මගේ වැඩ ඉවර කරගෙන තමයි ආදරයක් ගැන හිතන්නේ- යොහානි හෙට්ටිආරච්චි




යොහානි හෙට්ටිආරච්චි කියන්නේ රිදී තිරයේ විවිධ චරිත නිරූපණය කරලා හොඳම ළමා නිළිය සම්මානය හිමිකරගත් රංගන ශිල්පිනියක්. අවුරුදු තුනේදී මුලින්ම යොහානි පෙනී සිටියේ වෙ‍ෙළඳ දැන්වීම්වල. ළමා රංගන ශිල්පිනියක් ලෙස කලාවට පිවිසුණු යොහානි මේ වනවිට යොවුන් රංගන ශිල්පිනියක් ලෙසින් ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ තුළින් රසිකයන් අතර වඩාත් කතාබහට ලක්වුණු දක්ෂ රංගන ශිල්පිනියක්. යොහානිගේ උපන්දිනය වෙනුවෙන් කළ ෆොටෝ ෂූට් එකත් මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ ගැන වගේම කලා ලොවේ තොරතුරු ගැන යොහානි රසඳුනට කිව්වේ මෙහෙම….


කොහොමද යොහානි කාර්යබහුලද මේ කාලේ?


අවුරුදු සීසන් එක නිසා මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි.


පුංචි තිරයේ මොකද වෙන්නේ මේ දවස් වල?


මේ දවස්වල මම හිරු නාළිකාවේ විකාශය වනවා “සිහින ගෙනෙන කුමාරියේ” නාට්‍යයේ රඟපානවා. ඒ වගේම හසුන් සමීර අයියාගේ අලුත් නාට්‍යයේ රූපගත කිරීම් සිදුවෙනවා.


දැන් අධ්‍යාපන කටයුතු කොහොමද?


මේ වෙද්දී මම NSBM එකේ Technology Management Degree එක කරනවා. ලබන වසර වෙද්දී ඒක ඉවර වෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ වැඩි ඉඩක් දීලා තියෙනවා අධ්‍යාපනය පැත්තට.


ඔබේ උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා නේද?,


අනේ ඔව්. ඒ ගැන කියන්නම ඕනේ. ඒ ඉවෙන්ට් එක කළේ Zee Events. බොල්ගොඩ පැරඩයිස් එකේ අපි ෂූට් එක කළේ. මට ලස්සනට ඒ ගවුම කරලා දුන්නේ ඉරේෂි ‍ෙඩ්‍රස් මේකර්. මාව හැඩ කළේ මලිත් හෙට්ටිහේවා. මගේ උපන්දින කේක් එක කරලා දුන්නේ A Taste of Heaven හි විජිත කුමාර අයියා. ඒ එක්කම ඡායාරූප ගත්තේ ධනුෂ්ක සේනාධීර අයියා. ඒ එක්කම ඩෙකරේෂන් ඔක්කොම පැරඩයිස් ෆ්ලෝරා වෙතින්. ඒ ෂූට් එකට ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.


දවසින් දවස ලස්සන වෙනවා, මොකක් ද රහස?


අනේ එහෙම රහසක් නැහැ. මගෙනුත් කට්ටිය අහනවා. මොකක් හරි තියෙනවද? ලස්සන වෙන්න මොනවා හරි කරනවද කියලා. මම එහෙම ලස්සන වෙන්න කියලා දේවල් කරන්නේ නැහැ. අඩුම ගානේ මම ෆේස් වොෂ් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මගේ හිත හොඳයි. හැමෝටම අවංකව ඉන්නවා. එහෙම නිසා ලස්සන වෙනවා කියනවාම නෙවෙයි.


පුංචි කාලේ ඉඳන්ම ක්ෂේත්‍රයේ ඉන්න නිසා දැන් ඉන්නේ යෞවන වියේනේ කොහොමද ඒ වෙනස දැනෙන්නේ?


මම පොඩි කාලේ ඉඳන්ම මේ ක්ෂේත්‍රයේ ඉඳලා මේ ගමන ආව කෙනෙක් විදියට දැන් ලොකු වයසට එද්දී මාර වෙනස්කම් ගොඩක් දකින්න ලැබෙනවා. හමුවෙන මිනිස්සුන්ගෙන් ඇතිවෙන හිත් රිඳීම් වැඩියි. මගේ යාළුවන්ගේ වුණත් වෙනස්කම් දැනෙනවා. ඉස්සරහට යද්දී ළඟම ඉන්න අය කපන්න බලද්දී ඒ දේවල් පොඩි කාලේ තිබ්බේ නැහැනේ කියලා දැනෙන කොට හිතෙනවා පොඩි කාලේම ඉන්න තිබ්බ නම් හොඳයි කියලා. ලොකු වෙද්දී ඒ දේවල් මට බරපතළ විදියට දැනෙනවා.


ඔය හැමදේම දරාගෙන ඉදිරියට යනවා නේද?


ඔව්. මම මේ හැමදේම කොහොම හරි දරාගෙන ඉස්සරහට යනවා. ගොඩක් ප්‍රශ්න එනවා. මම ප්‍රශ්න දා ගන්නේ නැතුව හිමින් මේ ගමන යනවා.


හොඳම ළමා නිළියටත් සම්මාන ලැබුවානේ ද?


2017 දී හොඳම ළමා නිළියට සම්මාන ලැබුණා.


අනාගතයේදීත් හොඳම නිළිය වෙන්නද අරමුණ?


එහෙම හිතනවා ඉතින්. තවම මම වැඩ කරන්න ගත්තේ නැහැ. එක දිගට වැඩ කරන්න ගත්තම කරන නිර්මාණ එක්ක අනාගතයේදී හොඳම නිළියට හිමි සම්මානය ගන්නත් අරමුණක් තියෙනවා.


යොහානි ආදරවන්තියක් ද?


නැහැ. තවම ආදරේ ගැන හිතුවේ නැහැ. මගේ වැඩ ටික ඉවර කරගෙන තමයි ආදරයක් ගැන හිතන්නේ.


ප්‍රේක්ෂක ආදරේ නම් නොඅඩුව ලැබෙනවානේ, ඒ ආදරේ ගැන මොකද හිතෙන්නේ


අනේ ඔව්. ඒක තමයි මම වීඩියෝ එකක් දැම්මත් ෆොටෝ එකක් දැම්මත් සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. මම වැඩිය සෝෂල් මිඩියා සක්‍රියව හිටිය කෙනෙක් නෙවෙයි. ඒත් මට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ දැක්කම හරිම සතුටුයි. කියන්න තියෙන්නේ ඒ ආදරේට මමත් ආදරෙයි කියලා.



Previous Post Next Post