එයාලා මගේ හීනෙ හැබෑ කරන්න උදව් කළා -සිත්මි ප්‍රනාන්දු




සහජ හැකියාවට ජානත් එකතු වූ පසු ඒ හැකියාවන් වේගයෙන් ඔපමට්ටම් කර ගන්න පහසුයි. මේ රූපය දුටු සැණින් බොහෝ දෙනෙක් දන්නවා ඇය කාගේ කවුද කියා. ඇයටත් පියාගේ කටහඬත් මවගේ රූපයත් පිහිටලා තිබෙන නිසා කාගෙත් අවධානය යොමු වෙනවා. පෙරළිකාර කණ්ඩායම් සංගීතය තුළ පෙරළිකාරයෙක් වූ ජනප්‍රිය ගායක රොෂාන් ප්‍රනාන්දුගේ ආදරණීය එකම දියණිය තමයි සිත්මි ප්‍රනාන්දු. ගී ගයන්න දක්ෂ ඇය ඒවා ටිකක් පසෙකලා පසුගියදා විදෙස්ගත වුණා. මේ කතාබහ ඇය ගැනයි.


අම්මටයි තාත්තාටයි ඉන්න එකම දුව සිත්මි, ඒත් ඔවුන්ගෙන් ඈත් වෙලා විදෙස්ගත වෙනවා..?


මට තේරෙන වයසක ඉඳලම ඕන වුණේ ඔස්ට්‍රේලියාවට ගිහිං වැඩිදුර ඉගෙන ගන්න. දැන් මගෙ වයස 20යි. අම්මටයි තාත්තාටයි බයක් තියෙනවා මම තනියම නොදන්න රටක නොදන්න මිනිස්සු එක්ක කොහොම තනියම වගකීම් අරන් ජීවත් වෙයිද කියලා. ඒත් එයාලා මගේ හීනය හැබෑ කරගන්න උදවු කළා. මමත් ඒ ගමන යන්න අවශ්‍ය පසුබිම් හදාගෙන ඔස්ට්‍රේලියා ආවා. දැන් ජීවත් වෙන්නේ මෙල්බන්වල. එයාලගෙන් ඈත් වෙලා ආව එකට දුකක් නැතුවම නෙමෙයි.


සංගීතයට ලොකුවට සම්බන්ධ නොවුණත් පියා නිසා ඔබව බොහෝ දෙනෙක් දන්නවා..?


තාත්තා එක්ක රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. රොෂාන් ප්‍රනාන්දුගේ දුව කියලා ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. ඒ ජනප්‍රියත්වය සීමා වෙන්නේ ලංකාවේ විතරයි. මෙහෙත් බොහෝ දෙනෙක් ලාංකිකයින් අඳුරගෙන අහවලා නේද තාත්තා කියලා අහලා කතා කරපු අය ඉන්නවා. නමුත් ජනප්‍රියත්වයට වඩා මම සතුටු වෙන්නේ මගේ හීනය සැබෑ කර ගත්ත එකට. ඒ වගේම කියන්න ඕන ජනතාවගේ ආදරේ ගෞරවය තාත්තා නිසා අපේ පවුලට හිමිවුණ එකක්. තාත්තගේ රසිකයින් තමයි අපිටත් පවුලක් හැටියට ආදරේ කරන්නේ. ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා


දිගටම සංගීතයට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද ..?


පෙබරවාරි 10 වෙනිදා මගේ පළමු ගීතය “ළං වෙලා“ එළිදැක්වුවා. සංගීතයෙන් ඈත් වෙන්න අදහසක් නැහැ. මෙහේ හිටියත් නිර්මාණ කරන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වගේම ඒ පැත්ත ගැනත් හිතන්න ඕන. මම විශාරද කරන්න පටන් ගත්තා සාමාන්‍ය පෙළ විභාගයත් එක්ක එය අවසන් කරන්න බැරි වුණා. එහි අවසන් අධ්‍යයන කටයුතු ඉන්දියාවේ කරන්න තිබ්බේ. මම පුළුවන් විදිහට සංගීතය ඉගෙන ගන්නවා.


සිත්මී නැවත ලංකාවට යන්න බලාපොරොත්තුවක් නැතුව ඇති ..?


තවම එහෙම හිතලා නැහැ. අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ යන්න තමයි ආවේ. ඒත් අම්මයි තාත්තයි මෙහෙ නතර වෙන්න නම් එන එකක් නැහැ. මාව බලන්න එයි. මමත් එයාලව බලන්න යනවා.


තාත්තා ජනප්‍රිය තරුවක් නිසා පාසලේ කැපි පෙනුණු කෙනෙක් වෙන්න ඇති ඔබත්..?


පාසලේ ගුරුවරු, යාළුවෝ වගේම පාසලේ සමහර ළමයි දන්නවා මම කාගේ කවුද කියලා. තාත්තා නිසා මට පාසලේ විශේෂත්වයක් තිබුණා. ඒ නිසා පාසලේ ළමයි ඊර්ෂ්‍යාවට මාව කපන්න උත්සාහ ගත්ත අවස්ථා තියෙනවා. ඒත් ඒවා මම ලොකුවට හිතුවේ නැහැ. පාසලේ වැඩකට තාත්තා ආවේ නැති තරම්. එයා හරි කාර්‍යබහුල කෙනෙක් නිසා. අම්මා තමයි හැමදේකටම ආවේ. අම්මා තාත්තා කියන රෝල් දෙකටම අම්ම තමයි හුඟක් වෙලාවට යොමු වෙන්නෙ. තාත්තා ආවොත් ආපු මීටින් එකට සම්බන්ධ වෙන්න බැහැ , මොකද හැමෝම වට වෙලා ෆොටෝස් ගන්නවා. හරි ආදරේ හිතෙනවා ඒ දේවල් එක්ක.


සිත්මිට ලෙහෙසියෙන් සමාජ ආකර්ෂණය පියා නිසා ලැබුණට ඔබේ පියා ඒ ගමන හදාගත්තේ මහන්සියෙන්..?


ඒක ඇත්ත. මගේ තාත්තා කණ්ඩායම් සංගීතය තුළ ගෙවන්නේ තිස්තුන් වැනි අවුරුද්ද. තාත්තාට ආසාවක් තිබිලා තියෙන්නේ ඩ්‍රම්ස් වාදකයෙක් වෙන්න. ඒත් එයාට ඩ්‍රම්ස් සෙට් එකක් තිබිලා නැහැ. මගේ තාත්තගේ තාත්තා සීයා පොලියට සල්ලි අරන් තමයි ඩ්‍රම්සෙට් එකක් අරන් දීලා තාත්තගේ ඒ හීනේ සැබෑ කරලා තියෙන්නේ. මගේ තාත්තා එයාගේ සංගීත ජීවිතේ පටන් ගත්තේ අඩියෙන් කිවුවොත් හරි. ඒත් අද රොෂාන් ප්‍රනාන්දු කියන ගායකයාට රටක් ආදරේ කරනවා. ඒ තැන හදා ගන්න ලොකු කට්ටක් කාලා තියෙනවා තාත්තා වගේම සීයා. ඒ දුෂ්කර ගමන හරියට ආ නිසා අද අපිත් ලස්සනට ජීවත් වෙනවා. ජනප්‍රිය තරු ගත්තම බොහෝ දෙනෙක් සමාජයෙන් බැණුම් අහනවනේ. පුද්ගලික තරහක් ඇති කෙනෙක් තාත්තාට බැණ්නොත් මිසක් මම නම් තාත්තාට බණිනවා අහලා දැකලා නැහැ. ඒ තරම්ම ජනතාව ආදරේ කරනවා. රොෂාන් ප්‍රනාන්දු මගේ තාත්තා වීම මම හරිම සතුටට පත් වෙන දෙයක්. තාත්තා නොවී ගායකයෙක් විදිහට බැලුවොත් එයාගේ දක්ෂතා එක්ක රසිකාවියක් හැටියටත් මට සතුටු වෙන්න පුළුවන්


අම්මයි තාත්තයි එක්ක ගීතයක් කරන්න සිත්මීට බලාපොරොත්තුවක් නැද්ද ..?


අම්මටත් ලස්සන හඬක් තියෙනවා. ඒ දෙන්නා නම් ගීත කරලා තියෙනව. ඒත් තුන්දෙනාම ගීතයක් කරන්න තවම හිතිලා නැහැ. බලමු ඉදිරියට


හර්ෂණී වීරරත්න



Previous Post Next Post