ජනප්‍රියත්වය රැඳෙන්නේ ආදරේ එක්ක මම ඒක අදටත් විඳිනවා-නිරංජලා සරෝජණී



එළඹෙන 26 වැනි අඟහරුවාදා පස්වරු 3.00ට ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී “නූතන ගීතයේ අබේ – නිරංජලා සුසංයෝගය” කෘතිය එළිදැක්වීමේ ප්‍රසාංගික සන්ධ්‍යාව සිහි ගන්වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී, ජාතික රූපවාහිනියේ හිටපු සංගීත වැඩසටහන් අධ්‍යක්ෂ හා “නන්දන වින්දන” නිර්මාතෘ අබේවර්ධන බාලසූරියයන්ගේ 14 වන අභාව සංවත්සරය යි. ඒ අසහාය, මියුරු, සුසංවේදී ගී හඬ යළි මතකයට නංවමින එදින සැඳෑවේ අබේ-නිරංජලා ගී මතකාවර්ජනයට ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන, විශාරද දීපිකා ප්‍රිදර්ශනී, විශාරද ජගත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි, රෝහණ බෝගොඩ, සශිකා නිසංසලා, විශාරද ඉන්දිකා උපමාලි, චන්දන ලියනආරච්චි, විශාරද චරිතා ප්‍රියදර්ශනී, සුදත් සමරසිංහ, විශාරද ජානක වික්‍රමසිංහ, දයාන් විතාරණ, බිමල් ජයකොඩි, විශාරද එරන්දි හේෂානි සහ අනුරාධා නන්දසිරි එක් වනු ඇත. සංගීතය මෙහෙයවනුයේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ සංගීත ශිල්පීන් විසිනි. අබේ-නිරංජලා පිළිබඳ අතීත සැමරුම් සිත්තම් ගෙන එනු ලබන්නේ රවීන්ද්‍ර ගුරු‍ගේ සමඟ ටී. වී. ටී. කණ්ඩායම විසිනි. පුර්විකාව සමුදු වෙත්තසිංහ විසිනුත්, සහෘද ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටි විසිනුත් සිදු කරන මෙහි “නූතන ගීතයේ අබේ – නිරංජලා සුසංයෝගය” කෘතිය එළිදැක්වීමට අදාළව මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යානාංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් විසිනි. අබේවර්ධන බාලසූරියයන් මිය ගොස් වසර 14ක් ගෙවෙන මොහොතේ සිය ආදරණීය බිරිඳ වන ප්‍රවීණ ගායන ශිල්පී නිරංජලා සරෝජණී මේ සොඳුරු ගී සැඳෑව පිළිබඳ අප හා විස්තර කීවේ මෙලෙසිනි


නිරංජලා මෙහෙම දෙයක් කරන්න හිතුවේ ඇයි?


මට හිතෙනවා මේ කාර්ය ඉටු කරන්න කල් ගත වුණා වැඩි ද කියලා. වසර 14ක් කියන්නේ ලොකු කාලයක්. නමුත් රටේ පැවතුණු වසංගත කාල නිසා මේ කටයුත්ත දවසින් දවස කල් ගියා. ඒ කාලය තුළදී මම විද්වතුන්ගෙන්, ප්‍රවීණයින්ගෙන් අපි දෙන්නා ගැන සහ අපි දෙන්නාගේ නිර්මාණ ගැන සටහන් ටික ටික එකතු කර ගත්තා. අපි දෙන්නා ගැන පුවත්පත්වල පළ වුණු හැම ලිපියක්ම මම එකතු කරලා තියෙනවා. නමුත් එක පොතකින් අපි දෙන්නා ගැන විස්තර එක තැනකට ගොනු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා “නූතන ගීතයේ අබේ-නිරංජලා සුසංයෝගය” කෘතිය එළි දැක්වීම බිරිඳක් හැටියට මා කළ යුතුව තිබූ දෙයක් හැටියටයි මම හිතන්නේ. ඒ යුතුකම ඉටු වීම මගේ හීනයක් සැබෑ වීමක් කියා මම සිතනවා.


බොහෝ පිරිසක් මේ කාර්යයට දායක වෙනවා නේද….?


අනේ ඔව්. එදාට සත පහක්වත් ගන්නේ නැතුව අපි දෙන්නා වෙනුවෙන් ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පීන් ගීත ගයනවා. සමන් අතාවුදහෙට්ටි කිසිදු මුදලක් නොලබා සහෘද ආමන්ත්‍රණය සිදු කරනවා. සමුද්‍ර වෙත්තසිංහ තමයි මේ පොතේ සංස්කරණ කටයුතු ‍කළේ. පොතේ පිටකවරයේ ඡායාරූපය දයාන් විතාරණ ගත්ත එකක්. පිටකවරය නිර්මාණය කළේ සිසිර විජේතුංග. පිටකවරය මුද්‍රණය කර දුන්නේ ප්‍රේම් දිසානායක. සුනිල් ආරියරත්නයන් පසුවදන ලියා දුන්නා. තව විශාල පිරිසක් මට මේ කටයුත්ත වෙනුවෙන්ම උදව් කරනවා. මේ පොත මගේ ප්‍රකාශනයක් හැටියට යි ජනගත කරන්නෙ.


පොත ඇතුළේ වෙන ‍මොනවාද තියෙන්නේ?


ලිපිවලට අමතරව අපි දෙන්නාට ගීත රචනා ලියා දුන් මුල් පිටපත ස්කෑන් කරලා ඔවුන්ගේ අත්අකුරුවලින්ම දැක ගන්න පුළුවන් වෙන ආකාරයට පොතට ඇතුළත් කළා. ප්‍රේම කීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න වැනි ගීත රචකයින් අපට ලබා දුන් මුල් ගීත රචනා පිටපත් මේ පොතේ තියෙනවා. ඒ වගේම අපි දෙන්නාගේ ගීත පන්සියයකට ආසන්න සංඛ්‍යාවක ගීත නාමාවලියක් මේ පොතට ඇතුළත් කළා. අපි දෙන්නාගේ ජනප්‍රියම ගීත සියය බැගින් අරගෙන ඒ ගීතවල පද රචකයින්, සංගීත නිර්මාණකරුවන් පිළිබඳවත් සටහන් කරමින් ගීත නාමාවලිය සකසා තිබෙනවා.


මේ පොත ප්‍රධාන වශයෙන් පිළිගන්වන්නේ කාටද?.


අබේ නැතිවෙලා වසර දාහතරක් වුණත් අබේගේ මවුපියන් ඒ ඥාතීන් කවදාවත් මාව අමතක ‍කළේ නැහැ. එයාලාගේ හැම දේකටම මටත් කතා කරනවා. මගේ දුක සැප හොයලා බලනවා. මගේත්, අබේගේත් දෙමව්පියන්ට මම මේ පොත මුලින්ම පිළිගන්වනවා.


අබේවර්ධනයන්ගේ අභාවයෙන් ඔබ දෙදෙනා අත්වැල් බැඳන් ආ ගමන නිම වුවත් ඔබගේ ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් සිදු වුණේ නැහැ නේද?


ඒකට හේතුව මම එදා කාලේ ඉඳලා ඇසුරු කළ අයගෙන් ඈත් වුණේ නැහැ. අබේ නැතුව මම සින්දු කිව්වේ නැහැ තමයි. ඒත් කලාකරුවන්ගේ හැම දේකටම මම සහභාගි වුණා. එයාලාගේ මරණයක්, වෙනත් උත්සවයක්, ආදි මොන දෙයක් වුණත් මම සහභාගි වෙනවා. හැමෝම එක්ක සුහදව කටයුතු කරනවා. ඉස්සර අබේ එක්ක මම ගිය දේවල්වලට අබේ නැහැයි කියලා මම නොගිහින් හිටියේ නැහැ. අවශ්‍ය හැම වෙලාවකම මට පුළුවන් උදව්වක් අවශ්‍ය අයට මම ලබා දෙනවා. කාත් එක්කත් සුහදව වැඩ කරනවා. මගේ ජනප්‍රියත්වය අඛණ්ඩව පවතින්නේ ඒ නිසා වෙන්න ඇති. 2022 කලාභූෂණ සම්මානය මට හිමි වුණා. ඊට පස්සේ මට විශ්වාභිමානී සම්මානය ලැබුණා. මනුෂ්‍යත්වය උදෙසා පිදෙන සම්මානයත් මෑතකදි මට හිමි වුණා. ගීත නොගැයූවාට අතීත ගීත නිසා මගේ ජනප්‍රියත්වය අදටත් තියෙනවා.


බිරිඳක් හැටියට තනියම ජීවත් වීමේදී දැනෙන හැඟීම මොනවගේ ද?


අබේ නැති පාළුව, පාඩුව මට හොඳටම දැනෙනවා. නමුත් මම අබේ නැහැයි කියලා අනවශ්‍ය විදිහට දුක් වෙන්නේ, වැලපෙන්නේ නැහැ. මම කතෝලික ආගමික කාන්තාවක් වුණත් අබේ නිසා බෞද්ධ ධර්මය හා බෞද්ධ දර්ශන පිළිබඳ දැනුමක් සහ අවබෝධයක් මට තියෙනවා. එයා නෑ කිය කියා දුක් වෙවී ළතැවි ළතැවි ඉන්නේ නැහැ. බිරිඳ සහ සැමියා අතරින් එක්කෙනෙක් කවදා හෝ දවසක නැති වෙනවා. කොහොම වුණත් දෙදෙනාගෙන් එක්කෙනෙක් මිය ගියා කියලා අනෙක් කෙනා තනිවුණා කියලා දුක් වෙවි ඉන්න හොඳ නැහැ. දුක් වීම අබේගේ භව ගමනට බාධාවක් බව මම බුදු දහම ඇසුරෙන් දැනගෙන ඉන්නවා. අබේ නැති බව මට හොඳටම දැනෙනවා. ඒ හැඟීම විස්තර කරන්න බැහැ. නමුත් එයා ජීවත්ව සිටි කා‍ලයේ මම එයා වෙනුවෙන් හැමදෙයක්ම හොඳින් ඉටු කළා. එයාට සාත්තු කළා. එයාව රැකබලා ගත්තා. ඒ ගැන හිතලා මම සතුටු වෙනවා. එයා ගැන හිත හිත දුක් වෙන්නේ නැහැ. අපි වසර දහයක් ආදර කරලා විවාහ වුණා. වසර විසි හයක් එකට ජීවත් වුණා. ලෙඩක් දුකක් හැදුණාම අබේ නැති අඩුව මට වෙනදාට වඩා දැනෙනවා. ඒත් යථාර්ථයට මුහුණ දෙන්න ඕන. මම මේ කරන වැඩවලින් අබේ නැති තනිකම මම අවම කර ගන්න උත්සාහ කරනවා. අබේ සහ මාත් එක්ක හැමදාම හිටපු අය, අපි දෙන්නාගේ දෙපාර්ශ්වයේ ඥාතීන්, හිතමිතුරන් මාව තනි කළේ නැහැ. අබේ එක්ක තිබුණු බැඳීම, ඒ හා බැඳුණු ඥාතීත්වයන් අදටත් එලෙසෙම පවතින නිසා මම තනිවුණා කියලා මට දැනෙන්නේ නැහැ.


තුෂාරී කළුබෝවිල



Previous Post Next Post