අපි කරන්න ඕනේ සිහින වෙළෙඳාම් කරන එක



ප්‍රේක්ෂක ආකර්ෂණය බෙහෙවින් දිනා සිටින බොහොම ආදරණීය රංගන ශිල්පියෙක් ලෙස මේ දිනවල පුංචි තිරයේ අපට දැකගත හැකි වන ඔහු බැලූ බැල්මට විකට වූ නමුත් ඉන් එහා ගිය උපහාසය ජනනය තුළින් සමාජයේ විවිධ පැතිකඩ නිරූපණය කරන්නා වූ විශිෂ්ට කලාකරුවෙකි. බාහිර ස්වභාවය, කතා විලාසය නිසා බොහොම ළාමක සුරතල් විනෝදකාමි තැනැත්තෙකු යැයි බොහෝ අයට සිතෙන්නට පුළුවන් වුවත් සමීපව ඇසුරු කරන අය ඔහු හඳුනාගන්නේ කිසිම දෙයක් ගැන අන්තවාදී නොවන බොහොම සරල සුන්දර පුද්ගලයෙක් ලෙසයි. දෙරණ රූපවාහිනී නාළිකා‍වේ රියැලිටි වැඩසටහන්වලට නැතුව ම බැරි විනෝදකාමී චරිතය ඔහුයි. කුමන චරිතයකින් පෙනී සිටියත් ඔහු ඒ චරිතයට උපරිම සාධාරණය ඉටු කරන අයුරු අප කාටත් දැකගත හැකියි. ප්‍රධාන නිවේදකයා සමඟ එක්ව විවිධ චරිත නිරූපණය කරමින් එම වැඩසටහනේ අනන්‍යතාව රැක ගන්නට මෙන්ම එහි ජනප්‍රියත්වයට ද ඔහු දක්වනුයේ විශාල දායකත්වයකි.


ඇත්තට ම ඔබ කවුද….?  


මට සිහිය තියෙන දවසේ ඉඳලා මට ඇහිලා තියෙනවා මගේ මවුපියන් කියනවා මගේ නම දෙනුවන් සේනාධීර කියලා. ඒ වගේම මම ශ්‍රී ලාංකික, බෞද්ධ, පිරිමි, පුත්‍ර, සහෝදර, ස්වාමිපුරුෂ, තාත්තා, යාළුවා, නළුවා සහ ලෝක සත්ත්වයෙක්. ඒ තමයි මම.


ඔබ ඉපදී හැදී වැඩුණේ කොහේ ද…?


අපේ අම්මාගේ ගම දෙණියායේ නිසා මං එහේ ඉපදුණා. මගේ තාත්තා මොරටුවේ නිසා මම මොරටුවේ හැදී වැඩුණා. ඒ නිසා මගේ ගම මොරටුවයි. මට මගේ ජීවිතයේ හැමදේම ලැබුණේ මොරටුවෙන්. මගේ අධ්‍යාපනය, නළුකම, බිරිය මේ හැම දේටම මම හරි කැමතියි.


ඔබ පාසල් කාලය මතක් කරමු ද….?


නිවස ආසන්නයේම තියෙන ද සොයිසා විද්‍යාලයට මුලින් ම ගියා. පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් වෙලා උසස් පෙළ දක්වා හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඒ වගේම මම පාසලේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් හැටියට පාසල් කණ්ඩායම නියෝජනය කළා. එහි නායකත්වයත් දැරුවා. මලල ක්‍රීඩා, රෙස්ලින්, කරාටේ ක්‍රීඩාවලටත් සම්බන්ධ වුණා. දක්ෂතම ක්‍රීඩකයා බවටත් මම පත් වෙලා තියෙනවා.


එතකොට පාසලේදී නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ කොහොමද…?


මගේ පාසල තමයි ලංකාවේ නාට්‍යවලට හොඳම පසුබිමක් තිබුණු පාසල කිවුවොත් නිවැරදියි. ඒකට හේතුව අග්‍රගණ්‍ය නාට්‍යවේදී තිස්ස ගුණවර්ධනයන් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ වසර 30ක කාලයක් ගුරුවරයෙක් ලෙස සේවය කරලා විශ්‍රාම ලැබීමෙන් පසු තවත් වසර 30ක් ස්වේච්ඡාවෙන් මේ පාසලේ ඉගැන්නුවා. එතුමා නිසා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් බිහි වුණු කලාකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. පුදුමය කියන්නේ මම පාසලේදී එතුමාගෙන් කලාව ඉගෙන ගත්තේ නැහැ. උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හැදෑරුවෙත් නැහැ. නමුත් උසස් පෙළ පන්තියේ අන්තිම කාලේ අපි කළ නාට්‍යයක පොඩි චරිතයක් මම රඟපෑවා. ඒ අවස්ථාවේදී තිස්ස ගුණවර්ධන සර්ව මට මුණගැසුණා. ඉතාම පොඩි කාලයක් එතුමා ඇසුරු කරන්න මට ලැබුණා. එතුමා ඒ වෙලාවේ මට කිවුවා ‘ඔයාට රඟපාන්න පුළුවන්’ කියලා. ඒක මගේ හිතට දැනුණා. පසු කාලෙක මට වෙ‍ෙළඳ දැන්වීමක රඟපාන්න ලැබුණා. ඒ වන විට මම පාසලෙන් ඉවත් වෙලා හිටියේ. නමුත් මම ගිහින් තිස්ස සර්ව මුණගැසුණා. එතුමා ඒ වෙලාවේ රංගනය පිළිබඳ බොහෝ දැනුමක් මට ලබා දුන්නා. එක් අවස්ථාවක මම එතුමාගෙන් ඇහුවා ‘සර්, කලාව කරලා මට ජීවත් වෙන්න පුළුවන් වෙයි ද…?’ කියලා. එතුමා දුන්නු පිළිතුරෙන් තමයි අදටත් මම ජීවත් වෙන්නේ. මට මේ හැමදෙයක් ම කලාවෙන් ලැබුණේ. එතුමාගේ ඒ පිළිතුරේ බලය සහ ඒ වදන් මගේ ලේ නහර පුරා කිඳා බැස්ස නිසයි. මම මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් වසර පහළොවක් පමණ වෙනවා. මම අදටත් කිසි කෙනෙකුගෙන් ණයක් අරගෙන නැහැ. වාහනවත් ලීස් කරලා අරගෙන නැහැ. මම හොඳ සතුටින්, මට ඇති ප්‍රමාණයට අඩුපාඩු නැතුව ජීවත් වෙන්නේ කලාව නිසයි.


එතුමා ඔබට කිවුවේ මොකක් ද…?


සර් මට කිවුවේ, ‘දෙනුවන්, ඔයා කලාව ජීවත් කරවන්න. එවිට කලාව ඔබව ජීවත් කරවයි…’ කියලා. මම අදටත් ඒ ඔවදන අනුව වැඩ කරනවා. මට වැරදිලා නැහැ.


වෙළෙඳ දැන්වීම්වලින් පසුව ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ කොහොමද…?


ඒ දවස්වල මගේ කොණ්ඩය කැරලි සහිතයි. මගේ පෙනුමට මාව මුලින්ම වෙළෙඳ දැන්වීමකට ගත්තා. එහෙම දෙක තුනකට සම්බන්ධ වෙද්දි ගීතවල රූප නිරූපණයට දායක වෙන්න ලැබුණා. එහෙම අවස්ථාවකදි මට වයිඩ් ඈන්ගල් අධිපතිතුමා මුණගැහෙනවා. ඔවුන්ගේ මියුසික් වීඩියෝවකට මම සම්බන්ධ වෙනවා. ඒ නිරූපණ දැකලා එයාලා මට ස්වර්ණවාහිනියේ රස්සාවක් කරන්න එන්න කියලා කතා කළා. එතැනදි මහේෂ් සත්සර මද්දුමආරච්චිව මට මුණගැහෙනවා. එතුමා කිං හන්ටර් චිත්‍රපටයට මාව මුලින්ම සම්බන්ධ කර ගන්නවා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා අධ්‍යක්ෂණය කළ මුල් ම චිත්‍රපටයයි. විජය නන්දසිරි, මහේද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞෂල්‍ය, කුමාර තිරිමාදුර වගේ සුපිරි නළුවෝ එක්ක මට ඒකේ රඟපාන්න ලැබුණා. ඊට පස්සේ එතුමාගේම දියණි සහ නෙළුණිකා ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා. ඒක එරංග සේනාරත්න මහතාගේ අධ්‍යක්ෂණයක්.”


මුලින් ම විකට චරිතයක් රඟපෑවේ මොන නිර්මාණයේ ද…?


නිල් නෙතු නාට්‍යයේ තමයි මුලින්ම විකට චරිතයක් රඟපාන්න ලැබුණේ. ඊට පස්සේ සඳරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කළ සුලලිත නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් මට ජූරියේ විශේෂ කුසලතා රාජ්‍ය සම්මානය ලැබුණා. එතැනින් පස්සේ තමයි මං මේ ක්ෂේත්‍රයට හරියටම අවතීර්ණ වුණේ. කැමති වුණත් අකැමති වුණත් වෘත්තිය විදිහට මගේ ගමන යන්න සිද්ධ වුණා. ඒ කාලේ විජය නන්දසිරි මහත්මයාගේ යර්ස් මැඩම් විකට නාට්‍යයේ රඟපාන්න ලැබුණා. ඒක ලොකු අත්දැකීමක් වුණා.


සැබෑ ජීවිතයේදීත් ඔබ විහිළුකාරයෙක් ද…?


විහිළුත් තියෙනවා. බැරෑරුම් ඒවාත් තියෙනවා. හැබැයි මගේ ජීවිතය විහිළුවක් නෙවෙයි. රඟපෑම කියන්නේ විනෝදාස්වාදය සැපයීමක් මිස සැබෑවක් නෙවෙයි. රඟපෑම සැබෑවක් කර ගන්න යන හැමෝටම ජීවිතය වරදිනවා. චරිතවලින් කෙනෙකුගේ සැබෑ ජීවිතය තක්සේරු කරන්න බැහැ. මම කොමඩිය නැත්නම් ප්‍රහසනය හඳුනාගෙන තියෙනවා. මම ඒ නිසා ඒකට ගොඩාක් කැමතියි. අපි කරන්න ඕනෑ සිහින වෙ‍ළෙඳාම යි. යථාර්ථය මේ හැමතැනම තියෙනවා. චාලි චැප්ලින් වගේ ‍කෙනෙකුට මම කැමතියි. හිට්ලර්ගේ ජීවන යථාර්ථය තමයි චාලි චැප්ලින් ප්‍රතිනිර්මාණය කළේ. මගේ කැමැත්ත තියෙන්නේ එතැනයි.


ඔබ යථාර්ථවාදි චරිතයක් රඟපාන්න කැමති නැද්ද…?


කොහෙත්ම නැහැ. මම මේ ක්ෂේත්‍රයේ සිටිනතුරාවට රඟපාන්න කැමති ප්‍රහසන චරිත පමණයි.


දැන් ඔබ දෙරණට නැතුව ම බැරි ශිල්පියෙක් වෙලා ද…?


ඒක මට නිවේදකයෙක් වෙන්න ලැබුණු ලොකු අවස්ථාවක්. ඒ නිවේදනය ඇතුළේ චරිත ගොඩාක් රඟපාන්න මට ලැබුණා. දෙරණ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ ශර්මිලා ධර්මරාසා, දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ ඇතුළු විශාල පිරිසකගෙන් යුතු දෙරණ කණ්ඩායම විසින් මාව දෙරණේ විනෝදජනක ඉදිරිපත් කරන්නා හැටියට වැඩසටහන්වලට යොදා ගන්නවා. නිවේදක විශ්ව ලංකා මට ලොකු සහායක් ඒ සඳහා ලබා දෙනවා. ඒකෙන් මට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. ක්ෂේත්‍රයේ බොහෝ අය මට ආදරය වුණා. රියැලිටි වැඩසටහන් පහක විනෝදජනක ඉදිරිපත් කරන්නා වුණේ මමයි. එයින් ලැබුණු පන්නරය නිසා කිසිම තැනක වැඩ කරද්දි මට චකිතයක් දැනෙන්නේ නැහැ. වචනයකින් හරි මට සහාය වූ සැමට ස්තුතිවන්ත වෙනවා. මේ ගමන මේ විදිහට එන්න මගේ උත්සාහය සහ පෙර පින් උදව්වක් වුණා කියලා මං විශ්වාස කරනවා.


දෙවැනි ඉනිමේ මයික්ගේ චරිතයත් ජනප්‍රියයි නේද…?


සාරංග මෙණ්ඩිස් හා නිෂ්පාදිකා චාමිකා මෙණ්ඩිස් මීට වසර අටකට කලින් තමයි මට දෙවැනි ඉනිමේ චරිතයට ආරාධනා කළේ. සමන් එදිරිමුණිවත් මතක් කරන්න ඕනේ. ලක්සිරි වික්‍රමගේ අධීක්ෂණයෙන් දෙවැනි ඉනිමේ මයික් දැන් ගොඩාක් ජනප්‍රියයි. ඒ චරිතය නිසා මට විදේශ සංචාර ලැබුණා. මුදල් ඉපයුවා. ඒ චරිතයට මම උපරිම සාධාරණය කළා. එයින් මට ප්‍රතිලාභ උදා වුණා. හිරු නාළිකාවේ දිවිතුරා නාට්‍යයේත් මම රඟපානවා. ඒ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ ජීවිතය දකින්නේ කෙ‍ාහොමද…?


මම ජීවිතය දකින්නේ අත්දැකීම් ගොන්නක් හැටියටයි. අපට ජීවිතයේ හමු වන හැම කෙනෙක්ම අපට පාඩමක් කියා දීලා යනවා. සමහර තැන් ජීවිතයේ වැරදුණා. ඒක වරදින්නම ඕනේ. සමහර තැන් හරි ගියා. ඒක හරියන්නම ඕනේ. ‘සියල්ල සකස් කොටගෙන පැමි‍ණියෙමි’කියන දහම මම තදින් විශ්වාස කරනවා. ඒක එහෙම තමයි. මේ බො‍හෝ දේ සසර පුරුදු යි. මගේ දුකට හේතුව මමමයි. මගේ සතුටට හේතුවත් මමමයි. වෙන අයට වැරදි කියලා වැඩක් නැහැ.සමහරු මේ රට හොඳ නැහැ කියලා වෙන රටවලට යනවා. මේ රටේ මොනවා නැති වුණත් අටලෝදහම තියෙනවානේ. මම ඉපදුණේ ධර්මය අහන්නයි. ඒක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. බොහෝ අයට වරදින්නේ අන්න එතැනයි.


ඔබ වැඩිපුර ම නිදහසේ ඉන්න කැමති කොහේ ද…?


බිරිය තිළිණි දිලුෂිකායි, අපේ එකම දරුවා සෙලීනා සේනාධි දියණියයි එක්ක ගෙදර ඉන්න තමයි මම වැඩිපුර ම කැමති. ගෙදර තරම් විවේකයක් වෙන කොහේවත් නැහැ. මම විවාහ වුණ යුවතියත් මේ අහළ පහළ නිසා අපි පොඩි කාලේ ඉඳලා හඳුනනවා. මගේ තාත්තාත්, ඇයගේ තාත්තාත් නීතිඥවරු නිසා පවුල් දෙකත් හොඳට හඳුනනවා. එයාගේ අම්මත් හරිම හොඳ කෙනෙක්. එයාගේ අම්මා අපේ දුව බලා ගන්නවා. දුව මියුසියස් විද්‍යාලයේ දෙක වසරේ ඉගෙන ගනිමින් ඉන්නවා. දිලූ මට ගොඩාක් ආදරය කළා. ඒක මට තේරුණා. මට ජීවත්වෙන්න හොඳම කෙනා එයා කියලා මම තේරුම් ගත්තා. මගේ කලාවට එයා ගොඩාක් උදවු කළා. අපි දෙන්නා විවාහ වුණා. දුවත් එක්ක අපි සතුටින් ඉන්නවා. බණක් දහමක් අහගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.”





Previous Post Next Post