මට රූප දෙකක් නෑ කසුන් නොවෙන්න අද මම මෙතන නෑ-මාධවී ඇන්තනී




මාධවී ඇන්තනී මේ නම පුංචි තිරයටවත්, රිදී තිරයටවත් අලුත් නමක් නෙමෙයි , මේ රූපය දශක දෙකකටත් එහා රූප පෙට්ටියට සමීපයි. කලාව ඕපපාතිකයක් නොවුණු ඇය දැන් කසුන් මහේන්ද්‍ර හීනටිගල යන නිර්මාණ අධ්‍යක්ෂකවරයාට ප්‍රේම කරන බව රහසක් නෙමෙයි. ඒ නිසා ඔවුන්ගේ ආගිය තොරතුරු රසඳුන අතරට ගෙන එන්න හිතුවා.


මාධවී කසුන් එක්ක එක් වෙලා අලුත් වැඩකට අත ගැහුවා නේද? කොහොමද නමෝනාම. මුලින්ම ඒ ගැන කියමු..?


නමෝනාම කියන්නේ නාමකරණ සේවයක්. අපි කරන්නේ අලුත උපන් දරුවන්ට, අලුත් ව්‍යාපාර, යූටියුබ් චැනල්, කලා නිර්මාණ වගේ ඕනෑම දේකට අවශ්‍යතාව අනුව කැමති ආකාරයට නම් සාදා දෙන එක. සිංහල, දමිළ, මුස්ලිම්, ක්‍රිස්තියානි මේ හැම ආකාරයකටම අපි නම් හදා දෙනවා. කාලෙක ඉඳන් අපි දෙන්නම පුද්ගලිකව මේ කටයුත්ත කරා. දැන් නිල වශයෙන් අපේ හැකියාව ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න විවෘත කරලා තියෙන්නෙ. නමෝනාම (Namonama) Facebook පිටුව හරහා අපව සම්බන්ධ කරගන්න පුළුවන්.


පුංචි තිරයේ වගේම සිනමාවේ මාධවී ව දකින්නේ කලාත්මක නිර්මාණවලින්. ඉන් ඔබ්බට ගිහිං සරල නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද ..?


සරල ජනප්‍රිය තලයේ නිර්මාණයක් ගුණාත්මක නිර්මාණයක් නම්, මට ඒ ගැන ගැටලුවක් නෑ. නමුත් වෙ‍ෙළඳපොළ වෙනුවෙන් කලාව කිරීමට වඩා මම කැමතියි කලාව වෙනුවෙන් නිසි වෙ‍ෙළඳ වටිනාකමක් ලබා දෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න.


කලාත්මක නිර්මාණ පස්සේ යන්නේ පියාගේ සලකුණ මකන්න බැරි කමටද, එහෙම නැත්තම් එය ඔබම දාගත් සීමාවක්ද..?


සේදරමන් නැටුම් ගුරුන්නාන්සේ (අපිට සුදු සීයා) ජැක්සන් ඇන්තනී නම් මගේ අප්පච්චිට කිවුවෙ “මා පුතා පිටිය හදාගෙන නටපං. අපි නටන්න ඕන අනුන්ගෙ පිට්ටනිවල නෙවෙයි” කියලා. ඒ කතාව මගේ චින්තනයට බලපෑවා. මම ගුණාත්මක කලාව විශ්වාස කරන කෙනෙක්. මගේ පියා ගුණාත්මක නිර්මාණවලට ඉහළ වෙළඳපළ අගයක් ජනප්‍රියත්වයක් හිමි කරගත් කෙනෙක්. ඔහු නිර්මාණ සෑහෙන ගොඩක පෙනී හිටියේ නෑ. හැබැයි ඒ සුළුතර පෙනීහිටීම් ගුණාත්මකයි. කසුන් හමුවීමත් එක්ක කලාව සහ එහි පිටුපස ඇති සමාජ දේශපාලනික අරුත ගැන මම බොහෝ දේවල් උගත්තා. ඉතින් දැන් නියාමනයක් සහිතවයි හරවත්, ගුණාත්මක නිර්මාණවලට මගේ හැකියාව යොදවන්නේ.


දැන් බොහෝ දෙනා ජනප්‍රිය වෙන්නේ සරල දීර්ඝ නාට්‍යවල රඟපාලා. ඒ ගැන මාධවීට මොකද හිතන්නේ ..?


එක්කො ආර්ථික හේතු නිසා වෙන්න පුළුවන්. ජනප්‍රියත්වයට කැමැත්ත හෝ ඔවුන්ට ඇති ඉල්ලුම නිසා වෙන්න පුළුවන්. ලැබෙන අවස්ථාව මඟ හරින්න අකැමැති වීම වෙන්න පුළුවන්. ඒක කලාශිල්පීන්ගේ නිදහස. මං අනුන් විනිශ්චය කරන කෙනෙක් නෙවෙයි. ඒ අයට ඒ අය වෙන්න අයිතිය තියෙනවා. මට මගේ මතයක් දරන්න ශුද්ධ වූ නිදහසක් තියෙනවා.


මාධවී ඇන්තනී කිවුවම දන්නවා කාගේ කවුද කියලා, අප්පච්චි හදාගත් අනන්‍යතාව මත්තෙ මාධවි හැදුණු කෙනෙක් ද..?


අප්පච්චි සහ අම්මා නිසාමයි කලාවට එන්න මං තුළ ආසාවක් උපන්නේ, කුසලතා පිහිටියේ. අප්පච්චි කලාවේ රීති සහ වෘත්තීය විනය පිහිටුවා අප පුහුණු කළේ හපන් පැදුරේදීමයි. ඒක මගේ උරුමය. ඒත් කවදාවත් අප්පච්චි මං වෙනුවෙන් නිර්මාණ කරලා නෑ. ආසාවට කියලා මම අප්පච්චිගෙ කිසිම නිර්මාණයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරලා නෑ. ගීත ගායනා කළ චිත්‍රපට දෙක සම්පූර්ණ කරන්න අප්පච්චි හිටියේ නෑ. අප්පච්චි මට මඟ පෙන්නුවා, අධ්‍යාපනයේ වටිනාකම කියා දුන්නා, මහන්සි වෙලා ඉගෙනගන්න සැලැස්වූවා මිසක පුද්ගලික ආයතනවල ඉගැන්නුවේ නෑ. ඔහුගේ හැඳුනුම් පාවිච්චි කරලා රැකියා නිල තල ලබා දීලා නෑ. ඒ ඔහුට මාව මගේ ස්වශක්තියෙන් හිටගන්න පුළුවන් ශක්තිමත් ගැහැනියක් කරන්න අවශ්‍ය වූ නිසා වෙන්න ඇති. අප්පච්චි සාර්ථක වෙලා කියලා අද බොහෝ අය මට කියනවා. මටත් ඒක දැනෙනවා.


විවාහ දෙකක් කඩාබිඳ දා අලුත් කූඩුවක් හදන්න යනවා කියලා පහුගිය කාලේ විවේචන තිබ්බා, හිත රිදුණු තැන් තිබ්බද සමාජ කතා එක්ක..?


ඔව්. හුඟක් දුක හිතුණු තැන් තියෙනවා. හැබැයි එහෙම විවේචන කරන්නේ විනිශ්චය කරන්නේ ඔවුන් මගේ ජීවිතේ දවසක් පාසා වචනයක් ගාණේ අහලා දැකලා නැති නිසා බව හිතා ඔවුන්ට සමාව දුන්නා. මගේ අසරණකම ඔවුන් දුටුවා නම්, මගේ අප්පච්චි වගේ මාව තේරුම් ගනීවි. මගෙ ළඟින්ම හිටපු, සියල්ල දැනගෙනත් වාසියට පිටුපාපු ඥාතියෝ, යෙහෙළියෝ, යහළුවෝ අදටත් මං ගැන බොරු චිත්‍රයක් සමාජගත කරමින් ඒවායින් වාසි ලබා ගන්නවා. හිත රිදවලා අසරණ කරලා ඊරිසියාකාර කුහක සතුටක් භුක්ති විඳිනවා. ඒවායින් කලකිරිලා මම මුළුගැන්වෙනවාට ඒ අය ආසයි. මම උත්සාහ කරන්නේ ඒ අයගෙන් බේරිලා අපේ පාඩුවේ පරක්කු වෙලා හරි ගොඩනඟා ගත්තු ස්ථාවර ජීවිතේ රැකගන්න. බලෙන්ම කරන අනවශ්‍ය මැදිහත්වීම් නිසා ඒක හරි අමාරු වැඩක්. නමුත් කසුන් බුද්ධිමත් කෙනෙක් නිසා “බාධක නම් තව එන්නේ – අපි ආදරයෙන් ඉන්නේ” කියලා ජීවත් වෙනවා


කවුරු මොනවා කිවුවත් කසුන් එක්ක ජීවත් වෙන්න ගත් තීරණය හරි එකක් කියලා හිතනවද..?


ඔව්. අපි අපේ ලෝකයක් ගොඩනඟා ගත්තේ කිසි දාක අපි දෙන්නගෙ ජීවිතවලට නොආපු තරම් බාධක අභියෝග රැසක් මැදයි. විෂඝෝර මිනිස්සු ගෑනු උගුල් අටවන අතරේ අපිට අපේ අප්පච්චි සහ කසුන්ගේ තාත්තා දෙන්නාම නැති වුණා. තමුන්ට තියෙන සතුට සැනසීම වෙන කෙනකුට ලැබෙනවට සමහරු කැමති නෑ. කැමති නම් ඒ ඔවුන්ට ඒකට ක්‍රෙඩිට් එක හිමි වෙනව නම් විතරයි. මට එහෙම රූප දෙකක් නෑ. කසුන් නොවෙන්න අද මම මෙතන නෑ. එයාට මාව එපා කරවන්න හුඟක් අය උත්සාහ කළා. තාමත් කරනවා. ස්වර්ගයේ මල් පිපෙන්න අපායට මුල් අදින්න ඕනෙ කියලා අප්පච්චි කිවුවා. දැන් මුල් නම් අපායේ. මල් පිපෙන පරක්කුව විතරයි ඉතුරු.


කලාව නිසා මුණගැහෙන ඔහු පෞද්ගලික ජීවිතේට ඇතුළත් කර ගත්තේ ජීවත් විමේ, හා කලාවේ රැඳිමේ පහසුවටද..?


කසුන් ස්වයංජාත කලාශිල්පියෙක්. ලේඛකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්. හමුවෙන්න කලින් සිටම අපි වෘත්තීය කලා ශිල්පීන්. වෛද්‍යවරු දෙන්නෙක් හෝ ගුරුවරු දෙන්නෙක් එකතු වුණොත් ඔබ ඔය ප්‍රශ්නය අහයිද? අපේ අම්මයි අප්පච්චියි දෙන්නත් කලා ශිල්පියෝ. ඒවාට කියනවනේ “කලා පවුල්” කියලා. “ගුරු පවුල්”, “වෛද්‍ය පවුල්” “නීතිඥ පවුල්” අපි අහලා නෑනෙ. ඇයි ඉතින් මේ බෙදීමක්? එයාලට අනුව අපේ පවුලත් කලා පවුලක්. හැබැයි එතන අපි අතරේ තරගයක් නෑ. තියෙන්නෙ ඒකීය ගමනක්.


කසුන් ආදරේට විවාහයට ආරාධනා කරද්දී බයක් හිතුණේ නැද්ද ජීවිතේ ආයේ වරද්දා ගන්නේ නැතුව තනියම ජීවත් වෙන එක හොඳයි කියලා…?


ආදර යෝජනා කරද්දි මමවත් මට ආදරේ කළේ නෑ. ඒත් විවාහය ගැන තීරණය ගත්තේ අපි අපිව කාලයක් ඇසුරු කරලා තේරුම් ගත්තාට පසුව මිසක් කාගේවත් බලකිරීමකට හෝ හදිසි හවුල් සැණකෙළියකට සහභාගි වෙන්න හින්දා නොවන නිසා බය හිතුණේ නෑ. මං මාව අත්හරින්න තීරණය කරලා ඉද්දි කසුන් මාව දිරිමත් කළා. ඔහුගෙ යෝධකම පිරිමිකම තියෙන්නෙ පුම්බගත්තු මස් ගොඩක හෝ ගෑනු පාගලා හදාගත්තු පුහු ගෝත්‍රික ඇල්ෆා පිරිමි ඇඳුමක නෙවෙයි. ඔහුගේ විශ්වසනීයත්වය, කියවීම සහ පරිචය තුළයි කසුන් යෝධයෙක් වෙන්නෙ. ඒ නිසා මට සුබවාදීව ජීවිතේ අලුතින් පටන් ගන්න පහසු වුණා.


ආදරෙන් ජීවිතෙන් පැරදිලා ඉද්දි මුණ ගැහුණු කසුන්ව මාපියන්ට හඳුන්වා දෙද්දි ඔවුන්ගේ ප්‍රතිචාර කොහොමද?


අප්පච්චි හැමදාම කසුන්ගේ කියුම් කෙරුම් අගය කළා. සුදක්ෂයෙක්, සාරගර්භයි, විශිෂ්ටයි කිවුවා. එහෙම මං ළඟ තියෙන අප්පච්චි එක්ක කරපු චැට් තාම ආසාවෙන් දුකෙන් කියවනවා. ආදරේට හුඟක් බාධක ආවේ දෙමාපියන්ගෙන් නම් නෙවෙයි වෙනත් අවශේෂ අයගෙන්. අනතුරට ලක් වෙලා අප්පච්චි රෝහලේ ඉන්දැද්දි මං ඔහු එක්ක කසුන් ගැන බොහෝ දේ කතා කළා. අප්පච්චි සතුටු වුණා කසුන් මං එක්ක නොසැලී ඉන්න විදිහ ගැන. අම්මා හැමදාම කැමති වුණේ මම සතුටින් ඉන්නවටයි. නොයෙක් බොරු කේලම් නාහා අපිට ආශීර්වාද කළා. අපි බොහොම ප්‍රවේශම් වෙනවා අපේ කුටුම්බ සතුටට හානි කරන භයානක දෙබිඩි මිනිස්සු ළං කරගන්න එක ගැන. කසුන්ගෙ අහිංසක අම්මා සහ තාත්තාත් අක්කාත් නැන්දාත් පළමු මොහොතේ සිටම මාව ඔවුන්ගේ කෙනෙක් විදිහට පිළිගත්තා, ආදරේ කළා.


වැටෙද්දි නැගිටින්න අත දෙන්න දැන් ඉන්නේ අම්මා විතරයි, අප්පච්චි නැහැ, අප්පච්චිගේ මතක භූමදානය නොකර හිතේ කොනක තියාගෙන ජීවත් වෙන්න දුවකට අමාරුයි ..?


අප්පච්චි නැති වෙච්ච තැන පුරුෂ මූලික සමාජයක මට තනිව රැකෙන්න හරි අමාරු වුණා. මගෙ තනිකම හංවඩු ගැහුණා. බොරු පිරිමි ආස නෑ අයුක්තියට අසාධාරණයට එරෙහි වෙන, හඬක් තියෙන ගෑනුන්ට. මම ආස නෑ මගෙ අප්පච්චි නොපෙණෙන බලවේගයක් වෙච්ච එකට. එයා තමයි මගෙ හොඳම යථාර්ථය. මොකද එදා භූමදානය කළේ මතක නෙවෙයි. අප්පච්චිගෙ මතක මං ඉන්නකන්ම හුස්ම ගන්නවා.


කසුන් කියන්නේ දක්ෂ ලියන්නෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්, ඔහුත් එක්ක එක් වෙලා අලුත් නිර්මාණ කරන්න අදහසක් නැද්ද..?


කසුන් ලියා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයක් සහ චිත්‍රපටයක් මේ වසරේදී වැඩ අරඹනවා. අපේ එකතුවෙන් ගීත නිර්මාණ දෙකක් එනවා. අප්පච්චිගේ එක ගෙයි සොකරි සහ සම්බුලා චිත්‍රපටවල ගායනාත් නුදුරු අනාගතයෙදි අහන්න පුළුවන්. අනාගතය සාර කරගන්න වර්තමානය නුවණින් සීරුවෙන් “කාටවත් වෙඩි නොතියා කාගෙන්වත් වෙඩි නොකා”ඉන්න උත්සාහ කරනවා. හැබැයි පවුලේ ආරක්ෂාව සහ සතුට හමුවේ පත්තිනි අම්මා වෙන්නෙත් කාලි අම්මා වෙන්නෙත් ගැහැනියක් තමයි! මමත් ඔය දෙකටම ඔට්ටුයි.




Previous Post Next Post