරලා කට්ටක් කන්න. එහෙම කරන්න තිබ්බා මගේ ජීවිතේ මුල් කාලේ. එහෙම නැතුව මට අවස්ථාව ලැබුණොත් කෙටි කාලයකට හෝ විදෙස් විශ්වවිද්‍යාලයක ලෙක්චර් කෙනෙක් විදියට වැඩ කරන්න. එහෙම නම් ගිහින් එන එක හොඳයි. එහෙම නැතුව මෙහෙ ඔක්කොම දාලා ගිහින් මුල ඉඳන් එහෙ සෙට්ල් වෙන්න කැමති නැහැ. මම පෞද්ගලිකවම ලංකාවේ ඉන්න ආසයි. අපේ අම්මලා තාත්තල වියදම් කරලා අපි මහන්සි වෙලා මෙච්චර දුරක් ඉගෙන ගෙන ඇවිත් මේ රටේ නමක් හදාගෙන ඉන්න පුළු



වන් එකේ, නොදන්නා රටකට ගිහින් සුපර් මාකට් වල වැඩ කර කර දුක් විඳින්නේ ඇයි. එහෙම අවශ්‍ය නැහැනේ. අනිත් එක අපි මේ රටේ හොඳින් ඉන්නවනේ. අපි පිටරටවලට ගිහින් තියෙනවා. ඕනේ තරම් ඒ රටවල මිනිස්සු සතුටින් ඉන්නවා තමයි. නමුත් ලංකාවේ ඉන්නවා වගේ නිදහසක් නැහැනේ. මම දකින්නේ වැඩිම නිදහසක් තියෙන්නේ අපේ රටේ.


අවසාන වශයෙන් මේ අවුරුද්දේ මොනවද ප්‍රේක්ෂකයින්ට අලුතින් දෙන්න ඉන්නේ?


වැඩ වගයක් සැලසුම් කරගෙන යනවා. අලුත් කොන්සර්ට් වගයකුත් එක්ක. ඒ දේවල් ගැන හරියටම ඉදිරියේදී කියන්නම්.


 අනුෂා රණසිංහ


Previous Post Next Post