විවාහ වෙලා වෙන් වෙනවට වඩා ලිවින් ටුගෙදර් ට්‍රයි කරන එක හොඳයි-මිනුරි ද සිල්වා




ඕනෙම ක්ෂේත්‍රයක් පවතින්න නම් දිනෙන් දින ඒ ඒ ක්ෂේත්‍ර සඳහා අලුත් අය එකතු වෙන්න ඕනේ. මෙවර මේ සොඳුරු කතාබහ අපි සිදු කරන්නේ රංගන ක්ෂේත්‍රයෙන් දිගු ගමනක් යෑමේ බලාපොරොත්තුවෙන් කලා ක්ෂේත්‍රයට අලුතින්ම එකතු වූ සුරූපී යුවතියක් සමඟින්. ඇය නමින් මිනුරි ද සිල්වා


මිනුරි කිව්වාම ද මියෝනා කිව්වාමද වැඩියෙන්ම කට්ටිය දන්නෙ?


මියෝනා කිව්වම තමයි ගොඩක් අය දන්නේ.


මිනුරි කොහොමද මියෝනා වුණේ?


මගේ අම්මා තමයි මියෝනා කියලා දැම්මේ. මෝනා කියලා කාටුන් ෆිල්ම් එකක් ආවා. ඒ මෝනා එකේ හිටපු ගර්ල්ගේ හැඩහුරුව මගේ වගේ නිසා අම්මා තමයි මියෝනා කියලා කතා කරන්න ගත්තේ. මේ වෙද්දී මගේ සමාජ මාධ්‍ය ගිණුම්වල තියෙන්නේත් මියෝනා කියලා. ඒ නිසා ගොඩක් අය මේ වෙද්දී මාව දන්නේ මියෝනා නමින්.


කලාවට එන්න ඕනේ කියලා හිතුණේ කොයි කාලෙද?


පුංචි කාලේ ඉඳන්ම මම කලාවට ආසයි. පාසල් යන කාලේ ඉඳන් නර්තනය රංගනය කියන අංශවලින් තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා.


කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ?


මුලින්ම එන්නේ මම බ්‍රයිඩ්ල් ෂූට් හරහා. 2022 අවුරුද්දේ චන්දිමාල් ජයසිංහගේ පැජන්ට් එක දැක්කම මටත් ආස හිතුණා. ඊට පස්සේ මම 2023 අවුරුද්දේ අධ්‍යාපන කටයුතුවලින් පොඩි විරාමයක් අරන් ඒ කාලය පැජන්ට් එක වෙනුවෙන් කැප කළා. එහි ප්‍රතිඵලයක් විදියට මට හැකියාව ලැබුණා 2023 අවුරුද්දේ CJ අවුරුදු කුමරිය වෙන්න.


මාලදිවයිනෙත් මිනුරි ජීවත් වෙනවා.


ඔව්. මගේ තාත්තාගේ ව්‍යාපාර කටයුතු තියෙන්නේ එහෙ. ඒ නිසා මම එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා.


මාලදිවයිනේ ජීවිතේට වඩා වැඩි කැමැත්ත ලංකාවට ද?


එහෙම නෙවෙයි. මම කොහේ හිටියත් මගේ මානසික සතුට මම තියා ගන්න දන්නවා. ඒ නිසා මාලදිවයිනේ හිටියත් ලංකාවේ හිටියත් වෙනසක් නැහැ. මාලදිවයින කියන්නේ මුහුදෙන් වටවුණු රටක්. ඒ රටේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ලේසියි. එහෙ අය අනිත් අය මොනවද කරන්නේ මෙහෙම කළොත් මොනවා හිතයිද වගේ දේවල් හිතන්නේ නැහැ. හැබැයි ලංකාවේ තවම අනිත් කෙනා මොනවා හිතයිද කියන තැනින් හිතලා තමයි ඇඳුමක් වුණත් අඳින්නේ. ඒ අතින් බැලුවොත් නම් මාලදිවයින ගොඩක් හොඳයි.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. කලා කෂේත්‍රයේ වැඩවලට කිසිම තහනමක් නැහැ. මගේ හැකියාවන් දක්ෂතාවන් මුලින්ම දැක්කේ අම්මා තාත්තා. අම්ම තාත්තගෙන් වගේම අයියාගෙනුත් නංගිගෙනුත්. මගේම කියලා ගමනක් යන්න උපරිම සහයෝගය ගෙදරින් ලැබෙනවා.


කලාවේ කැමති ද රංගනයට ද නර්තනයට ද නිවේදනයට ද?


වැඩියෙන්ම කැමැති නර්තනයට. මම තවම ඉගෙනීම් කටයුතුත් කරන නිසා ගොඩක්ම ඩාන්සින් පැත්තේ දේවල් කරන්න හම්බුණේ නැහැ. දැනට මම රැම්ප් කරනවා. මොඩ්ලින් කරනවා.


මුල්ම ටෙලි නාට්‍යය අත්දැකීම කොහොමද?


මගේ මුල්ම නාට්‍යය අත්දැකීම වසන්ත කුමාරවිලගේ නාට්‍යය අධ්‍යක්ෂණයක් වුණු සක්කරයා නාට්‍යය. එ්ක තාම විකාශය වෙලා නැහැ. නුදුරේම දැක ගන්න ලැබෙයි.


ඒ නාට්‍යයේ චරිතයේ නම වෙන්නෙ ත් සැබෑ ජීවිතේ ඔබේ නමමයි, ඒ ගැන මොකද හිතෙන්නෙ?


ඔව්, ඇත්තටම මට එහි ලැබුණේ මිනුරි කියන චරිතය. මුල්ම චරිතය මගේ සැබෑ ජීවිතේ නමම වීම ගැන සතුටක් තියෙනවා.


රංගනය ගැන හදාරනවද?


ඔව්. රංගනය ගැන මේ වෙද්දී යම් හැදෑරීමක් කරලා තියෙනවා. ඉදිරියටත් රංගනය ගැන හදාරමින් මේ ක්ෂේත්‍රය තුළ හොඳ දිගු ගමනක් යන්න ආසාවෙන් ඉන්නවා.


ආදරේ දකින්නෙ කොහොමද?


මම ආදරේ දකින්නේ සීමා විරහිත දෙයක් විදියට. ඕනෙම කෙනෙක්ව නිවැරදිව තේරුම් අරන් ඒ අයගේ ජීවිතවලට පොඩි හරි සහනයක් අපිට ගෙනත් දෙන්න පුළුවන් නම් එතැන මම ආදරේ දකිනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම තනි ජීවිත ගත කරන්නේ. මගේ ආත්මෙට ශක්තියක් තියෙනවා තව කෙනෙක්ව පුංචි වචනයකින් හරි සනසන්න. ඒක තමයි මම ආදරේ විදියට දකින්නේ. මම හැමෝටම ආදරේ කරන කෙනෙක්. ආදරේ කියන්නේ නීති දාගෙන හිර කරගෙන ඉන්න එක නෙවෙයි. ආදරේ කියන්නේ ඒ මනුස්සයාගේ අයිතීන් තේරුම් අරන් එයාට ඉඩ දෙන එක.


ලිවින්ටු ගෙදර් ගැන මොකද හිතෙන්නෙ?


මම දකින්නේ මේ කාලේ ගොඩක් අය හදිසි තීරණ අරගෙන විවාහ වෙලා කොළයකට අත්සන් කරලා එක ජීවිතයකට බැඳෙනවා. සමහර වෙලාවට දරුවන් ලැබිලා කාලයක් යද්දී තීරණය කරන්නේ අපි දෙන්නා ගැළපෙන්නේ නැහැ කියලා. එතැනදී මානසිකව පිඩාවට පත් වෙන්නේ දරුවන්. ඒ නිසා මම හිතන්නේ කොළයකට සීමා කරලා ජීවිතේ බැඳෙන්න කලින් ලිවින්ටු ගෙදර් ඉඳලා දෙන්නා කාලයක් ආශ්‍රය කරලා දෙන්නට ගැළපෙනවා නම් විවාහයකට යන්න හෝ නොගැළපෙනවා නම් වෙන් වෙන්න නිදහස තියෙන්න ඕනේ. එතකොට ඊළඟ පරම්පරාවට දුකක් වෙන්නේ නැහැ. ලිවින්ටු ගෙදර් මහා ලොකු දෙයක් විදියට හෝ නරක දෙයක් විදියට දකින්න හොඳ නැහැ.


කටකතා ගොසිප්වලට බය ද?


කොහෙත්ම බය නැහැ. මොකද කාටවත්ම අයිතියක් නැහැ මගේ ජීවිතේ මනින්න. මගේ ජීවිතේ මම විඳපු දේවල් දන්නේ මම විතරයි. ඒ නිසා තමන්ටම අනන්‍ය වූ කතාවක් තියෙනවා. ඒක හැමෝටම එහෙමයි. මම කවදාවත් කටකතා ගොසිප් කනකට ගන්නේ නැහැ. මිනිසුන්ගේ හැටි තමයි තමන්ට ගොසිප් එකක් හැදෙයි කියන බයට ඊට කලින් වෙන කෙනෙක්ට ගොසිප් එකක් හදන එක.


සුදු වෙන්න ඕනේ කියලා හිතෙන්නෙ නැද්ද?


කවදාවත්ම නැහැ. මගේ තලෙළු පැහැයට මම හැමදාම ආදරෙයි. ස්වාභාවිකම මට ලැබුණු මේ පැහැය තමයි මට ගැළපෙනම පැහැය.


අනාගත බලාපොරොත්තු මොනවද?


ජීවිතේ හොඳ තැනකට ඇවිත් මගේ ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන එක තමයි එකම බලාපොරොත්තුව.


 අනුෂා රණසිංහ




Previous Post Next Post