ප්‍රේමය වගේම විරහව විඳින්න පෙම් දියවර බලන්න එන්න-නන්ද රණවීර




විශාරද නන්ද රණවිරගේ “පෙම් දියවර“ ගලා යන්නට තව අැත්තේ නොබෝ දිනකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් පැන නැඟි ඒ පෙම් දියවර කොළඹ බිෂොප් විද්‍යාලය පුරා ඉහිරෙමින් පැතිරෙමින් ගලා යනු ඇත. ඒ පෙම් දියවර තව තවත් සෞන්දර්යයෙන් පුරවාලන්නට ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ සහ විශාරද ශෂිකා නිසංසලා ද අත්වැල් බැඳ ගනුයේ ගං දෑල දොඩමලු කරවන්නට ය. මේ අපූරු තුන් ඈඳුතු පෙම් දියවර අත්විඳින්නට මාර්තු 16 වැනිදා සවස 6.30ට කොළඹ බිෂොප් විද්‍යාලයට එක් රොක් විය යුතු ම ය. ඒ ඇයි දැයි අපි විශාරද නන්ද රණවීරගෙන් ම ඇසුවෙමු.


මොකක්ද මේ පෙම් දියවර?


මහින්ද බණ්ඩාර ප්‍රමුඛ කණ්ඩායම සංගීතය සපයද්දී, කැලුම් ශ්‍රීමාල් නිවේදනයෙන් සම්බන්ධ වන පෙම් දියවර සජීව සංගීත ප්‍රසංගයක්. හරියටම වසර 23කට පසුව පවත්වන මගේම ප්‍රසංගයක්. වසර 20කට වැඩි කාලයක පටන් මට ආදරණීයව අත දෙන කරුණාරත්න දිවුල්ගනේ අයියාත්, මගේ විශ්වවිද්‍යාල කාලයේ පටන් හිතවතියක් වූ විශාරද ශෂිකා නිසංසලාත් එක්ව පෙම් දියවර ප්‍රසංගය පවත්වන්නට ලැබීම මට ලොකු සතුටක් සහ ගෞරවයක්. ඒ නිසාම මගේ ආදරණීය රසික පිරිසට වගේම කරුණාරත්න දිවුල්ගනේටත්, විශාරද ශෂිකා නිසංසලාටත් ආදරය කරන රසික සැමට පෙම් දියවර සමඟ අත්වැල් බැඳගෙන ගී රස විඳින්නට එන්න කියා මම ආරාධනා කරනවා.


මෙච්චර කාලයක් ප්‍රසංගයක් නොකළේ ඇයි?


මම උසස් පෙළ හදාරන කාලේ මගේ ප්‍රථම ගී ප්‍රසංගය විශාරද ගුණදාස කපුගේ මහතා සහ විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ ස්වර සමාධි නමින් පැවැත්වුවා. එදා මෙදාතුර මම බොහෝ අලුත් නිර්මාණ කර තිබෙනවා. නමුත් මෙවැනි ප්‍රසංගයක් කරන්න තරම් ඉස්පාසුවක් මට ලැබුණේ නැහැ.


ඉස්පාසුවක් නෑ කියන්නේ කලාකරුවෙකුට නිදහසට කාරණාවක් නෙවෙයිනේ?


ඔව්. ඒක ඇත්ත තමයි. ඇත්තට ම කියනවා නම් මම මං ගැන හිතුවේ නැහැ. මම වසර ගාණක් තිස්සේ දරුවන්ට සංගීතය උගන්වන පාසල් ගුරුවරයෙක් ලෙස වෘත්තියේ නියැළී සිටින නිසා දරුවන්ගේ කුසලතා එළිදක්වමින් පාසල් ප්‍රසංග කළා මිස මම මං ගැන හිතුවේ නැහැ. මරදාන මහා බෝධි විද්‍යාලයේ 2005 වසරේ සිට සංගීත ගුරුවරයා වෙලා වර්තමානයේ කොළඹ රාජකීය විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස කටයුතු කරනවා. දරුවන්ගේ ප්‍රසංග කිහිපයකම මම ප්‍රධාන සංගීත මෙහෙයවීම සිදු කළා. ගෝල පිරිස විවිධ කුසලතා දක්වමින් වේදිකාව රජයද්දි ලබන තෘප්තිය ගුරුවරයෙකුට මහාමෙරක්. ඒ නිසා මගේම ප්‍රසංගයක් කරන්න මට උත්තේජනයක් තිබුණේ නැහැ. නමුත් බොහෝ අය මට දොස් කිව්වා. මාව උනන්දු කළා. ළමයි ගැනම බල බලා ඉන්නේ නැතුව මගේ දේකුත් කරන්න කිව්වා. පෙම් දියවර ගෙන එන්නේ ඒ උනන්දු කිරීම්වල ප්‍රතිඵලයක් හැටියට.


පෙම් දියවර ප්‍රේම ගීත විතර ද?


දිවුල්ගනේ මහත්මයාගේ ගීත පහක් පමණ තියෙනවා. ශෂිකාගේ ජනප්‍රියම ගීත පහක් පමණ තියෙනවා. මම ගීත 10ක් පමණ ගයනවා. ඒ අතර මගේ මුල්ම ගීතය වන රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ, විශාරද ගුණදාස කපුගේ මහතා සංගීත නිර්මාණය කළ බිම්තඹුරු ගීතය සහ මෑත කාලයේ ජනප්‍රිය වුණු මගේ සේපාලිකා, වගේම යමුනා මාලනී ලියූ මගේ සරසවි මිතුරු චාමර රුවන්තිලක සංගීත නිර්මාණය කළ පෙම් දියවර ගීතයත් විශේෂයෙන් මෙහිදී මා ගායනා කරනවා. මගේ සමහර සින්දුවලට මං අලුතින් සංගීත සංයෝජනය කළා. ප්‍රේමය වගේම විරහවත් මගේ ගීත අතර තියෙනවා. කැලුම් ශ්‍රීමාල් වැඩසටහන මෙහෙයවනවා. හැමෝම මේ සොඳුරු සුයාමයට එක්වන්න කියා ආදරයෙන් ඇරයුම් කරනවා.




Previous Post Next Post