කොණ්ඩය නිසා අලුත් වැඩ කරගන්න වෙන්නෙ නෑ - නවීක්



මේ දිනවල විකාශය වන පුංචි අන්දරේ ටෙලි නාට්‍යයේ අන්දරේගේ චරිතයෙන් ඔබ හමුවට එන මෙතික නවීක් නොදන්නා කෙනෙක් නැති තරම්. පුංචි තිරයේ පමණක් නොව රිදී තිරයේද දස්කම් පෙන්වන මේ කටකාර, දඟකාර පුංචි පොඩිත්තා මෙවර  අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


ඉතින් පුතේ කියන්නකො ඔයා ගැන විස්තර ටිකක්?


මගේ නම මෙතික නවීක් සෙනෙරත්. මගේ ගෙදර අම්මාත්, තාත්තාත් මමත් ජීවත් වනවා. මගේ ගම මොරටුව. මම  ඉගෙන ගන්නේ මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් කොලේජ් එකේ.


මෙතික රංගනයට එන්නේ කොහොමද?


මම පුංචි කාලයේ ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකින් පැවැත්වූ සිඟිති අවුරුදු කුමරා කුමරිය තරගයට ඉදිරිපත් වුණා. ඉතින් ඒ නිසාම මට නිවන්ත ප්‍රසාර මාමාගෙන් ආරාධනයක් ලැබුණා ටෙලි නාට්‍යයක රඟපාන්න එන්න කියලා. එහෙම තමයි මම මුලින්ම රංගනයට එන්නේ. ළමා නළුවෙක් ලෙස ආරම්භ කළ මගේ රංගන ජීවිතයේ මේ වන විට ටෙලි නාට්‍ය සිනමා නිර්මාණ වගේම වෙළෙඳ දැන්වීම් රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.


පුතා මුලින්ම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යය ගැනත් මතක් කළොත්?


මගේ මුල්ම ටෙලි නාට්‍ය තමයි නිවන්ත ප්‍රසාර මාමා අධ්‍යක්ෂණය කළ බයිසිකලේ කියන ටෙලි නාට්‍යය.


මෙතිකට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?


මේ දිනවල මම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය දෙකක්ම විකාශය වනවා. එකක් තමයි සුදත් දේවප්‍රිය මාමාගේ අකුරට යන වෙලාවේ කියන ටෙලි නාට්‍ය. ඒ වගේම පුංචි අන්දරේ කියන ටෙලි නාට්‍යයත් දැන් විකාශය වෙනවා. ඉතින් මේ නිර්මාණ දෙකටම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මගේ රංගන හැකියාව අගය කරලා අම්මාට දුරකථන ඇමැතුම් පවා ලැබෙනවා. මඟතොටේදී හමුවන ආදරණීය ප්‍රේක්ෂකයන්ද මගේ රංගන කටයුතු අගය කරනවා. ඔවුන් නිතරම මගෙන් අලුත් නිර්මාණ ගැන විමසනවා.


පුතාට අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. අලුත් සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබුණා. පුංචි අන්දරේ ටෙලි නාට්‍යයට කොණ්ඩය වවන්න ඕනෑ. නමුත් ආරාධනා ලැබුණු බොහෝ අලුත් නිර්මාණවලට කොණ්ඩය කපන්න වෙනවා. ඒ නිසා අලුත් ටෙලි නාට්‍යය නිර්මාණ භාරගන්න තරමක් අපහසුයි.


ඔබේ රංගන කටයුතුවලට පාසලේ ගුරුවරුන්ගෙන් මිතුරු මිතුරියන්ගෙන් උදවු ලැබෙනවාද?


ඇත්තටම මගේ රංගන කටයුතුවලට පාසලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආදරණීය ගුරුවරුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ රංගන වැඩකටයුතුත් එක්ක මට පාසල් යන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. නමුත් මගේ ආදරණීය ගුරුවරුන් මට අතපසුවන පාඩම් නැවත කියලා දෙනවා. ඒ වගේම මගේ ආදරණීය යාළුවන් තමයි මට මඟහැරෙන පාඩම්වල නෝට්ස් දෙන්නේ. ඉතින් මගේ යාළුවන්, ගුරුවරුන් වගේම විදුහල්පතිතුමාත් මට ගොඩක් උදවු කරනවා.


රංගන කටයුතුවලට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?


මගේ අම්මාත් තාත්තාත් දෙන්නාම රංගන කටයුතු වෙනුවෙන් මට ගොඩක් උදවු කරනවා. නමුත් මගේ අම්මාගෙන් තමයි මේ දේවල්වලට ලොකු සහයෝගයක් ලැබෙන්නේ. මගේ තාත්තා කාර්යාලයේ වැඩ කටයුතුත් එක්ක තරමක් කාර්ය බහුල කෙනෙක්. ඉතින් අම්මා තමයි මාව ෂූටින් එක්කගෙන යන්නේ. මගෙත් එක්ක වැඩිපුරම කාලය ගත කරන්නේ අම්මා. නමුත් මගේ තාත්තා තමයි මගේ රංගන කටයුතුවලට ගොඩක්ම කැමැති.


රංගනයට අමතරව පුතා වඩාත් කැමැති මොනවාටද?


මම ගොඩක් කැමැතියි නර්තනයට. ඒ වගේම සින්දු අහන්නත් ගිටාර් වාදනය කරන්නත් බොහොම කැමැතියි. ඉතින් මගේ විනෝදාංශයන් ලෙස මේ දේවල් කරන්න මම යොදා ගන්නවා.


ඔබ මෙතෙක් පැමිණි ගමනේදී ඔබට උදවු උපකාර කළ පිරිස ගැන මතක් කළොත්?


අත්තටම ළමා නළුවෙක් ලෙස මට මේ තරම් දුරක් එන්න මගේ පිටිපස්සෙන් හෙවණැල්ල වගේ සිටි බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් මගේ අම්මාත්, තාත්තාත් අමතක නොකරම බැහැ. ඒ වගේම මගේ පළමු නිර්මාණයේ පටන් මේ වන විට වෙළෙඳ දැන්වීම් 67ක් ටෙලි නාට්‍ය 37ක් වගේම සිනමා නිර්මාණ 12කට රංගනයෙන් දායක වී තිබෙනවා. ඉතින් මේ ආපු ගමන්මඟේදී මට උපකාර කළ බොහෝ පිරිසක් සිටිනවා. ඔවුන් නම් වශයෙන් පවසන්න අපහසුයි. ඒ සෑම දෙනාටම ස්තුති කරන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.


මෙතිකගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


ජගත් චමිල මාමා කියන්නේ මගේ පාසලෙන් බිහි වූ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහු දෙස්-විදෙස් සම්මාන උළෙලවලදී සම්මානයන්ට පාත්‍ර වන දක්ෂ කලාකරුවෙක්. ඉතින් දවසක ජගත් චමිල මාමා වගේ දක්ෂ කලාකරුවෙක් වෙන එක තමා මගේ එකම බලාපොරොත්තුව.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post