මගේ ලෝකේ ඉරයි හඳයි දෙකම නැති වුණා-සෙනාලි ෆොන්සේකා



"සිරිපැරකුම්" සිනමා නිර්මාණය හරහා කලා ක්ෂේත්‍රයට අඩිය තියලා "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍ය හරහා අතිශය ජනාදරයට පත්වුණු නිළියක් තමයි සෙනාලි ෆොන්සේකා. පසුගිය කාලයේදී ඇයට බොහෝ සංවේදී සිදුවීම් කීපයකට මුහුණදෙන්න වුණා. ඒ නිසාදෝ මෑත කාලයේදි කිසිම නිර්මාණයකින් සෙනාලිව අපිට දකින්න ලැබුණේ නෑ. ඒ හැමදේම ගැන අහලා බලන්න මෙවර අපි ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාට කතා කළා.


ඉතින් සෙනාලි, මේ දවස්වල ඔබේ රංගන වැඩකටයුතු කොහොමද?




මේ දවස්වල නම් මං රංගනයෙන් දායක වෙන නිර්මාණයක් දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි රංගනයෙන් දායක වුණු අලුත් චිත්‍රපට කීපයක් වගේම ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා.




"නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයේ ඔබ කරපු "සුදු චූටි" චරිතයට තවමත් ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ ඇත්තද?




ඒක නම් ඇත්ත. මේ වෙද්දි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ඉවරවෙලා අවුරුදු දෙකක් වගේ වෙනවා. ඒත් තාම සුදු චූටිට මිනිස්සු ආදරෙයි. ගොඩාක් අය අදටත් මාව දැක්කම කතා කරන්නේ සුදු චූටි කියලා. ඒ ආදරේ මට හිතාගන්න බෑ.


මේ අතරේ "නාඩගම්කාරයෝ 02" ගැනත් කතාබහක් තියෙනවා. එහෙම දෙයක් ඉදිරියේදි වෙයිද?




එහෙම දෙවැනි කොටසක් එනවා නම් මමත් කැමැතියි. මොකද ඒක බලපු අය හරිම ආසයි සරාලට සුදු චූටිලාට එහෙම මොකද වුණේ කියලා දැනගන්න. ඒ හින්දා ඉතින් දෙවැනි කොටසක් ආවොත් ඒකත් සාර්ථක වෙයි කියලා මං හිතනවා. ඒත් තාම දෙවැනි කොටසක් එයිද කියලා මට හරියටම කියන්න බෑ.




සෙනාලි කියන්නේ රංගනයට යම් යම් සීමා දාගත්ත කෙනෙක්ද? නැත්නම් ලැබෙන ඕනම චරිතයක් භාර අරගෙන කරන කෙනෙක්ද?




මට ඕන මට ලැබෙන චරිතය ඇතුළෙදි ප්‍රේක්ෂකයාට දැනෙන යමක් කරන්න. ඒ කියන්නේ සාධාරණයක් කරන්න. මට ඒ වැඩේ කරන්න බෑ කියලා තේරුණොත් ඒ චරිතය මං භාරගන්නේ නෑ. ඒත් එහෙම ලොකු ලොකු සීමා නම් දාගෙන නෑ.


හැබැයි සෙනාලි ගොඩාක් වෙලාවට අහිංසක චරිතවලට කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?




මගේ පෙනුම එක්ක ගොඩාක් වෙලාවට මට ලැබෙන්නේ අහිංසක චරිත. ඒ වුණාට මමත් ආසයි ඒකෙන් මිදිලා මං එච්චර අහිංසක නෑ කියලා ප්‍රේක්ෂකයට ටිකක් පෙන්නන්න. මං හිතනවා ඉදිරියේදී මට එකිනෙකට වෙනස් චරිත ලැබෙයි.




රඟපාන සීමාව ඇතුළෙදි සෙනාලි ඕන දේකට ඔට්ටුයිලු නේද?




ඇත්ත ඇත්ත. ම‍ං රඟපාන සීමාව ඇතුළෙදි ඕන දේකට ඔට්ටුයි.


එහෙනම් රඟපාන්න ගිහින් වුණු අමතක නොවෙන සිද්ධි එහෙම ඕන තරම් ඇති නේද?




අම්මේ ඕන තරම් තියෙනවා. මගේ පළමුවෙනිම චිත්‍රපටය උනු "සිරි පැරකුම්" එකේ ගඟේ නාද්දි කිඹුලකුට අහුවෙන දර්ශනයක් තිබුණා. අධ්‍යක්ෂවරයා මට කිව්වා මං වගේ ඩමියක් දාලා ඒක කරමු කියලා. ඒත් මං චණ්ඩියෙක් වගේ කිව්වා මමම ඒක කරන්නම් කියලා. අන්තිමේදි ගල්වල එහෙම වැදිලා තුවාලත් වෙලයි නැවතුනේ. කබඩි චිත්‍රපටයෙත් ඔහොම සිද්ධියක් වුණා. ඒකේ මට ලයිට් හවුස් එකක ජනේලයකින් පහළට පනින්න තිබුණා. එදත් මං ඒක කරන්නම් කියලා කළා. එදා නම් ජීවිතේ පළමුවෙනිම සැරේට මට මරණ බයත් දැනුනා.




 කැමරාව ඉදිරියේ ඔබේ පෙම්වතා කරගන්න කැමැති නළුවා කවුද කියලා. කියන්න පුළුවන්ද?




 එහෙම කෙනෙක් නෑ. අධ්‍යක්ෂවරයා මට දෙන කෙනා එක්කනේ රඟපාන්න වෙන්නේ. දැනට අකිල ධනුද්දර, හේමාල් රණසිංහ වගේම සජිත අනුත්තර එක්ක ම‍ං රඟපාලා තියෙනවා. ඒ නිසා එතැනින් කෙනෙක් ලැබෙනවා නම් ලේසියි.


අපි ඔබේ පෞද්ගලික ජීවිතේ දිහාට හැරුනොත් පසුගිය අවුරුදු කිහිපය නම් එච්චර සුබදායක වුණේ නෑ නේද?




 ඒක ඇත්ත. ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. ගෙවුණු අවුරුදු කීපයෙදි මං ඒක හොඳටම අත්වින්ඳා.




කෙළින්ම කිව්වොත් ගෙවුණු අවුරුදු කිහිපයේ ඔබට ජීවිතේ ගොඩාක් දේවල් නැතිවුණා?




අනේ ඔව්. මගේ ජීවිතේ තිබුණු වටිනාම දේ මට නැතිවුණා. ඒ අම්මයි තාත්තයි. ඒ එක්ක මං මානසික අතින් බිංදුවටම වැටුණා. හැබැයි මගේ පවුලේ අය, මගේ යාළුවෝ සහ මගේ රසික රසිකාවියෝ දීපු ශක්තියෙන් මං අමාරුවෙන් ආයෙත් නැගිට්ටා.


සෙනාලිට අම්මා තාත්තා නැති අඩුව දැනෙන්නේ කොහොමද?




ඒක මෙහෙම වචනයෙන් කියන්න හරි අමාරු දෙයක්. අපේ පවුලේ එකම ළමයා මං හින්දා මට එයාලා පුදුමාකර විදිහට ආදරේ කළා. මමත් එහෙමයි. ඒත් එක්ක එයාලා නැති අඩුව මට පුදුම විදිහට දැන් දැනෙනවා. දැන් මට තියෙන්නේ එකම ඉලක්කයයි. ඒ අම්මා තාත්තා දෙන්නා ඒ අයගේ හීනත් කැප කරලා දවසක මාව ගෙනියන්න හදපු තැනට කොහොම හරි මං යන එක.




අපිටත් කියන්න පුළුවන්ද සෙනාලි ඒ තැන මොකක්ද කියලා?




අපි ඉස්සර හිටියේ එංගලන්තයේ. මට නිළියක් වෙන්න ආසාවක් ආවේ ඔය අතරේ. පස්සේ අම්මා මාවත් අරගෙන මාව නිළියක් කරන අදහසින් ලංකාවට ආවා. මගේ තාත්තා තමයි ඒ හැමදේම පිටිපස්සේ හිටියේ. එයාලට ඕන වුණා මං ලංකාවේ විශිෂ්‍ටතම නිළියක් වෙනවා දකින්න. ඒ කියන්නේ මගේ නැන්දා මාලනී ෆොන්සේකා මහත්මිය වගේ. දැන් මටත් ඕන එතැනට යන්න.


සෙනාලිට අම්මත් එක්ක ලොකු බැඳීමක් තිබුණලු නේද?




ලොකු බැඳීමක් තිබුණා. ඒ කියන්නේ මං එයාට ඕනම දෙයක් කියනවා. නිකමට හිතන්න කොහෙදි හරි මගෙන් පිරිමි ළමයෙක් යාළු වෙන්න ඇහුවා කියලා. මං ගෙදර ඇවිත් ඒක පවා අම්මට කිව්වා. ඒ වගේ බැඳීමක් අපි අතරේ තිබුණේ. ඒත් මට හිතෙනවා එයාලා කොහේ හරි ඉ‍ඳන් මගේ දිහා බලාගෙන ඇති කියලා.




ඔබ තනිවුණු වෙලාවේ ඔබේ රසික රසිකාවියෝ ඔබත් එක්ක හිටියා නේද?




අනේ ඔව්. මං මේ හැමදේම අතෑරලා දාපු වෙලාවල් පවා තිබුණා. ඒ හැමවෙලේම එයාලා මාව ධෛර්යයමත් කළා. අන්න ඒ ආදරේට මමත් එයාලට ආදරෙයි.


සෙනාලිට ආදරයක් ගැන හිතන්න දැන් කාලේ හරි කියලා හිතිලා නැද්ද?




ඒක මෙහෙමයි. ආදරේ කියන එක අපේ ජීවිතේට අනිවාර් යෙ න්ම ඕනේ. ඒත් ඉතින් හිතුමනාපෙට ආදරයක් ගැන හිතන්නත් බෑනේ. මං ඒ හැමදේම කාලයට භාරදීලා තියෙන්නේ. හරිම කාලෙදි ඒවා ජීවිතේට ලැබෙයි.




ඉස්සරට වඩා පෙනුම වෙනස්වෙලා ඇයි? ටිකක් මහත්වෙලා වගේ?




මගේ ජීවිතේ නරක කාලයක් ආවා. ඒත් එක්ක මං මානසිකව වැටුනා කියලා මං කලිනුත් කිව්වනේ. අන්න එතැනදි මට මාව මගඇරුනා. ඒ කාලේ මං මාව හරි විදිහට බලාගත්තේ නෑ. කෑම පාලනයක් කළේ නෑ. ව්‍යායාම කළේ නෑ. ඉතින් මහත් වුණා.


පසුගිය කාලේ ඔබ නිවේදන වැඩත් කළා දැක්කා. දැන් නිවේදන වැඩකටයුතු කරන්නේ නැද්ද?




ආරාධනා නම් ගොඩාක් එනවා. ඒත් මගේ ඇඟේ ඉන්නේ රංගන ශිල්පිනියක් නිසා ඒ දේවල් භාරගත්තේ නෑ. ඒත් හොඳ දෙයක් ලැබුණොත් ආයේ සලකලා බලනවා.




අවසාන ප්‍රශ්නය සෙනාලි අනාගතය ප්ලෑන් කරලා තියෙන්නේ කොහොමද?




මං එහෙම ජීවිතේ ගැන හරි ලොකුවට ප්ලෑන් තියාගෙන ජීවත් වෙන්න ආස නෑ. මොකද පහුගිය කාලේ වුණු දේවල් එක්ක ජීවිතේ කියන දේ ගැන මම දැන් හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. ඒත් මට ලොකුම ලොකු ආසාවක් තියෙනවා දවසක ලංකාවේ හොඳම නිළිය වෙන්න.




Previous Post Next Post