පුහුණුව, අත්දැකීම් හා අධ්‍යාපනය වගේම නිවේදන කාර්යය සඳහාම වෙන් වූ සංයමය නිසාම ඔහුගේ හඬ පෞරුෂය හිත් කොනක නතර කරන්නට දරුණු වෑයමක් දැරීමට අවශ්‍ය නැත. මෙවර අපේ කතානායකයා එකී අපූරු නිවේදකයායි. ඔහු වසන්ත ජයසිංහ ආරච්චියි.
රංගන ශිල්පීන් ,ගායකයන්, නිරූපණ ශිල්පීන් ආදී එකී මෙකී නොකී සියල්ල වර්තමානයේ නිවේදන කටයුතු කරනවා. මේ වෙනකොට හැමෝම නිවේදනය ලේසි වැඩක් කරගෙන තියෙනවා. එසේ හැමෝම නිවේදනය කරන්නේ ඇත්තටම මේක ලේසි වැඩක්ද ?
නමුත් මං පෞද්ගලිකව එතනට වැටෙන්න කැමති නැහැ. මොකද මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඒ සම්බන්ධව ඉගෙනගෙන යම් දැනුමක් වගේම අධ්‍යාපනයක් සහිතවයි. ඒ වගේම රූපවාහිනිය ,ගුවන්විදුලිය යන ක්ෂේත්‍රවල අධ්‍යාපනය පුහුණුව ලැබුවා. වර්තමානයේ සෑම දෙයක්ම විනෝදාංශයක් බවට පත් වෙලා. ඒ නිසා එහි වෘත්තීය ගරුත්වයක් නැහැ. එකී තත්ත්වයට මාධ්‍ය ආයතනත් යම් තරමින් වගකිව යුතුයි. මම නිවේදකයෙක් ලෙස අවුරුදු දහනවයක් රූපවාහිනියේ වැඩ කටයුතු කරනවා. එහි යම් ප්‍රමිතියක් පවතින නිසා හොඳ පිළිගැනීමක් තිබෙනවා.
මෙවැනි තත්ත්වයකදී වෘත්තීය නිවේදකයන්ට පහරක් එල්ලවෙන්නේ නැද්ද ?
පැහැදිලිවම එය නිවේදන ක්ෂේත්‍රයට දරුණු පහරක්. නමුත් එවැනි තාවකාලික නිවේදකයන්ට ලැබෙන ආදරය හරියට සෝඩා බෝතලේ වගෙයි. ඔවුන් කට අරිද්දිම මොනවද කියන්නේ කියලා තේරෙනවා. මගේ වෘත්තීය ජීවිතය තුළ මං ගොඩක් නිවේදක නිවේදිකාවන්ව දැක්කා. ඔවුන් තුළින් අදටත් මම වෘත්තිය ඉගෙන ගන්නවා. මගේ වෘත්තීය ජීවිතයට සීමාවක් දාගන්න කැමති නැහැ. නිවේදකයෙක් විදිහට කියවන්න අවශ්‍යයි. ඒ වගේම යාවත්කාලීන වෙන්න ඕන .එදා තිබුණු සමාජය වගේම තාක්ෂණය නෙමෙයි අද තියෙන්නේ. ඒ නිසා වර්තමාන තත්ත්වයට අප හැඩ ගැසෙන්න අවශ්‍යයි. ඒ අනුව අපගේ ඉදිරි ගමන සැලසුම් කිරීම පහසුයි.
ඔබ ව්‍යංගයෙන් කියන්නේ නිවේදකයා ඇසූ පිරූ තැන් ඇත්තෙක් විය යුතුයි කියලද?
නිවේදන ක්ෂේත්‍රය තුළ මේ රටේ පරමාදර්ශ චරිත සිටිනවා. උදාහරණයක් ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට සම කළ හැකි චරිතයක් තවම බිහි වී නැහැ. මෑත කාලයේ බිහි වූ ජැක්සන් ඇන්තනි වගේ චරිතවලට තිබුණු බර, විෂය පිළිබඳ තිබුණු දැනුම අනුව ඔවුන් ඇවිදින පුස්තකාල බවට පත් වුණා. මම හිතන්නේ එසේ දැනුම සොයා යෑමේ පිපාසයක් නිවේදකයාට තිබිය යුතුයි කියලා. මම තවමත් නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ ඉගෙන ගන්නවා වගේම දැනුම ලබා ගන්න කියවනවා .
ඔබ වෘත්තීය ජීවිතය තුළ තෘප්තිමත්ද?
පැහැදිලිවම මාධ්‍ය ජීවිතයේ මාගේ කාර්යය තුළ මම තෘප්තිමත්. නමුත් ආයතන සම්බන්ධයෙන් මම කතා කරන්න කැමති නැහැ .
ඔබ වෘත්තීය ජීවිතය තුළ කිහිප වරක්ම සම්මානනීය වුණා. අපි ඒ ගැනත් කතා කරමු .
ඔව්. මම මෙහෙයවන “රටා” වැඩසටහන පසුගිය වසරේ සුමති සම්මාන උලෙළේ හොඳම සඟරාමය වැඩසටහන ලෙස සම්මානනීය වුණා. 2023 රයිගම් ටෙලි සම්මාන උලෙළේ වසරේ හොඳම සඟරාමය වැඩසටහන ලෙසත් නිර්දේශ වුණා. එයට මගේ පූරක දායකත්වය ලැබුණ නිසා එය මට ලොකු සතුටක්. එහි නිෂ්පාදක විරාජ් ධර්මදාස වගේම වැඩසටහන අධ්‍යක්ෂක සංජය ඉන්ද්‍ර කුමාරවත් මෙහිදී මම ආදරයෙන් මතක් කළ යුතුයි .
ඔබ ජාතික රූපවාහිනී නිවේදකයෙක් වන්නේත් හරි අපූරු විදිහට නේද?
උපාධිධාරී පත්වීම මට ලැබෙන්නේ ලේක්හවුස් එකට. අහඹු ලෙස ලේක්හවුස් එකේ වැඩකට මම යනවා B.M.I.C.H එකට. එදා සංචාරක අමාත්‍යාංශයේ ප්‍රදර්ශනයක් තිබුණා. මම ප්‍රදර්ශනයේ ඇවිදින කොට ජාතික රූපවාහිනී කැමරා කණ්ඩායමට ඔවුන්ගේ නිවේදකයා මඟහැරී තිබුණා. ඔවුන් මගෙන් ඇහුවා හවස නිව්ස් එකට පොඩි අප්ඩේට් එකක් යවන්න පුළුවන්ද කියල. මම කමක් නැහැ කියලා ඒ අභියෝගය භාරගත්තා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා. ඒ අවස්ථාවේ වැඩසටහන් නිෂ්පාදක ලෙස සිටියේ සුරනිමල ජිනේන්ද්‍රසිංහයි. ඔහු මාව ජාතික රූපවාහිනියේ රවී අබේවික්‍රම නිෂ්පාදකතුමාට හඳුන්වා දෙනවා. ඉන්පසු නුග සෙවණට සම්බන්ධ වෙලා එය වසර 15ක් එක දිගට මම කරගෙන යනවා.
ඔබ රංගන කාර්යයටත් යොමු වෙනවා. ඒ ගැනත් අපි කතා කරමු?
මම විශ්වවිද්‍යාල සමයේදී රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ නාට්‍ය තුනකට රංගනයෙන් දායක වුණා. ඉන්පසු නුග සෙවණ වැඩසටහන මෙහෙයවන අතරවාරයේදී ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සිරිතුංග පෙරේරා, දුරකතන ඇමතුමක් දී ‘සඳපාන‘ ටෙලි නාට්‍යයට මට ආරාධනා කරනවා. එහිදී ප්‍රධාන චරිතයට මාව තෝරා ගන්නවා. ඉන්පසුව මංජුලා කුමාරි නිෂ්පාදනය කළ ‘අහස සේ නුඹ අනන්තයි‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන භූමිකාවක් මට හිමිවෙනවා. අනතුරුව ‘සංසාර ප්‍රාර්ථනා, ආයෙමත් ආදරෙන්‘ වැනි ටෙලි නාට්‍යවලත් රංගනයෙන් දායක වෙනවා.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මට ලොකු බලාපොරොත්තුවක් නැහැ. නමුත් බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්නත් බැහැ. මගේ රැකියාව හරියට කරන්න වගේ මගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි මගේ එකම බලාපොරොත්තුව
විශ්මී ප්‍රනාන්දු