හොර ඡන්ද දැම්මා නම් ජනප්‍රිය නිළිය වෙන්න තිබුණා-අවිශ්කා උමයංගි




මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මාන කාණ්ඩයේ අවසාන පස්දෙනා අතරට තේරුණ නිළියක් තමයි අවිශ්කා උමයංගි කියන්නෙ. ඇය එස්.එම්.එස්. ඡන්ද ව්‍යාපාරයක් මගින් ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලබාගන්න උත්සාහ කළා යැයි සමාජ මාධ්‍යවල කටකතා පැතිරිලා තියනවා. ඉතින් ඒ ගැන ඇත්ත දැනගන්න අපි අවිශ්කාව සම්බන්ධ කරගත්තා.




සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියට හිමි සම්මාන කාණ්ඩයේ අවසාන පස්දෙනා අතරට ආපු එකගැන මොකද හිතන්නේ?




ඇත්තටම සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියට නිර්දේශ වුණ නිසා තමයි මම දැනගත්තෙ මට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත රසිකයො පිරිසක් ඉන්නවා කියලා. සම්මාන උළෙලෙ පවත්වන්න දිනය තෙක්ම ඔවුන් මට එස්.එම්.එස්. කරලා තරගයේ පෙරමුණට ගෙනල්ලා තිබ්බා. ඒ ආදරයට ඇත්තටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.


ජනප්‍රිය නිළියට හිමි සම්මානයට නිර්දේශ වෙන්න රඟපාපු ටෙලි නාට්‍යය මොකක්ද?




2018 වසරෙ ටී.වී. දෙරණ නාළිකාවෙ අවුරුදු කුමාරි විදිහට ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න පුළුවන් වුණේ. මම කලින් සංගීතේ, හිතුවක්කාර වගේ ටෙලි නාට්‍යයවල රඟපෑවා. හැබැයි මෑතකදි නම් මම රඟපෑවෙ ටී.වී. දෙරණ නාළිකාවෙ විකාශය වුණ රෝස සුදුයි ආදරියේ ටෙලි නාට්‍යයේ. ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වුණ නෙතුශිගේ චරිතය නිසා තමයි මාව ජනප්‍රිය නිළියට හිමි සම්මානයට නිර්දේශ වුණේ.




සමාජ මාධ්‍යවල කටකතාවක් පැතිරිලා තියෙනවා සල්ලි වියදම් කරලා කරපු එස්.එම්.එස්. ඡන්ද ව්‍යාපාරයකින් සම්මානය ගන්න උත්සාහ කළා කියලා...




ලක්ෂ ගණන් වියදම් කරලා ඡන්ද ව්‍යාපාර කරන්න මට ඇත්තටම සල්ලි නැහැ. මගේ සමාජ මාධ්‍ය ගිණුම්වල විතරයි මට එස්.එම්.එස්. මනාප ලබාදෙන්න කියලා ප්‍රසිද්ධ කෙරුවේ. ඒ ඇරුනහම අපේ පවුලෙ අය නෑදෑයො යාළුවො අතර ප්‍රසිද්ධ කළා මම වෙනුවෙන් මනාප පළ කරන්න කියලා. එතනින් එහාට ඡන්ද ව්‍යාපාර කරන්නවත් කාටවත් පගා දෙන්නවත් මම ලක්ෂපතිනියක් නෙමෙයි. අනිත් එක එහෙම හොර ඡන්ද ව්‍යාපාරයක් කළා නම් සම්මානය නොගෙන අවසාන පස්දෙනා අතරට විතරක් ඇවිත් නිකන් ඉන්නේ නැහැනේ. හොර ඡන්ද දැම්මනම් ප්‍රධාන නිළිය වෙන්න තිබ්බා. ඇයි මම එහෙම කරන්නේ.


සම්මානය ලැබුණේ නැති එකට දුකද?




අනේ නැහැ. මට ඒක ජීවිතයේ තවත් සුන්දර අත්දැකීමක් විතරයි. මට තව ක්ෂේත්‍රයේ ඉස්සරහට ගිහින් සම්මාන ගැන හිතන්න පුළුවන්.




කටකතා හැදෙනවා වැඩියි කියලා ආරංචියි?




කටකතා කියන්නෙ නිළියකට එක්තරා විදිහක ආභරණයක් කිව්වොත් හරි. නරක විදිහේ කටකතා වගේම හොඳ විදිහේ කටකතාත් මට හැදිලා තියෙනවා. දණිස්සට උඩ ඇඳුම් ඇන්දහම සමහරු මට කියලා තියනවා නිරුවත පෙන්නන නිළියක් කියලා. තරුණ කාලෙදී ඇඟ ලස්සනට තියෙනකොට විතරයි විලාසිතා කරලා ඉන්න පුළුවන්. ඒ නිසා කටකතා ගණන් ගන්නෙ නැතුව මම කැමති විලාසිතා කරනවා. තවත් සමහරු කියනවා මගේ ඇඟේ හැඩය සරාගී බොලිවුඩ් නිළියක් වගේ කියලා. හැබැයි එහෙම කියනවට නම් මම කැමතියි.




සරාගී විදිහට ඇඟ තියාගෙන ඉන්නෙ කොහොමද?




කිසිම කෘතිම ක්‍රමයකින් නෙමෙයි සරාගී ඇඟක් මට ලැබිලා තියෙන්නෙ. අපේ අම්මගෙත් ඇඟ හැඩට තියෙනවා. ඒ ආරෙට තමයි මගේ ඇඟ සරාගීවෙලා තියෙන්නෙ. මුකුත් නොකර සරාගී හැඩයේ ඇඟක් ලැබිලා තියෙන එක ගැන මම සතුටු වෙනවා වගේම ඒක මට ආශිර්වාදයක්.


බොලිවුඩ් යන්න අදහසක් නැද්ද?




බොලිවුඩ් නෙමෙයි කොළිවුඩ්වල දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපටයකින් මට ආරාධනා ලැබිලා තියෙනවා. මේ වෙද්දි ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. හැබැයි වෙන රටකට යන්න වෙන නිසා අපේ අම්මයි තාත්තයි ටිකක් ඒකට අකමැතියි.




 රඟපානවට පවුලේ අය කැමති නැද්ද?




අම්මගෙයි තාත්තගෙයි රැකවරණය මැද මම රංගන කටයුතු කරගෙන යන්නේ. කලා ක්ෂේත්‍රයේ වැඩ කරනකොට සමහර ගෑනු ළමයි නොමග යනවා කියලා කටකතා තියෙන නිසා අම්මයි තාත්තයි මුලින් කැමති වුණේ නැහැ මම නිළියක් වෙනවට. හැබැයි කොහොමහරි ක්ෂේත්‍රයට ආවා. දැන් එයාලගේ අවවාද උපදෙසුත් අරගෙන කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යනවා.






Previous Post Next Post