ළමයි හැමදේම කියන්නෙ ඇයි කියන එක රහසක්-ගිහාන් ප්‍රනාන්දු




ලාංකීය වේදිකාව මත වගේම පුංචි තිරය තුළත් සිනමාව තුළත් තමන්ගේ අනන්‍යතාව තහවුරු කළ ගිහාන් ප්‍රනාන්දු මේ දිනවල වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නේ පොඩ්ඩෝ අතර. ඒ හිරු නාළිකාවේ විකාශය වන “පොඩි වැඩ්ඩො” වැඩසටහන නිසා. ඒ ගැන වගේම මේ දිනවල කාර්යබහුල වෙලා ඉන්න “ලොක්කා ලෙඩ වෙලා” ගැනකළ කතාබහයි මේ.


මේ දවස්වල අලුත් නාට්‍යත් එක්ක වැඩ වැඩිවෙලා නේද?


“ලොක්කා ලෙඩ වෙලා” මේක මගේ පළමු වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය. පහුගිය කාලේ බල්ලොත් එක්ක බෑ, චරිතේ හොරු අරන්, 361 වගේ නාට්‍යයය එක්ක ලංකාව පුරා යද්දී ඒ හැම මොහොතකම තව අලුත් නාට්‍යයකට ඉල්ලුමක් තිබ්බා. ඒ එක්කම මේ අවුරුද්දේ මම කොහොම හරි නාට්‍යයක් කරනවා කියන පරමාර්ථයේමයි හිටියේ. ජූඩ් ශ්‍රීමාල් අපේ නාට්‍යය සංවිධායකතුමාත් කිවුවා නාට්‍යයක් කරන්න කියලා. මිනිසුන් තුළ තියෙන පීඩනයෙන් මිදිලා ටිකක් හිනාවෙලා රසවිඳින්න පුළුවන් නිර්මාණයක් විදිහට “ලොක්කා ලෙඩ වෙලා” නිර්මාණය කළා. නාට්‍ය රචනා කළේ ජෝර්ජ් සැමුවෙල්.


එහෙමනම් නුදුරේම ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙයි?


අප්‍රේල් මාසේ 5 වෙනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා. ඊට පසුව 6,7 දවස්වල කොළඹින් පිට පළාත්වලත් රටපුරාත් ගෙනියන ව්‍යාපෘතියේ ඉන්නේ. මම මෑත කාලයේ අත්වින්ද දෙයක් තමයි මිනිසුන් ටිකෙන් ටික ටෙලිවිෂන් එකෙන් ඈත් වෙලා සජීවී රංගනය බලන්න කැමතියි. මගේ අභිප්‍රාය මේ නාට්‍යයත් රටවටා ගෙනියන එක.


සිනමාවෙත් අලුත් වැඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?


ඔව්. අශෝක හඳගමයන්ගේ අලුත් චිත්‍රපටයේ සහ උදයකාන්ත වර්ණසූරියගේ ගිනි අවි සහ ගිනි කෙළි 2 චිත්‍රපටයේ රඟපෑවා.


පුංචි තිරයේ නිර්මාණ ගැනත් මතක් කළොත්?


හිරු නාළිකාවේ ගිය “OK බොස්” සහ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ රඟපෑවා. සිරස නාළිකාවේ නීල පබළු නාට්‍යයේත් මගේ චරිතය ආපසු එනවා. ඒ එක්කම හිරු නාළිකාවේ පොඩි වැඩ්ඩොත් කරගෙන ඉන්නවා.


පොඩි වැඩ්ඩො හරි ජනප්‍රියයි මේ වෙද්දී, කොහොමද ගිහාන්ට ලැබෙන අත්දැකීම?


මම පොඩි කාලේ Bill Cosby’s කරපු Kids Say කියන ප්‍රෝග්‍රෑම් එක ආසාවෙන් බැලුවා. ඒක මගේ හිතට වැදුණු වැඩසටහනක් නිසා මමත් ආසාවෙන් හිටියා ඒ වගේ වැඩසටහනක් කරන්න. කොහොම හරි කාලයත් එක්ක හිරු නාළිකාවෙන් මට ආරාධනාවක් ලැබුණා මේ වැඩසටහන කරන්න. ඒ වෙද්දී ළමයි එක්ක වැඩසටහනක් කරන්නේ කොහොමද කියන අදහස ගැන මගේ ඔළුවේ ලොකු සැලසුමක් තිබ්බා. ඒක හොඳටම ක්‍රියාත්මක වුණා. විශේෂත්වය වෙන්නේ මෙහි රසවින්දන සීමාව පුළුල්. මට පාර තොටේදී ටෙලි නාට්‍යය වලටත් වඩා හොඳ ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මට හිතෙන්නේ ළමයි හිටියට ඒ වැඩසටහන කරන්නේ වැඩිහිටියන් සඳහා කියලා. 2020න් පස්සේ ඉපදුණු ළමයි තමයි මේ වැඩසටහනට සහභාගි වෙන්නේ. ඒ ළමයි හිතන විදිහ ඒ අයගේ ඥානය ගැන ලොකු අධ්‍යණයක් හැදෑරීමක් මටත් ලැබෙනවා. ඒක එක අතකින් මට දැනෙන්නේ ලංකාවේ ළමයි ගැන කෙරෙන රිසර්ච් එකක් වගේ. අපිට බොහොම නිර්මාණශීලි ළමයි සංවේදී ළමයි හමුවෙනවා. මේ වැඩසටහන තුළ ඉන්නේ රෝ ළමයි. ඒ කියන්නේ අමු ළමයි. දැන් අමු සින්දු ජනප්‍රිය වුණා වගේ මෙතනත් අමු ළමයි කතා කරන නිසා තමයි මේ තරම් මේ වැඩසටහන රසවත් වෙලා තියෙන්නේ.


පොඩ්ඩෝ කොහොමද ගිහාන් එක්ක මේ මිත්‍රත්වය ගොඩ නඟා ගන්නේ?


මම හිතන්නේ හිරු නාළිකාවේ අධිපති රේනෝ සිල්වා මහතා මා එක්කම මේ වැඩසටහන කරන්න හිතන්න ඇත්තෙම ඔය සිහින ගෙනෙන කුමාරියෝ වගේ නාට්‍යය හරහා මම ළමයි අතර ජනප්‍රිය වූ නිසා වෙන්න ඕනේ. එහි නම් මම විලන් චරිතයක්. එහි දී මම කරන්නේ ළමයින්ට දුෂ්ට වැඩ තමයි. නමුත් හෙක්ටර් අන්කල් කියලා හෝ හෙක්ටරයා කියලා හරි ළමයින් දන්නා හඳුනන කෙනෙක් බවට පත් වුණා. ඒකත් එක පැත්තකින් මට වාසියක් වුණා මේ වැඩසටහන කරද්දී. දැන් නම් මේ වැඩසටහන තුළින්ම ළමයි අතර මාව දන්නා කෙනෙක් වෙලා තියෙනවා. මේ එන ළමයි හරියට මාව හොඳ හැටි දන්නා හඳුනන කෙනෙක් වගේ තමයි හමුවෙන මුල් වතාවේම හැසිරෙන්නේ. එතකොට මමත් හැසිරෙන්නේ ළමයින්ගේ මට්ටමට ගිහින් ඒ ළමයින්ගේ හොඳ යාළුවෙක් වෙලයි මම කතාබහ කරන්නේත්. ඒ හින්දම තමා මවුපියන්ට පවා නොකියන දේවල් මා එක්ක ඇවිත් කියන්නේ.


ඒ නිසා තමා මම හිතන්නේ සමහර තැන්වලදී ගිහාන්ට උත්තර නැති වෙන්නේ?


අනිවාර්යෙන්ම. ඒ තරම්ම විවෘත වෙනවා. ඒක ඇත්තටම ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ළමයි එක්ක තමයි වැඩ කරන්න අමාරුම. හැබැයි ඒ ළමා මනස තේරුම් අරන් ඒ අය එක්ක සැබෑ මිත්‍රත්වයක් ගොඩ නඟා ගන්න ඕනේ. එහෙම නැතුව ළමයින්ට බොරු ආදරයක් පෙන්නුවොත් ඒක ඒ අයට දැනෙනවා. හුඟක් වෙලාවට අපේ රටේ දරුවන් හදන්නේ තාත්තට බය කරලනේ. නමුත් අපි හදන්න ඕනේ තාත්තට බය ළමයි නෙවෙයි. තාත්තා එක්ක යාළුවො වගේ ඉන්න ළමයි. එතකොට බාහිර සමාජයේ දේවල් ගැන තාත්තා එක්ක කියන්න තරම් දරුවන් සමීප වෙද්දී අපේ රටේ හුඟක් ප්‍රශ්න විසඳෙනවා. ළමයින්ට ආදරේ කරනවා කියන්නේ මම මගේ ළමයින්ට විතරක් ආදරේ කරනවා කියන එක නෙවෙයි. ඕනෙම ළමයෙක්ට ආදරේ කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වැඩේ තියෙන රහසත්.


මේ වැඩසටහනින් මම විශාල තෘප්තියක් ලබනවා. මම බොහොම ආසාවෙන් කරන්නේ. ඒකට තව හේතුවක් තමයි මේ වෙද්දී අපි ප්‍රෝග්‍රෑම් 80කට වඩා කරලා තියෙනවා. ළමයි බැලුවම 350කට එහා වැඩසටහන්වලදී හම්බෙලා තියෙනවා. ඒ ළමයි ඔක්කොම එක් කෙනෙක්ට වඩා එක් කෙනෙක් හරි වෙනස්. ඒ නිසා පුදුම තෘප්තියක් ලබන වැඩසටහනක්.


 අනුෂා රණසිංහ





Previous Post Next Post