මටත් එහෙම ආදර අත්දැකීම් නැතුවාම නොවෙයි -කාංචනා ජයලත්



කාංචනා ජයලත් කියන්නෙ 2008 වසරේ ශ්‍රී ලංකා රූ රැජින තරගයකින් ජයග්‍රහණ ලැබ කලා ක්ෂේත්‍රයට පැමිණි සුන්දර යුවතියක්. ඇය මුලින්ම අපිට සමීප වුණේ වෙෙළඳ දැන්වීම් තුළින්. මේ වෙද්දී නම් පුංචි තිරය මෙන්ම සිනමාව තුළද සිය රංගන හැකියාවන් ඉස්මතු කරමින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්නවා. කාංචනා ජයලත් දැන් කාංචනා කාන් වෙලා ඉන්නෙ. නම වෙනස් වුණු හැටි වගේම මේ දිනවල කලාවේ අලුත් වැඩ කටයුතු ජීවිතේ ගැන කළ සොඳුරු කතාබහයි මේ…..


කාංචනා කාන්. ලංකාවේ කොහොමද ඛාන් ඉන්නෙ. අපි නමෙන්ම පටන් ගමු?


ලංකාවේ කාන්ලා ඉන්නවා ඇති කියලා මම හිතනවා. නමුත් කලා ක්ෂේත්‍රයේ කාන් කෙනෙකුට ඉන්න මම විතරයි කියලා තමයි මට හිතෙන්නේ. කොහොම නමුත් කාංචනා ජයලත් කියන මගේ නම තමයි පසුකාලීනව කාංචනා කාන් වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි, මම මුලින්ම නර්තනය හැදෑරුවා ඉතින් එතන හිටිය යාළුවො කාංචනා කියන නම කෙටි කරලා කාන් කියලා කතා කරන්න පටන් ගත්තා. රංගන ශිල්පිනියක් ලෙසත් මම ඒ නම ඉදිරියටම අරගෙන ආවා. දැන් මට හැමෝම කියන්නේ කාන්චනා කාන් කියලා.


කලාවට එන්නෙ කොහොමද?


මම පාසල් නිම වුණාට පස්සේ නාට්‍ය හා රංග කලාව හදාරනවා ඩග්ලස් සිරිවර්ධන ගුරුතුමන් යටතේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ. ඊට පස්සේ මම සහාභාගි වෙනවා මැක්ස් රූපවාහිනී නාළිකාවකින් පවත්වපු රූ රැජිනි තරගයකට. එහිදී මම මැක්ස් කුවින් ලෙස කිරුල පලඳිනවා. ඉන් අනතුරුව මට මිස් ශ්‍රී ලංකා වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ ඔස්සේ මට වෙළෙඳ දැන්වීම් හා චිත්‍රපට ලැබෙන්න පටන් ගත්තා. නමුත් මම ඒ දවස්වල ලැබෙන හැම දේම භාරගත්තේ නැහැ. හොඳ නිර්මාණවලට දායක වෙමින් කලාව තුළ හිමින් ආපු ගමනක් තමයි මට තියෙන්නේ.


කාංචනාගෙ අක්කත් කලා ක්ෂේත්‍රයේ, ඇයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මගේ අක්කා රංගන ශිල්පිනියක් ඇය තමයි මනීශා නාමල්ගම. නමුත් මේ වන කොටත් ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් මාව දන්නේ මනීශාගේ නංගි හැටියට නෙමෙයි. කොයිම අවස්ථාවකවත් මම අක්කා ගැන කියලා රංගන ක්ෂේත්‍රයට ආවේ නැහැ. පෞද්ගලික ජීවිතයේ ඇය මගේ අක්කා වුණාට කලා ක්ෂේත්‍රයේ අපි යාළුවෝ වගේ ඉන්නේ. අක්කා මට උපදෙස් දෙනවා. උපරිම සහයෝගය ලබා දෙනවා නමුත් මම යන්නේ මා විසින්ම හදා ගන්නා වූ හිමින් ගමනක්.


මේ කාලයේ ඔබෙ නිර්මාණ මොනවද?


මේ කාලයේ වැඩිපුරම මම සිනමාවට සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් මම ඒකෙන් කියන්නේ නැහැ ටෙලිනාට්‍ය රඟපාන්නේ නැහැ කියලා. මොකද මම සිනමාවට කලින්ම රංගන දායකත්වය ලබා දුන්නේ ටෙලිනාට්‍යවලට ඒ අතරින් රොශාන් කුරුප්පු අධ්‍යක්ෂය කළ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වූ “නිරාවරණය” ටෙලිනාට්‍යයේ වත්සලා චරිතය හා ස්වර්ණවාහිනී තුළින් විකාශය වූ “හදවතේ කතාවේ” කාන්ති කියන චරිත ප්‍රේක්ෂක ජනතාවට ගොඩාක් සමීප වෙන්න ඉඩකඩ ලැබුණා. මේ දවස්වල නම් මගේ දෙවන සිනමා නිර්මාණය වන සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ, ශ්‍රී ලාල් ප්‍රිය දේව අධ්‍යක්ෂණය කළ “මේක පුදුම කතාවක්” තුළින් ප්‍රධාන චරිතයකට පණපොවමින් සිනමාවට ප්‍රවිෂ්ට වෙන්න වාසනාව උදා වුණා. ඒ චිත්‍රපටයේ මගේ රංගනය දැකලා සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂතුමන් නිර්මාණය කරන “අමුතු ගුරුකම” චිත්‍රපටයට මට ආරාධනා ලැබුණා. ඇත්තටම අමුතු ගුරුකම සිනමාපටය හාස්‍ය රසය පිරුණු සිනමාවේ අඳුරු යුගය නිමා කරන අමුතු ගුරුකමක් වෙයි. ලංකාවේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් එම සිනමාපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. ජයනී සේනානායක, කුමාර තිරිමාදුර, දුලීකා මාරපන, ප්‍රියන්ත ප්‍රනාන්දු, නිරෝෂා තලගල, මිහිර සිරිතිලක, ධර්මප්‍රිය ඩයස් වැනි ප්‍රවීණයන් එක්කයි මමත් රංගනයෙන් දායක වුණේ. ඒ වගේම මේ දවස්වල මම තවත් සිනමා නිර්මාණයක රුපගත කිරීම්වල යෙදිලා ඉන්නේ ටිකක් පාතාල චරිතයක් තමයි මම රඟ දක්වන්නේ චිත්‍රපටයේ නම “මොණර කිරිල්ලී” අධ්‍යක්ෂණය කරන්නේ ගාමිණී හේවාවිතාරන. ඉදිරියේදී මගේ සිනමා නිර්මාණ පහක් තිරගත වීමට නියම්තයි.


රංගනය පමණද ඔබේ වෘත්තිය?


රංගනය වෘත්තිය කරගෙන අද කාලේ ජීවත් වෙන්න අමාරුයි. කොහොමත් මම රංගනය තෝරා ගත්තේ වෘත්තියක් ලෙස නෙමෙයි. අද ලංකාවේ කලාව තුළින් ජීවත් වෙන්න හිතන් හිටියොත් දන්නේම නැතිව අපි අසරණ වෙනවා. ඒ නිසා මම කලාවට එන්න කලින්ම නිමි ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණේ. ව්‍යාපාරිකාවක් ලෙසත් කටයුතු කරන ගමන් මම රංගනයේ යෙදෙන්නේ.


ආදරේ ගැන තියෙන අත්දැකීම් කොහොමද?


ආදරයේ අත්දැකීම් එකිනෙකාට සාපේක්ෂ වෙනවා. මටත් එහෙම ආදර අත්දැකීම් නැතුවාම නොවෙයි. හැබැයි පෞද්ගලිකත්වයයි කලාවයි කියන්නේ දෙකක් නිසා මම ඒ සියල්ල සමබරව පවත්වාගෙන යනවා.


විවාහය කියන දේ දකින්නෙ කොහොමද?


හොඳ අවබෝධයක්, විශ්වාසයක් වගේම පරිත්‍යාගයක් තියෙන දෙදෙනකු හමුවුණොත් ඒ විවාහය සාර්ථක වෙනවා. නමුත් දෙදෙනකු අතර ඒ ගුණාංග නැති නම් විවාහය අසාර්ථක වෙනවා. මම හිතන්නේ විවාහය කියන්නේ අවශ්‍යම දෙයක් නෙමෙයි. දෙදෙනා අතර හරි අවබෝධයක් නොමැති නම් විවාහ නොවී සිටීම තමයි හොඳම. මොකද අපි ජීවත් වෙන්නේ කෙටි කාලයයි. අපි ප්‍රශ්න අඩුවෙන් සතුටින් කාටවත් කරදරයක් නොවෙන පරිදි ජීවත් වෙන එක තමයි වටින්නේ.


පවුලේ විස්තර කොහොමද?


මගේ තාත්තා මම කුඩා කාලයේම මියැදෙනවා. ඊට පස්සේ අම්මා තමයි අපිව හොඳින් බලා ගත්තේ. මට අක්කලා දෙන්නයි අයියලා දෙන්නෙකුයි ඉන්නවා. ලොකු අක්කා තමයි රංගන ශිල්පිනී මනීශා නාමල්ගම. ඇත්තටම ලොකු අක්කා අපේ තාත්තා නැති වුණාට පස්සේ අම්මා එක්ක එකතු වෙලා අපේ පවුලට ලොකු ශක්තියක් ලබා දුන්නා. සමහර තැන්වලදී මගේ දෙවෙනි අම්මා වුණේ ලොකු අක්කා. ඒක මම ඉතා ආදරයෙන් සිහිපත් කරනවා


අනාගත බලාපොරොත්තු මොනවද?


අනාගතයේ බලාපොරොත්තුවලට වඩා මම තියාගෙන ඉන්නේ අරමුණුමොකද බලාපොරොත්තු බිඳුණාම දුක හිතෙනවා. ඒ නිසා ජීවිතයේ අරමුණක් තියාගෙන ගියාම වැටෙන්න වැටෙන්න ශක්තිමත් වෙන්න පහසුයි. මගේ අරමුණ තමයි මගේ පොඩි අඩුපාඩුවක් හරි හදාගෙන චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස සතුටින් කටයුතු කිරීම.


ජායාරූප – තිලින්දු බන්ඩාර



Previous Post Next Post