එයා ඇවිත් හිටියේ උපන්දින කේක් එකකුයි මල් පොකුරකුයි අරගෙන- නුවන්දිකා සේනාරත්න




දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ගායන තරුවක් ලෙස කලා අඹරට පෑයූ නුවන්දිකා සේනාරත්න මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ 2020 වසරේ විශිෂ්ටතම ගායිකාව ලෙස සම්මානිත වූවාය. ඒ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණු අසංවර වැස්සක් ටෙලි නිර්මාණයේ තේමා ගීතය ගායනය උදෙසාය. මේ වන විට ඇය බොහෝ දෙනාගේ හදවතේ ගායිකාව බවට පත්වී ඇති බව ද නොරහසකි. රාජ්‍ය සම්මානයකින් පිදුම් ලැබීමේ සතුටු සිතැතිව සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.


ඔබ මෙවර 2020 වසරේ විශිෂ්ටතම ගායිකාව ලෙස රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ දී සම්මානිත වුණා. ඒ ගැන කතා කළොත්?


ඇත්තටම මම හිතුවෙ නෑ මට සම්මාන ලැබෙයි කියලා. රාජ්‍ය සම්මාන උලෙළේ සම්මානයක් ලැබෙනව කියන්නෙම රටක් රාජ්‍යයක් ලැබුණ වගේ. ඒක මට ගොඩක් වටිනවා. රජයක් විසින් ඇගැයීමට ලක්වීම ලොකු සතුටක්. ප්‍රවීණ, දක්ෂ විනිශ්චය මණ්ඩලයකගේ විනිශ්චයට ලක්වීමත් විශේෂයි. මේක මගේ පළවෙනි සම්මානය. ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණු අසංවර වැස්සක් ටෙලි නිර්මාණයේ තේමා ගීතය වන මළහිරු බැස යන සැන්දෑ අහසේ ගීතයෙන් තමයි 2020 වසරේ විශිෂ්ටතම ගායිකාවට මාව සම්මානිත කළේ. එහි පද රචනය කළේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා. මිහිරි ස්වර නිර්මාණය සමන්ත පෙරේරා සර්ගේ. සර් තමයි මට මේ සඳහා ආරාධනා කළේ. මෙහි ගෞරවය ඔහුටත් හිමිවිය යුතුයි.


ඔබ ජනප්‍රිය වුණේ රියැලිටි කලාවෙන් වුණාට ඔබේ කලාවට පිවිසීම සිදු වෙන්නේ ඊටත් කලින්?


ඔව්. 2011 වසරෙදි මං සංගීත විශාරද සම්පූර්ණ කරනවා. 2012 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී A ශ්‍රේණියේ ගායිකාවක් බවට පත්වෙනවා. ඊට පස්සෙ කැම්පස් එකේදි ගොඩක් දක්ෂතා පෙන්නන්න හැකියාව ලැබෙනවා. මුලින්ම මට රූපවාහිනී ටෙලි නිර්මාණයක තේමා ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබෙන්නේ ‘සත් පතිනි‘ ටෙලි නාට්‍යයට. මගේ සංගීත ගුරුතුමා වූ චන්ද්‍රපත්ම ජයසිංහ ඒ සඳහා මට අවස්ථාව ලබාදෙන්නේ. මගේ මේ ගමනේ මඟ පෙන්වන්නා වුණේ ඔහු. පුංචි තිරයේ ඇහුණ මුල්ම ගීතය විදිහට සමන් ලෙනින් අයියා එක්ක ගීතයේ පොඩි කොටසක් ගායනා කළා. ඒ නිර්මාණය පුරාම ඇහෙන පසුබිම් හඬ මගේ. ඊට පස්සෙ ‘කිරුළි‘ ටෙලි නිර්මාණයේ ගීතය ලැබුණා. සියත එෆ්. එම්. එකේ ජිංගල් එකේ තාමත් ඇහෙන පසුබිම් හඬ මගේ. ඊටත් පස්සෙ තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා මේ තරම් ජනප්‍රියත්වයක් ලබාගන්න හැකියාව ලැබුණේ.


අද වෙද්දි ඔබ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඩ්‍රීම් ස්ටාර් එන්න කලින් සංගීත වැඩවලට සම්බන්ධ වෙලා තිබුණත් ඩ්‍රීම් ස්ටාර් හරහා තමයි ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ. දෙරණ නාළිකාවේ වසර ගණනක් පුරා විකාශය වන ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ තේමා ගීතය ගොඩක්ම ජනප්‍රිය වුණා. ඒකෙන් කවර් සෝන්ග්ස් කරපු නිසා ගීතය වගේම ටෙලි නාට්‍යත් ජනප්‍රිය වුණා. ඒ වගේමයි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට රවීන් කණිෂ්ක එක්ක ගායනා කළ ‘මලෙන් උපන් සමනලී‘ ගීතය මේ වෙද්දි මිලියන 17ක් බලලා තියෙනවා. මේ වෙද්දි කරපු හැම නිර්මාණයක්ම වගේ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. ඉදිරියෙදිත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම දෙස් විදෙස් සංගීත සංදර්ශනවලට ආරාධනා ලැබෙනවා.


විවාහ වෙලත් දැන් වසරකට වැඩියි නේද? ඒ හමුවීම ගැනත් කතා කරමු?


ඒකත් රසවත් කතාවක්. එයාගෙ අම්මා මගේ හොඳ ෆෑන් කෙනෙක්ලු. අම්මා මං කියන සින්දුවක් බල බල ඉද්දි අහම්බෙන් වගේ තමයි එයා මාව දැකල තියෙන්නේ. ඒ වෙලාවෙම හිතුණලු මෙයා තමයි මගේ හිතේ ඉන්න කෙනා කියලා. ඊට පස්සෙ මං ගැන හොයලා බලලා ෆේස්බුක් එකෙන් මාව කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරලා. ඒ දවස්වල මං රියැලිටි කම්පෙටිෂන් එක ඉවර වෙලා නිදහසේ හිටිය කාලේ. එයා මට තුන් වතාවක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාල තිබුණා. තුන් වැනි පාර තමයි මං ඇක්සෙප්ට් කරල තිබුණේ. මාස 6ක් 7ක් විතරම එයා දාපු මැසේජ් එකක්වත් මං බලල තිබුණෙ නැහැ. මාව කතා කරවගන්න ඕන නිසා එයා මගේ නමට තිබුණු ඩොමේන් එකක් අරගෙන වෙබ් සයිට් එකක් හදලා මට එව්වා. සාමාන්‍යයෙන් සමහරු ඩොමේන් අරන් ලොකු ගණන්වලට දෙන්න බලාගෙන ඉන්නවනේ. මං හිතුව මෙයත් එහෙම කෙනෙක් කියලා. ඒකට නම් මට තරහා ගියා. ඒත් තරහ කරගෙනත් බෑ. පළමු වතාවට එදා මං මැසේජ් එකක් දැම්මා මගෙ ඩොමේන් එක මට ඕන කියලා. ඒ පාර එයා මාව දිගටම කතාවට අල්ල ගත්තා. එහෙම තමයි කතාබහ පටන් ගත්තේ. මගේ උපන්දිනේට කලින් දවසේ එයාගේ අයිය කෙනෙක් එක්ක අපේ ගෙදර හොයාගෙන ඇවිත් තිබුණා. එදා මං කොළඹ ප්‍රෝග්‍රෑම් එකක හිටියේ. කොහොම හරි මං නැති බව දැනගෙන දෙරණෙන් අහල මං ඉන්න තැන හොයාගෙන ආවා. මං වැඩසටහන ඉවර වෙලා වාහනේටත් නඟින්න සූදානම් වෙලා හිටියේ. එයා ඇවිත් හිටියේ උපන්දින කේක් එකකුයි මල් පොකුරකුයි අරගෙන. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෝ එහෙම තෑගි දෙනවනේ. ඒ නිසා මට වෙනසක් දැනුණෙ නෑ. එදා තමයි මං එයාව මුලින්ම දැක්කේ. කතාබහ කරද්දි තේරුණා මෙයා හොඳ කෙනෙක් කියලා. දවසක් අපි හමුවුණා. ඒ වෙද්දි මගේ හිතෙත් කැමැත්තක් ඇති වෙලා තිබුණ නිසා එයා කරපු යෝජනාවට මං කැමති වුණා. එයා හොඳ කෙනෙක් කියලා අඳුනගනිද්දි දන්නෙම නැතුව ආදරයක් බවට පත්වුණා. එයා ජයංග කෞෂල්‍ය. සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. අවුරුදු දෙකකට පස්සේ අපි විවාහ වුණා. විවාහ වෙලත් දැන් අවුරුද්දකට වැඩියි.



Previous Post Next Post