මම රැඩිකලුත් නෑ ස්ත්‍රීවාදීත් නෑ-උමා අසේනි




උමා අසේනි කියන්නේ අතිශය ජනප්‍රිය වුණු ගීත කිහිපයක් අලූත් පරම්පරාවට තිළිණ කළ ගී පද රචිකාවියක්. එමෙන්ම ඇය දක්‍ෂ නිවේදිකාවක් මෙන්ම අද වෙද්දී දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. වේදිකාවෙන් සිනමාවෙන් පුංචි තිරයෙන් සිය රංගන හැකියාවන් විදහාපාන උමා මේ වෙද්දී ඉන්නේ නම් ඔස්ට්‍රේලියාවේ. මේ දිනවල විකාශය වන “ලලයි ලිලයි ලයි” හි වෙනස්ම චරිතයකින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයින් අතරට එන උමා සමඟයි මේ කතාබහ.


මේ දවස්වල ඔබව නිවේදිකාවක් ලෙස අපට දකින්න නොලැබෙන තරම්. ඔබ ඒ භූමිකාවට සමු දීලද ?


ඇත්තටම සමුදීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. නිවේදනය කරන්න සුදුසු විදිහේ වැඩසටහන් හම්බ නොවීම නිසයි පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නේ. මම කැමැති නැහැ කරන්නන් වාලේ ඔහේ කරන්න. මම හැමදාම කරපු වැඩසටහන් බලපු අය දන්නවා ඒක. ඒ විදිහේ වැඩසටහන් හැදෙන්නේ නැති නිසා මේ මොහොතේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා.


මේ දවස්ෙවල ඔස්ට්‍රේලියාවට වෙලා මොකද කරන්නේ?


සචිත්‍ර රාහුබද්ධගේ “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍යය මේ දවස‍ෙවල ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හතරක වේදිකාගත කරමින් ඉන්නවා.


උමා අසේනි බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ පෙරවදනක් ගීතය තුළින්, ඔබේ ගීවල තියෙන්නේ ඔබේම ජිවිතේ අත්දැකීම් ද?


පෙරවදනක් ගීතයට පාදක වුණේ මගේ පෞද්ගලික අත්දැකීමක්. අනිත් මම ලියපු හැම ගීතයක්ම මගේම අත්දැකීම් නෙවෙයි. නමුත් මගේ ළඟින් හිටිය අයගේ සහ මාව කම්පනයට පත් කරපු සිද්ධි. ඔය කියන සියලු දේ හේතු වුණා ගීත ලියන්න. ඒ නිසා මගේ අත්දැකීම් සහ මගේ අත්විඳීම් කියන දෙකම මගේ නිර්මාණ තුළ තියෙනවා.


උමා ජිවිතේ දිහා, ආදරේ දිහා බලන්නේ වෙනස් විදිහකට කිවුවොත්?


වෙනස් විදියකට ද කියන එක නම් මම දන්නේ නැහැ. මම ජීවිතේ දිහා බලන්නේ මගේ විදිහකට.


උමා කොළයක අත්සන් කරන විවාහ බැඳීමකට කැමති නැති කෙනෙක් කියලා, ඔබම තැනක කියලා තිබුණා. තාමත් ඒ මතයේද?


ඔව්. තාමත් මම ඉන්නේ ඒ මතයේම තමයි. විවාහය කියන කොළයට අත්සන් තැබීම මම පිළිගන්නේ නැහැ. හේතුව විවාහ වෙන්නේ ගොඩක් වෙලාවට අපි ආදරේ කරලා. අපි හොඳටම දන්නවා අපි ආදරේ කරන තැනකදී අපිටම දැනුණොත් මේක හරි යන්නේ නැහැ කියලා එතැනින් අයින් වෙනවා. නමුත් විවාහය ඇතුළේ සිද්ධ වෙන්නේ අයින් වෙන්න තියෙන ඉඩකඩ ඇහිරවීමක්. ඇත්තටම කියනවා නම් මට විවාහය කියන්නේ ගනුදෙනුවක් වගේ දෙයක්. ආදරේ කියන්නේ විවාහයට නෙවෙයි. ආදරේ කරන දෙන්නෙක් විවාහ වෙන්නම ඕනේ නැහැ. ඒ වගේම විවාහ වුණු හැම කෙනෙක්ම ආදරේ කරන්නේ නැහැ. ඒ නිසා විවාහය හෝ විවාහය වුණා කියලා අත්සන් කරන කොළය වැදගත් කියලා මම සලකන්නේ නැහැ. ඒ කොළයට හෝ අත්සනට බැහැ කෙනෙක්ගේ හදවත සහ හැඟීම් පරිස්සම් කරන්න.


විවාහයක්, දරුවෙක් ආසියාතික රටක ඉන්න ගැහැනිකගේ හීනයක්නේ. උමා ඒක දකින්නේ කොහොමද?


විවාහයක්, දරුවෙක් හීනයක් කියලා තිබුණ කාලයක් තිබුණා. හැබැයි මම හිතනවා දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා කියලා. දැන් ඉන්න ගැහැනු ළමයි ඊට වඩා හීන දකිනවා. අපිට සමාජය විසින් දීලා තියෙනවා යම් මිනුම් දඬු ටිකක්. යම් සාර්ථක ගැහැනියක් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා. දැන් ඒ මිනුම් දඬු පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙමින් යනවා. දැන් ගැහැනු ළමයෙකුට ඊට වඩා ඉලක්ක තියෙනවා. ඊට වඩා විඳින්න දේවල් එයාලා හොයා ගන්නවා. එතකොට මට කොහොමත් ඒක හීනයක් නෙවෙයි. කොහෙත්ම නැහැ. ලෝකය දකින්න. සමහර වෙලාවට විවාහ වුණත් දරුවෙක් හදන එක ගැන ඉස්සර ඇහෙන් නෙවෙයි බලන්නේ. දැන් ඒ තත්ත්වය වෙනස්. ඕක අපේ අම්මලාගේ කාලේ තිබ්බ දෙයක් සහ තවමත් දුෂ්කර පළාත්වල අයට නම් එහෙම්මම තමයි. නමුත් මම හිතනවා ලෝකයක් එක්ක ගනුදෙනු කරන බහුතරයක් ගැහැනු ඔය තත්ත්වය ගැන දරන්නේ වෙන මතයක් කියලා.


උමා කියන්නේ රැඩිකල් චරිතයක් ද?


අනේ මම රැඩිකල් ද නැද්ද කියලා නම් කියන්න දන්නේ නැහැ. මේ මම ඉන්න විදිහ. මම මේ වචනය පාවිච්චි කරන්න කැමතිත් නැහැ. මොකද ඒ වචනය හරිම වෛශ්‍යා වෘත්තියේ යෙදවිච්ච වචනයක්. මම ජීවත් වෙන්නේ මගේ විදිහට. ඒකට කවුරු මොන විදිහට අර්ථකථන කරනවද කියලා මම දන්නෙත් නැහැ. මම ඒවා ගැන හිතන්නෙත් නැහැ.


රැඩිකල් කියන එක වචනවලින් පෙන්නුවට ඇත්තටම රැඩිකල් ගැහැනු ලංකාවේ ඉන්නවද?


මෑත කාලයේ මට තියෙන අත්දැකීම් එක්ක මම හිතනවා රැඩිකල් කියන ගොඩ දෙනෙක් රැඩිකල් නැහැ. මම දන්නේ නැහැ මම රැඩිකල් ද කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ස්ත්‍රීවාදීද කියලා. අපෝ නැහැ මම ස්ත්‍රීවාදී කෙනෙක් නෙවෙයි. ඒ වගේම මම රැඩිකල් කෙනෙකුත් නෙවෙයි. ලංකාවේ ඉන්න බොහොමයක් අය රැඩිකල් ද කියන එකටත් මට කියන්න තියෙන්නේ සමහරවිට ඒ වචනයේ තේරුම නොදැන එයාලා රැඩිකල් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට රැඩිකල් කියන වචනය අවස්ථානුකූලව පාවිච්චි කරනවා. අපි රැඩිකල් කියාගෙන කෑගහගෙන එළියට ඇවිත් මොන කතන්දර කිවුවත් එයාලා ඇතුළේ ඉන්නවා හරිම කුහක අන්තිම ටිපිකල් ගැහැනු චරිත. මහා කඳු වගේ අපි රැඩිකල් කියපු චරිත කකුල් දෙක මුල ඇද වැටෙනවා හුඹස් මැටි වගේ. ඒ නිසා ඔය වචනය මම කතා කරන්න කැමතිම නැති වචනයක්.


උමාගේ අම්මා විශ්‍රාමික නර්තන ගුරුවරියක්, තාත්තා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති, ඔබේ මතයන්ට තාත්තා එකඟද?


තාත්තා දරන මතයක් තියෙනවා. මම දරන මතයක් තියෙනවා. ලොකුම දේ තාත්තා මම දරන මතයන්වලට එකඟ වෙනවද කියන එක නෙවෙයි. මට මතයක් දරන්න මාව ස්වාධීන තත්ත්වයකට මාව පත් කරලා තියෙනව කියන එකයි මට කියන්න තියෙන්නේ. සමහර තැන්වලදී තාත්තා මගේ මතයට එකඟ වෙනවා. තව තැන්වලදී මම තාත්තගේ මතයට එකඟ වෙනවා. සමහර තැන්වලදී තර්කවලට යනවා. හැබැයි අවසානයේ මම එක ජීවියෙක්, තාත්තා එක ජීවියෙක් කියන එක තේරුම් අරගෙන අපි දෙන්නට විවිධ වූ මත දරන්න පුළුවන් කියන තැන අපි දෙන්නම ඉන්නවා. ඒ නිසා මම මම විදිහට ගොඩ නැඟෙන්න සහ මගේ ගමන යන්න මට උපරිම සහයෝගය ලැබෙනවා.


හෙට ගැන තියෙන බලාපොරොත්තු මොනවද?


මම හැමදාම කියනවනේ මට අවසාන ඉලක්කයක් තියෙනවා. ඒ මොකක් ද කියලා දැන්ම කියන්න කැමති නැහැ. මම මේ හැම අඩියක්ම තියන්නේ ඒ ගෝල් එක ඔළුවේ තියාගෙන. ඒ ළඟට හරි යන්න පුළුවන් වුණොත් මම කියන්නම් මම මෙතනට යන්නයි ටාර්ගට් කළේ කියලා.මට ඕනෑකම තියෙනවා ලංකාවේ අසරණ වුණු වීදි සතුන් වෙනුවෙන් shelter home එකක් ඉදිකරන්න. මට පුළුවන් විදිහට ඒ වැඩේ කොහොම හරි කරන්න පියවර ගනිමින් ඉන්නවා.


අනුෂා රණසිංහ




Previous Post Next Post