සමහර සබඳකම් අතහැරුණෙ සිනමාව නිසා -උදාර රාජපක්ෂ



වෙළෙඳ දැන්වීම් කලාව ඔස්සේ ක්ෂේත්‍රය හඳුනා ගත් උදාර රාජපක්ෂ වේදිකාවේ මෙන්ම පුංචි තිරය මත අත්දැකීම් ලබා තිබුණ ද බොහෝ කලක සිට සිනමාවට පිවිසීමට කැමැත්තෙන් සිටි රංගන ශිල්පියෙකි. ඔහුගේ ඒ සිහිනය සැබෑ කරමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ නව අත්හදාබැලීමක් ලෙස නිපදවුණු ‘සූරයා වීරයා‘ සිනමා පටයේ ප්‍රධාන භූමිකාව සඳහා ඔහුට ආරාධනා ලැබෙන්නේ නොසිතූ මොහොතකය. එය ඔහුගේ ජීවිතයේ අමතක නොවන සුවිශේෂී සිදුවීම බව පවසමින්ම උදාර අප හා කතාබහට එක්වීය.


ඔබේ එකම සිහිනය වුණේ සිනමා නළුවෙක් වෙන එක. කොහොමද ඒ හීනය සැබෑ වෙන්නෙ?


මට ඕන වුණේ මුලින්ම සිනමා නළුවෙක් විදිහට එළියට එන්න. ඒත් මුලින්ම සම්බන්ධ වෙන්න ලැබුණෙ වෙළෙඳ දැන්වීම්වලට. ඒත් එක්කම වේදිකා නිර්මාණවලට ආරාධනා ලැබුණා. පළමු වැනි අත්දැකීම වුණේ දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ‘ගාස්තුව කීයද‘ වේදිකා නිර්මාණය. ඇය තමයි මගේ පළමු රංගන ගුරුවරිය. හැමදාම වගේ ඇයත් මට කිව්වා උදාර ඔයා ගැළපෙන්නෙ සිනමාවට කියලා. දෙවැනි අත්දැකීම වුණේ පරිවර්තන කතාවක් ඇසුරින් නිපදවුණු එලීසා. එලීසා මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. එහි බෲනෝ කියන චරිතය පුහුණු වෙනව දැකල තමයි ලුවී මහත්තය මට සූරයා වීරයා සිනමා පටයේ ප්‍රධාන භූමිකාවට ආරාධනා කළේ. මාසයක වගේ කෙටි කාලයකින් තමයි ඒකට සූදානම් වුණේ.




කොහොමද ඔබට සූරයා වීරයා දැනුණෙ?


මං අනෝජා වීරසිංහ මහත්මිය වගේම මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය පිළිබඳ හැදෑරීම් කරල තිබුණා. ඒ වගේම වේදිකාවෙන්, පුංචි තිරයෙන් ලැබුණු අත්දැකීම් සිනමාවට පන්නරයක් වුණා. වේදිකාවට සම්බන්ධ වෙලා හිටපු අලුතම නිසා මගේ හඬ පරාසය සිනමාවට ගැළපෙන විදිහට හදාගන්න උදවු කළේ ප්‍රවීණ අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ. වාසනාවකට වගේ මට ලැබුණෙම ප්‍රවීණයන්ගේ ඇසුර. ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට කොතරම් හදල තිබුණත් විද්‍යා ප්‍රබන්ධයක් විදිහට මේ අත්හදාබැලීම වගේම ප්‍රධාන නළු භූමිකාවට මං වගේ නවකයෙක් තෝරාගැනීමත් ලුවී මහත්මයට අභියෝගයක් වෙන්න ඇති. ජාත්‍යන්තර සිනමාවට ඇලුම් කළ කෙනෙක් විදිහට මං ගොඩක් චිත්‍රපට බලල තිබුණා. සූරයා වීරයා ප්ලොට් එක දැක්ක ගමන්ම මට හිතුණා මේකත් ඒ වගේ එකක් කියලා. ඒ නිසා මට ලොකු අසීරුතාවක් දැනුණෙත් නැහැ. මුලින් මුලින් අධ්‍යක්ෂවරයා මාව ගයිඩ් කළත් ටික දවසක් යද්දි මොකුත්ම නොකියා බලන් හිටියා. මං දිගටම ස්ක්‍රීන් ප්ලේ එක ෆලෝ කරගෙනම ගියා.


චිත්‍රපටය තිරගත වෙන්නත් කලින් අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් අප අතරින් සමුගත්තා. උදාරව ගයිඩ් කරන එක අතරමඟ නවත්තපු හේතුව උදාරට කවදාවත් දැනගන්න ලැබුණෙ නැද්ද?‍


චිත්‍රපටයේ ගීත එළිදැක්වීමට දින කීපයකට කලින් ඔහු අපෙන් සමුගත්තා. ඒත් රූගත කිරීම් අතරතුර එක් රාත්‍රියක ඔහු මාව ගයිඩ් කරන එක නවත්තපු හේතුව මට කිව්වා. එදා ඔහු මගෙන් ඇහුවෙ උදාර මේක ඔයාගෙ පළමුවෙනි ෆිල්ම් එක කියල ඔයාට හොඳටම ෂුවර්ද කියන එක විතරයි. අධ්‍යක්ෂවරයාගෙන්ම ඒ වගේ දෙයක් අහන්න ලැබෙද්දි මට කියාගන්න බැරි සතුටක් දැනුණා. සූරයා වීරයා ඉතාම ඉක්මනින් තිරගත වීමට නියමිතයි. ඒ හරහා ඔහු කියන්න උත්සාහ කරන්නේ අනාගතේ කාන්තාවට මුහුණපාන්න වෙන ගැටලුවක් ගැන. ඒක ජාතික මට්ටමෙන් සාකච්ජාවට ලක්කර කාන්තාවට අවශ්‍ය රැකවරණය වගේම ආර්ථික ශක්තිමත්භාවය ඇති කළ යුතුයි කියන පණිවුඩයයි මේකෙන් දෙන්නෙ. ඒ අතරේ ආදරය කියන හැඟීම තුළ තියෙන කැපකිරීම, රැකවරණය වැනි මානුෂික හැඟීම් ගැනත් ඔහු මෙහිදී ඉස්මතු කරනවා. චිත්‍රපටය නිෂ්පාදනය කළ SRI. L. A. ප්‍රොඩක්ෂන් ආයතනය මේ වෙද්දි චිත්‍රපටය තිරගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් යනවා.


උදාර රාජපක්ෂ වැඩිපුරම දකින්නෙ වෙළෙඳ දැන්වීම්වල. මේ දවස්වල ජනප්‍රියම මොනවද?


මගේ කලාවේ පිවිසුම මොකක්ද කියල කිව්වොත් ඒ වෙළෙඳ දැන්වීම් රංගනය. මේ වෙද්දි දැන්වීම් හැත්තෑපහකට විතර දායකවෙලා තියෙනවා. BOC,Sampath bank, sunlight වැනි දැන්වීම් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි.


ඔබ පුංචි තිරයෙත් දකින්න ලැබුණු චරිතයක්. ඒ ගැනත් කියමු?


පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නිර්මාණයේ ඩොක්ටර්ගෙ චරිතය වගේම එක්ටැම් ගේ ටෙලි නිර්මාණයේ චරිතයත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඊට අමතරව සනුක වික්‍රමසිංහගේ ‘සරාගයේ‘ මියුසික් වීඩියෝ එකත් ගොඩක් ජනප්‍රිය වුණා. අනෙක් සුවිශේෂීම කාරණය තමයි සුනිල් ශාන්තයන්ගේ 108 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් නිර්මාණය කළ ගීතමය වේදිකා නාට්‍යයේ සුනිල් ශාන්තයන් ප්‍රතිනිර්මාණය කරන්න ලැබුණු අවස්ථාව. ඒක මට ජීවිතේ ලැබුණු වටිනාම අවස්ථාවක්. ඊට අමතරව මේ දිනවල තවත් ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබිල තියෙනවා. කොහොම වුණත් සිනමාවට තමයි මගේ වැඩි කැමැත්ත. සූරයා වීරයා තිරගත වීමෙන් පස්සෙ තවත් ආරාධනා ලැබේවි කියන විශ්වාසයත් තියෙනවා.


උදාර විවාහයක් ගැන හිතන් නෑ කියන්නෙ ඇත්තද?


මෙහෙමයි. මට ආදරය ගැන අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. යම් යම් හේතු නිසා ඒව මඟ හැරුණත් ඔවුන් අද හොඳින් ඉන්නව කියල දැනෙද්දි මගේ හිතට සතුටක් දැනෙනවා. පාසල් කාලෙ මං ජාතික මට්ටමේ මලල ක්‍රීඩකයෙක්. ඒ කාලෙ ක්‍රීඩිකාවකටත් ආදරය කළා. පුහුණුවීම් අතරේ කොහොමහරි වෙලාවක් හදාගෙන අපි හමු වුණා. ඒව හරිම සුන්දර මතකයන්. මං මාර්කටින් මැනේජ්මන්ට් පිළිබඳ උපාධිධාරියෙක්. ඊට අමතරව ජාත්‍යන්තර සබඳතා සම්බන්ධව කටයුතු කරලා අවුරුදු පහක අත්දැකීම් තියෙනවා. මට ඕන කළේ මාර්කටර් කෙනෙක් වෙන්න. ඒත් කලාවට සම්බන්ධ වීමත් එක්ක ඒකෙන් අයින් වෙන්න වුණා. සමහර සබඳකම් අතහැරුණෙ මං සිනමාවට ආව නිසා. දැන් මං මේ ගෙවන තනිකඩ ජීවිතේ හොඳයි කියලත් හිතෙනවා. කලාව පැත්තෙන් මට තව කරන්න දේවල් තියෙනවා. ඒ නිසා දැනට ඒ වගේ හැඟීමකින් මට ළංවෙන අයගෙන් මං පොඩි කාලයක් ඉල්ලනවා. එහෙම නැතුව මං සම්බන්ධයකට ගියොත් ඒක එයාලට කරන ලොකු අසාධාරණයක්.



 නාමලී ගමගේ





Previous Post Next Post