දරුවො දෙන්නා විතරයි මට මේ ලෝකෙ අත්හරින්න බැරි එකම දේ - අයෝධ්‍යා මිහිරාවි




අයෝධ්‍යා මිහිරාවි කියනවට වඩා පබළුහි සයුරි කිවුවම නම් ඇයව කවුද නොදන්නේ. එක් යුගයක ආදරයක් සයුරි කියන්නේ. සුන්දර රූසපුවක් හිමි අයෝධ්‍යා මිහිරාවිව පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් අතරට ආවේ අහිංසක චරිතවලින්. ඇය රඟපෑ පබළු සහ වරාමලී නාට්‍යයන්හි චරිතවලට ප්‍රේක්ෂකයින් අදටත් කැමතියි. කාලයකට පස්සේ අයෝධ්‍යා මිහිරාවි (සයුරි ) මාධ්‍ය වැඩසටහනකට එකතු වීමත් එක්ක සයුරි ගැන දැන ගන්න බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා.


සයුරි ඉවර වෙලා අවුරුදු 12කට වැඩියි. අදටත් සයුරිව මතකයි. ඒ ගැන දැනෙන හැඟීම කොහොමද?


ඒ හැඟීම ගැන කියන්න වචන නැහැ. මම හිතන්නේ ඒ චරිතය මට මගේ ජීවිතේට ලැබුණු ලොකුම ආශීර්වාදයක්. කිසිම කෙනෙක්ට හම්බුණේ නැති දෙයක් මට ලැබිලා තියෙන්නේ. මම අවුරුදු 13ක් කිසිම කලා නිර්මාණයකට දායක වුණේ නැහැ. අඩුම තරමේ රූපවාහිනී වැඩසටහනකටවත් ආවේ නැහැ. ඒත් අදත් සයුරිට ආදරේ කරන ප්‍රේක්ෂකයින් ඉන්නවා. සමාජ මාධ්‍යය ඔස්සේ ඒ මතක අලුත් කරනවා. මම හිතන්නේ කලාකරුවෙක්ට ලැබෙන්න ඕනේ වටිනාම දේ ඒක. මම වාසනාවන්තයි එහෙම ආදරයක් ලබන්න. සයුරිට ආදරේ කරපු අය වගේම සයුරි වගේ ජීවත් වුණු අය ඕනේ තරම් ඉන්නවා. සයුරි කියන්නේ මගේ පළමු රංගනය. ඒ රංගනයට අදටත් ලැබෙන ආදරේ වචන කරන්න මට වචන මදි.




විවාහයත් එක්ක රංගනයට සමුදුන්නෙ සැමියාගේ කීමටද?


අනේ නැහැ ඔහුගේ කීමට නම් නෙවෙයි මම රංගනයට සමුදුන්නේ. පබළුවලින් පස්සේ වරාමලී සහ සසර සැරිසරනතුරු නාට්‍යයේ. ඒ හැම නිර්මාණයකටම මට ඔහු සහයෝගය දුන්නා. කිසිම වාරණයක් දැම්මේ නැහැ. අදටත් ඔහු මට ලොකු සහයෝගයක් දෙනවා.


රංගනයෙන් ඈත්ව ගෙවුණු කාලය කොහොමද?


අපරාදේ කියලා හිතෙන වෙලාවන් තියෙනවා. නැත්තේ නැහැ. ඒ වුණාට මගේ ඒ කාලය යෙදෙවුවේ මගේ දරුවන් වෙනුවෙන්. මේ ලෝකයේ හැම කාන්තාවක්ම කැමතියි තමන් කවදා හරි දවසක අම්මා කෙනෙක් වෙන්න. මම දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණා. හොඳ ස්වාමිපුරුෂයෙක්ට හොඳ බිරියක් වුණා. ගෙවුණු අවුරුදු 13ක කාලය තුළ මම මගේ පවුල වෙනුවෙන් සෑහෙන්න කැපවුණා. ඒ කාලය මට ආපහු ගන්න බැහැ. දරුවන්ගේ හුරතල් බලලා ඒ අය ලොකු වෙනකම් ඉඳලා තමයි නැවත මම ආවේ.


ඒ කාලය තුළ රූපවාහිනී වැඩසටහනකටවත් එන්න හිතුණේ නැද්ද?


නැහැ. ඇත්තටම මට එහෙම හිතුණේ නැහැ. ඒ කාලයේ අද වගේ සමාජ මාධ්‍යය ප්‍රබල නැහැ. මට නැවත මේ අවස්ථාව වුණත් ලැබෙන්නේ මගේ මිලාෂා කියන නංගි එක්ක කරපු ටික් ටොක් එක නිසා. ඒක වයිරල් වුණා. ඒකත් එක්ක මතකය අලුත් වුණා. ඒ නිසා


නැවත රංගනයට එන්න ද මේ හදන්නෙ?


ගොඩක් අය කියනවා අනේ ආයේ රඟපාන්න කියලා. මම ආසයි දරුවෝ එක්ක ගත කරන මේ ජීවිතේට. හොඳ නිර්මාණයකට ඇරියුම් ලැබුණොත් රඟපාන්නත් ආසයි. අඬන චරිත නම් මට ලේසියෙන් කරන්න පුළුවන්. මම ගොඩක් සංවේදී කෙනෙක් නිසා මට ඉබේටම ඇඩෙනවා. බොහෝ විට ඕනෙම කෙනෙක් රඟපාන්න ආසයි. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. තමන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවන් අහිමි කර ගන්න කවුරුත් කැමති නැහැ. මටත් අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන ආයේ සිතා බලයි.


මඟ හැරුණු කාලය ගැන දුකක් නැද්ද?


නැහැ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම ඒ අයගේ ලෝකය තුළ ජීවත් වෙනවා. මට ලැබෙන ආදරේ මගේ දරුවන්ටත් ලැබෙනවා. අනේ මේ සයුරිගේ බබාලා නේද කියලා කතා කරනවා. මේ ලෝකයේ වටිනාම දේ මගේ දරුවන් දෙන්නා. ඒ නිසා ඒ මඟ හැරුණු කාලය මට ආයෙත් ඕනෙත් නැහැ. ප්‍රේක්ෂකයින් තවම සයුරිව හොයනවා. මම හිතනවා මගේ හොඳම කාලය තමයි ඒ ගෙවුණු කාලය.


ජීවිතේ දකින්නෙ කොහොමද?


ජීවිතේ කියන්නේ කෙටි කාලයක්. අපි ජීවත් වෙන ඒ කෙටි කාලය තුළ අපිත් අපේ පවුල සහ සමාජය එක්ක හොඳින් ගත කරන එක තමයි හොඳම දේ. හැම දවසක්ම හැම තත්පරයක්ම හොඳින් ගත කරන්න ඕනේ. ජීවිතේ ලැබෙන හැම දේකම සතුට පැත්ත විතරක් දකිමින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනේ. අපිට හැමෝම තෘප්තිමත් කරලා සතුටු කරන්න බැහැ. මුලින්ම තමන් තෘප්තිමත්ව ජීවත් වෙලා සතුටින් ගත කරන්නයි ඕනේ. සල්ලි වුණත් අපිට ජීවත් වෙන්න ඕනේ ප්‍රමාණයට තිබ්බම හොඳටම ඇති. දරුවෝ දෙන්නා විතරයි මට මේ ලෝකය අත්හරින්න බැරිම දේ. ඒ හැර මම නම් කිසිම දෙයකට ආසාවක් ලෝබකමක් නැහැ. මගේ ජීවිතේ විදිහට මම දකින්නේ මගේ දරුවො දෙන්නා. දරුවො දෙන්නා ලොකු වෙනකම් ජීවත් වුණා නම් මට ඒ ඇති. මගේ හස්බන්ඩ්ගෙන් සහ දරුවන්ගෙන් මට ආදරේ ලැබෙනවා.


දරුවන් ගැන කතා කළොත්, එයාලත් කලාවට එන්න ආසද?


ඒ දෙන්නාගෙන් දුව නම් පොඩ්ඩක් ආසයි. එයාට ලස්සනට කතා කරනවා. ඒ නිසා කලාවට ආසාවක් තියෙනවා. හැබැයි ඒ දෙන්නට නිදහස දීලා තියෙන්නේ ඒ අයගේ කැමැත්තට අනුව ඉදිරියට යන්න. දුවට දෙව්මන්ති ලියනආරච්චි එයාට අවුරුදු 6යි. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට යන්නේ. පුතාට තවම අවුරුදු 3යි. එය දසත ලියනආරච්චි. මුලින්ම ඒ දෙන්නට හොඳ අධ්‍යාපනයක් දීලා ඒ දෙන්නා තෝරා ගන්න ක්ෂේත්‍රයක අපි ඉදිරියට යවනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. අලුත් නිර්මාණයකට දායක වෙලා හොඳ දෙයක් කරන්න ආසයි. සතුටින් ජීවිතේ ගත කරන එක තමයි එකම බලාපොරොත්තුව. අපි අපේ පවුල් ජීවිතේ අවුරුදු 13ක් සතුටින් අරගෙන ආව වගේම ඉතුරු කාලයත් ඔහු සහ දරුවෝ එක්ක සතුටින් ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.


අනුෂා රණසිංහ



Previous Post Next Post