මොන තරම් ප්‍රශ්න ආවත් ඒ හැමදේකටම අපි දෙන්නට දෙන්නා ඉන්නවා - රුවන් හෙට්ටිආරච්චි




නොදැක ඉන්න බැහැ කියලා ප්‍රේමවන්තයින් වෙනුවෙන් ගී ගැයූ ඔහු ජනප්‍රිය ගීත බොහෝමයක හිමිකරුවෙක්. ජනප්‍රිය නිළියක් වූ ශෙරිල් ඩෙකර් බිරිඳ කර ගත් රුවන් දැන් සංගීත රියැලිටිකරණයේ විනිශ්චයකාරවරයෙකු විදිහට කා අතරත් කතාබහ වෙනවා. ඒ නිසා ඔහු හා ඔහුගේ ආදරණීය පවුල ගැන කතා කරන්න රසඳුන පිටු අතරට එකතු කර ගත්තා.


ආදරවන්තයින්ගේ දිනයට රුවන් තිළිණ කළ අලුත්ම ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් වෙනුවෙන් තමයි අලුත්ම ගීතය එළි දැක්වූයේ. රූ සදේ කියලා මේ ගීතය ලිව්වේ ශෙහාන් ගලහිටියාව. සංගීතය කෙවින් තමින් ගේ විඩීයෝ එක ඩිරෙක්ට් කරේ පුෂ්පිත නිර්මාල්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, යූටියුබ් එකෙන් රිලීස් කරපු දවසේ හතළිස්දාහක් විතර නරඹලා තිබ්බා.


රුවන් අද පරම්පරාවේ ගායකයින් වගේ වීව්ස් බලාගෙන නිර්මාණ කෙනෙක් ද?


කොහොමත්ම නැහැ. ඉස්සර රසිකයින් රේඩියෝ එකෙන් ගීත අහලා ඒවා රස වින්දේ. ඒ රසය වෙනම රසක්. මමත් ආස ශ්‍රාවක ප්‍රතිචාර වලට. ඒක හරි ප්‍රබලයි. මම වීව්ස් පස්සේ යන්නෙ නැහැ. හෙමිහිට ජනතාව අතරට ගීතය ගියොත් ඇති.


රූ සදේ ගීතයේ සංගීත නිර්මාණය කරන්න ඔබ වගකීම දෙන්නෙ අවුරුදු 15ක කෙනෙකුට?


අරුණ තමින්ගේ පුතා තමයි කෙවින් තමිල් කියන්නේ. තාත්තාටත් වඩා දක්ෂයෙක් ඔහු. මම ආසාවෙන් අහපු ගීතයක් තමයි හෙක්ටර් ඩයස් ගායනා කළ නිල්වන් මුහුදු තීරේ ගීතය. එහි සංගීතය කෙවින්ගේ. මම පස්සෙ තමයි ඒක දැනගත්තේ. ඒ රහ මට දැණුනු නිසා බය නැතුව මම කෙවීන්ට වැඩේ භාර දුන්නා. මට අලුත් පරණ වයස ප්‍රශ්නයක් නැහැ. දක්ෂ නම් මම අවස්ථාව දෙනවා.


රූප රචනයේ නිරූපණයට ඉන්නෙ ඔබ එක්ක ඔබේ ආදරණීය බිරිඳ ශෙරිල් ඩෙකර්?


ඔව්. ඇත්තම කිව්වොත් අපි මෙහෙම ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි හිටියේ. එකපාරටම 14 වෙනිදට ගීතයක් කරමු කියලා හිතිලා මම ශෙරීල්ට කිව්වා. එයත් එකඟ වුණා. පෙබරවාරි 4දා තමයි වැඩේට ලෑස්ති වුණේ. ශෙරිල්ට කිව්වා විඩියෝ එකට සම්බන්ධ වෙන්න කියලා. එයත් කැමැත්තෙන් සම්බන්ධ වුණා


ඔබේ බොහෝ නිර්මාණ සඳහා ඇය නිරූපණයෙන් සම්බන්ධ වෙන්න හේතුව ඇය වෙනත් නිර්මාණ සඳහා සම්බන්ධ නොවීමද?


එහෙම හේතුවකට නෙමේ. වැඩේ පහසු නිසයි එයාව ගන්නේ.


විවාහ වෙලා 11 වෙනි වසර ගෙවෙන්නෙ. විවාහයෙන් පසුව ඇය රංගනයට සම්බන්ධ වුණේ නැහැ. ඔබ බිරිඳව නිළියක් හැටියට දකින්න අකමැතිද?


අපි විවාහ වෙලා මේ ගෙවෙන්නේ එකොළොස් වෙනි අවුරුද්ද. එයා දැන් ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. නර්තන කටයුතු වගේම රංගන කටයුතුවලට සම්බන්ධ නොවී ඉන්නේ මගේ අකමැත්තක් නිසා නෙමෙයි, එයාගේ පහසුව ගැන හිතලා. එයා කොහොමත් ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වුණු කෙනෙක් නෙමෙයි. අමා නාට්‍ය එක්ක එයා ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් එයාට කැමැත්තක් නැහැ මහන්සි වෙලා වැඩ කරන්න. දවසින් දෙකෙන් පැයෙන් දෙකෙන් ඉවර වෙන ෆොටො ශූට්, හෝ බ්‍රෑන්ඩ් ෂූට්වලට සම්බන්ධ වෙනවා. අපි ගායකයෝ විදිහට ප්‍රසංගයකට සම්බන්ධ වුණත් දවසම මහන්සි වෙන්නෙ නැහැ, කෙටි කාලයකින් එය ඉවරයි. ඒත් රංගනය කියන දේ පැයෙන් දෙකෙන් ඉවර කරන්න බැහැ. ටිවි එකෙන් පහසුවෙන් බැලුවට ලොකු කැපවීමක් කරන්න ඕන. උදේ පාන්දර ගිහින් මහා රෑ ගෙදර එන අවස්ථා තියෙනවා. ඒවට ශෙරීල්ගේ කැමැත්තක් නැහැ. එයා ආයුර්වේද කොස්මැටික් පැත්තෙන් වැඩිදුර ඉගෙන ගත්තා. තවත් ඉගෙන ගනිමින් ඒ පැත්තෙන් ඉදිරියට යන්න ආසවෙන් වැඩ කරනවා. එයාගේ ආසාවට මම ඉඩ දුන්නා. එයා කැමති නම් නිර්මාණවලට සම්බන්ධ වෙයි. මම කිසිම දේකට බාධා කරන්නේ නැහැ .


ඔබව ජනප්‍රිය කළ ගීතය රස විඳලා එයට සුබ පතන්න ඇය ගත් ඇමතුම මෙතරම් දුරදිග යයි කියලා හිතන්න නැතුව ඇති නේද ..?


එහෙම නම් හිතුණේ නැහැ., මගේ දෙවැනි ගීතය තමයි ජනප්‍රිය වුණේ. නොදැක ඉන්න බැහැ ගීතය. පළමු ගීතය මතකද හැන්දැවේ. නොදැක ඉන්න බැහැ ගීතය රිලීස් වුණාට පස්සේ එයාගෙත් මගෙත් යාළුවෙක් වුණු යාළුවෙක් ගෙන් මගේ නම්බර් එක ඉල්ලගෙන එයා මට කතා කළා. කතා කරලා කිව්වේ අයියේ මම ශෙරිල් ඩෙකර් කියල. මම ඔව් නංගි කිව්වා. එයා ඇහුවා මාව දන්නවද කියලා. මම ඒ නම දන්නෙ නැහැ. මම ඇහුවා කවුද? ඒ කියලා. එයා කිව්වා මම අමා කියලා. ඒ දවස්වල අමා හරි ජනප්‍රියයි. පාරේ හැම තැනම කටවුට් ගහලා තිබ්බ නිසා මට මතකයි. එතකොට මට මතක් වුණා ඇය කවුද කියලා, එයා කිව්වා අනේ අයියේ සින්දුව හරි ලස්සනයි විෂ් කරන්න ගත්තේ කියලා. එතැනින් ඒ කතාබහ ඉවරයි. නමුත් මම නම්බර් එක සේව් කර ගත්තා. ඊට පස්සේ දවසක මම සින්දුවක් කළා. ඒ සීත මාරුතේ ගීතය. ඒකේ විඩියෝ එකට ලස්සන මුහුණක් ඕන වුණා. මම චමිල් පතිරණට කිව්වා ශෙරිල් ළඟදි කතා කළා එයාට අරන් බලමු ද කියලා, ඇත්තටම කිව්වොත් එයා ඒ විඩියෝ එකට එන්න කැමති වුණේ නැහැ. ළඟදි චිලී තිවංකගේ සිංදුවකට සම්බන්ධ වුණා ඒ නිසා බැහැ කිව්වා. මම වැඩේ අත ඇරියා. චමිල් කිව්වා වැඩේ අත අරින්න එපා කතා කරලා බලන්න කියලා. දෙතුන් වතාවක් කතා කළා. බැහැ කියලා කිව්වා. ඊට පස්සේ හරි එහෙම නම් කැමති වෙන්නම් කියලා සම්බන්ධ වුණා, එතැනින් තමයි කතාබහ දුරදිග ගියේ.


ඒ වෙද්දී රුවන්ට වඩා ශෙරිල් ජනප්‍රියයි. ආදරේ ප්‍රකාශ කරද්දී ඇය ප්‍රතික්ෂේප කරයි කියලා හිතුණේ නැද්ද ..?


කතාබහ කරන අතරතුර ආදරේ ප්‍රකාශ කරා නම් අනිවාර්යයෙන්ම බැහැ කියලා කියන්න ඉඩ තිබ්බා. නමුත් අපි කතාබහ කළා. දෙන්නගේ විස්තර කතා කළා, දවසක් අපි පැය අටක් එක දිගට කතා කළා. එහෙම කතාබහ කරලා දෙන්නට දෙන්නා හඳුනාගෙන නොදැනුවත්වම ආදරේ හිතෙන්න ඉඩ දීලා තමයි විවාහයට යෝජනා කළේ. අපි ලොකු කාලයක් ගත්තේ නැහැ. මාස තුනක් වගේ කෙටි කාලයකින් විවාහ වුණා. ඒ බැඳීම් තමයි තවම අරගෙන යන්නේ.


කලාකරුවන් විවාහ කර ගැනීම තුළ පවුල් ප්‍රශ්න වැඩියි කියනවා. එහෙම බලපෑමක් ඇති වෙලා නැද්ද?


පවුලක් ගත්තම ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් අපි අතර තියෙන්නේ සංසාරික බැඳීමක් වෙන්න ඇති. ඒ නිසා තමයි මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ. අපිට මොන තරම් ප්‍රශ්න ආවත් ඒ හැම දේකටම එකිනෙකාට වැටෙන්න නොදී, අපි දෙන්නට දෙන්නා ඉන්නවා. පවුල ඇතුළේ වැදගත් විශ්වාසය හා ආරක්ෂාවයි. කොහොම හරි අපි දෙන්නා කලා කටයුතුත් කරගෙන ජීවිතේත් හරි ලස්සනට ගෙවනවා. ඒක ඇත්තටම ශක්තිමත් බැඳීමක්. එයා මට හයියක්. හරි සතුටුයි ශෙරිල් වගේ බිරිඳක් ලැබීම ගැන.


රසට උයන්න පුළුවන් බිරිඳක් රුවන්ට ඉන්නේ..?


ශෙරිල් ගොඩක් පවුලට ලැදි කෙනෙක්. එයාගේ පවුලේ අයටත් රසට උයන්න පුළුවන්. ශෙරිල්ටත් රසට උයන්න පුළුවන. එයා චිකන් කරි එකක් හදනවා, මම ඒකට වගේම එයා හදන පැස්ටා වලට ආසයි. පැස්ටා එක හදන්නෙ සැලඩ් එකක් විදිහට. ඕනෑම කෑමක් හදන්න පුළුවන්. ඒ නිසා දෙයියන්නේ කියලා රසට කාලා බීලා ඉන්නවා.


ඉස්සර ශෙරිල්ගේ හස්බන්ඩ් කියලා හඳුනාගත් අය දැන් රුවන්ගේ වයිෆ් ශෙරිල් කියල ද හඳුනා ගන්නෙ..?


තවමත් ඔය දෙවිදිහටම හඳුනා ගන්න අය ඉන්නවා. බොහෝ අය ශෙරිල් කියනවට වඩා තවමත් අමා කියලා එයාට කතා කරන්නේ. සමහර අවස්ථාවල අහ් මේ අමාගෙ හස්බන්ඩ්නේ කියලා කියනවා. මම ගායකයෙක් විදිහට රුවන් හෙට්ටිආරච්චි කියන අනන්‍යතාවයත් ශෙරිල් රංගන ශිල්පිනියක් හැටියට හදාගත් අනන්‍යතාවයත් තවම රැඳිලා තියෙනවා. කලාකරුවෝ හැටියට තමන්ගේ නම පැවතීම වැදගත් ගමනක් යන්න.


රුවන් දැන් රියැලිටි වැඩසටහනක විනිශ්චයකාරවරයෙකු විදිහට වැඩ කරනවා, සංගීත ජීවිතේ ලැබුණු පළමු අවාස්ථාව නේද ..?


පළමු වතාවට තමයි රියැලිටි වැඩසටහනක විනිසුරුවරයෙක් හැටියට වැඩ කරන්න ආරාධනා ලැබුවේ. ඒ හිරුස්ටාර් වේදිකාවේ. දක්ෂයින් හොයාගෙන යන ගමනේ අති දක්ෂයින්ට තැනක්දීම කරන්නේ අසරණකමට නෙමෙයි තැන දෙන්නේ. මම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. ලබන අවුරුද්ද වෙනකල් ඒ කටයුත්තේ ඉන්න වෙනවා. ඒ නිසා විදෙස් සංචාර භාර ගන්නෙ නැහැ. මේක හොඳ අවස්ථාවක්. කවුරුවත් තවම මට දොස් කියන්නේ නැහැ ඇයි ඒ පුටුවෙන් වාඩි වුණේ කියලා. බලමු මොකද වෙන්නෙ කියලා.


අලුත් පරම්පරාව එක්ක හැප්පෙන්න අපහසු නිසාද ඉද හිටලා ගීත නිර්මාණය කරන්නේ ඒ ගැනත් කියලම අපි කතාබහ අවසන් කරමු..?


එහෙම ප්‍රශ්නයක් නැහැ, දැන් ඉන්න ළමයි හරි දක්ෂයි. බොහෝදෙනෙක් ගෙදර ස්ටූඩියෝ දාගෙන සිංදු ලියලා මෙලඩි දාලා සිංදුවත් කියන තරුණ පිරිසක් ඉන්නෙ. තව කෙනෙක් පස්සෙ ගිහින් නිර්මාණ කරන්න ඕන නැහැ. එයාලා අලුත් දේවල් එකතු කර ගනිමින් නිර්මාණ කරන්නේ. අපි ඒවට බැණලා හරි යන්නෙ නැහැ. අපිත් අලුත් දේවල් අධ්‍යයනය කරමින් නිර්මාණ කරන්න ඕන. මට පුළුවන් විදිහට මම නිර්මාණ කරනවා. මම අලුත් අයගේ හොඳ ගීත රසවිඳිනවා. මට කා එක්කවත් හැප්පෙන්න ඕන නැහැ. මොකද මට කියලා රසිකයින් පිරිසක් ඉන්නවා. එයාලා මට හැමදාම ඉන්නවා. මහා ලොකුවට ජනප්‍රිය නොවුණට මට ආදරේ කරන පිරිසක් ඉන්න එක ගැන හරි සතුටුයි.


 හර්ෂණී වීරරත්න





Previous Post Next Post